හොල්මන් අවතාර සම්බන්ධයෙන් මිනිසුන් තුළ ස්වාභාවික භීතියක් තිබේ.එහෙත් ඒ අතර හොල්මන් අවතාර ලුහුබැඳීමේ විනෝදාංශයක් ද මිනිසුන් තුළ තිබේ.එනිසාම භූත දඩයම් සංචාර( Ghost hunting tours ) නමින් හඳුන්වන නව සංචාරක ක්ෂේත්රයක් ද ලෝකය පුරා ප්‍රවර්ධනය වෙමින් තිබේ.
ඒ, ගුප්ත, අභිරහස් කාරණා පසුපස දිව යන්නට කැමැත්තක් ඇතිවීම මිනිසුන්ගේ සාමාන්‍ය පුරුද්දක් නිසා ය. මේ ආකාරයට ගුප්තමය කාරණා නිසා අප රටේ ප්‍රසිද්ධි යට පත් ස්ථාන බොහොමයකි.
ඒ අතරින් නුවරඑළියේ ‘ලවර්ස් ලීප්’ දියඇල්ලට ඇත්තේ විශේෂ ස්ථානයකි.ඉකුත් සති අන්නතයේ ලවර්ස් ලීප් දිය ඇල්ල බැලීමට ගිය මගේ මිතුරකු කියා සිටියේ එහි පැවැති අද්භූත තත්වයන් මෑතක සිට යළි එහි දක්නට ලැබෙන බවකි.ඔවුනට ඒ බව කියා ඇත්තේ ඇල්ලට යන මඟ දෙපස ප්‍රදේශ වාසීන් විසිනි.
ලංකාවේ උසම කන්ද වූ පිදුරුතලාගලින් ඇරඹී නුවරඑළියේ දී ‘ලවර්ස් ලීප්’ දියඇල්ල බවට පත්වන ස්ථානයට ඇත්තේ නුවරඑළියේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරකි. මීටර් 30 ක් පමණ උසකින් යුක්ත මෙය ඉතා මනහර ය.
දහවල් කාලයේ කෙතරම් වේලාවක් මේ ස්ථානයේ ගත කළ ද සවස 6 න් පසුව මේ අවට නොසිටින්නැයි මෙය නරඹන්නට පැමිණෙන සංචාරකයන්ට ගම්වැසියෝ නිතරම අවවාද කරති. ඒ මේ ඇල්ල හා බැඳුණු ගුප්ත, අභිරහස් කාරණයක් නිසා ය. මේ කාරණය පසුපස ඇත්තේ ආදර කතාවකි. ඒ කතාව සැකෙවින් මෙසේ ය.
බොහෝ ඈත සමයක රජ පෙළතකට නෑකම් කියන කුමාරයෙක් දඩයමේ යමින් සිටිය දී මේ අවට ප්‍රදේශයේ දී මංමුලා වී ඇති අතර මේ ප්‍රදේශයේ ජීවත් වූ සාමාන්‍ය පවුලක තරුණියක් ඔහුට ආපසු යා යුතු මග පෙන්වා දී තිබේ.
මේ හමුව අතරතුර ඔවුන් පෙම්වතුන් බවට පත්ව සිටියහ. වරින් වර හමුවෙමින් පෙම්දමින් බැඳුණ ද ඔවුන් අතර කිසිදු අයුරකින් විවාහයක් සිදු කළ නොහැකි තත්ත්වයක් තිබිණි. ඒ පෙම්වතා රජකුමරකු වීමත්, පෙම්වතිය සාමාන්‍ය පවුලක තරුණියක වීමත් නිසාය.
කිසිදා තමාට එක්විය නොහැකි බැව් පසක් කරගත් ඔවුහු මේ දියඇල්ලෙන් පැන සියදිවි නසාගත්හ. එදින පටන් ඔවුන්ගේ අවතාර මේ ප්‍රදේශයේ සැරිසරන බව ගම්මු පවසති. ඇතැම් දිනවල මැදියම් රාත්‍රියේ යුවලක් ලතෝනි දෙන හඬත්, මඳ වේලාවකින් ඇල්ලෙන් පහළට යමක් වැටෙන හඬත් ඔවුහු පවසති.
මේ හේතුව නිසා අඳුර වැටීමෙන් පසුව කිසිවෙක් මේ අවට රැඳී නොසිටින්නට වගබලා ගනිති. කෙසේ නමුත් මේ සිදුවීමෙන් පසුව පෙම්වතුන් ඇතුළු බොහෝ දෙනෙක් මේ ඇල්ලෙන් පහළට වැටී මරණයට පත් වූ කතා බොහෝ ය. ඇතැම් අය අඳුර වැටුණු පසු මේ අවට සිට ඡායාරූප ගනිද්දී ඇල්ල මුදුනේ සිටි පෙම් යුවලගේ හොල්මන් කැමරාවල සටහන්ව තිබූ බවට කතා ද තිබේ.
සැබවින්ම ජනප්රවාදයේ සඳහන් එම යුවල මෙහි හොල්මන් කරනවාද? බොහෝ දෙනෙක්ට ඇසුණු ගුප්ත ලතෝනිය සහ දුටු හොල්මන් සැබෑ ඒවාද? ඒ කෙසේ හෝ පෙම්වතුන් පනින යන අරුත ගෙනෙන “ලවර්ස් ලීප්” යන යන නම මේ ඇල්ලට යොදා ඇත්තේ ඉංග්‍රීසි යුගයේ මෙරට වතු වගාව කළ “සුද්දන්” විසිනි.ඒ අනුව ඔවුන් ද මෙය අසා දැන සහ පිළිගෙන සිටි බව පැහැදිලි ය.
මේ දියඇල්ල අවට මිනිසුන්ගෙන් තොර,සොබා දම් පාරාදීසයක් බඳු උඩරට වැසි වනාන්තර පද්ධතියකින් වැසුණු, සොබාදහමේ හඬ හැර අන් කිසිදු හඬක් නොමැති ප්රදේශයකි.එහි සිතට ගුප්ත හැඟීමක් ඇතිකරන්නට ඒ කාරණා ඕනෑවටත් වඩා ප්‍රමාණවත් ය. මේ ඇල්ලෙන් පහළට වැටී සියදවි නසාගත් පෙම්වතුන් පිළිබඳ ජනප්‍රවාදය, මේ ගුප්ත හැඟීම තවදුරටත් අවුලුවයි.
වසර ගණනාවක් තිස්සේ පැවති එම විශ්වාසය නිසාත්, එම කතා පැතිර යාමත් නිසා මේ ඇල්ල නරඹන්නට ඕනෑම කෙනෙක් පැමිණෙන්නේ ගුප්ත හැඟීමක් සිතේ දරාගෙන ය.
අනෙක කලබලකාරී පරිසරවල සිට මේ හැඟීමත් සමග මෙතැනට පැමිණෙද්දී අවට පරිසරයේ ඇති නිහඬබව තුළින් ඇසෙන දියඇල්ලේ හඬින් සිතක් යම්කිසි ආකාරයක මෝහනමය තත්ත්වයකට පත් වේ. එය කිසිවෙකුට නොදැනී සිදුවන්නකි. ඒ වන විට මෙහි සිටින්නේ යැයි යටිසිත තුළ නිදන්ව ඇති පෙම්වතුන්ගේ හොල්මන් පිළිබඳ සිතිවිල්ල ද නිසා විවිධ පරිකල්පන බොහෝ විට අප ඉදිරියේ රූපමය වශයෙන් මැවී පෙනෙයි. එවැනි හඬවල් ඇසෙයි.
විශේෂයෙන් කිසිදු හඬක් නොමැති මැදියම් රාත්‍රියේ දියඇල්ලේ හඬ තුළින් ලතෝනියක් ඇසෙන්නට පුළුවන. යටිතුළ ඇති ලතෝනිය පිළිබඳ හැඟීම දියඇල්ලේ හඬ සමග මුසුව සැබෑ ලතෝනියක් සේ ඇසෙන්නට පුළුවන.
වෙනත් හේතුවක් නිසා ඇල්ලෙන් පහළට වැටී යමෙක් මියගියත් එය ද පෙම්වතුන්ගේ හොල්මන් නිසා සිදු වූ ඒවා ලෙස අර්ථ දක්වන්නට කිසිවෙක් දෙවරක් සිතන්නේ නැත.
කැමරාවල සටහන් වූයේ යැයි පැවසෙන ඡායාරූප පවා අතිශයෝක්තියකින් යුක්තව ජනගත වූ ඒවා බව මේ හා සමාන වෙනත් ස්ථානවල වූ සිදුවීම්වලින් පැහැදිලි වේ. ඒවා පරීක්ෂා කළ විට පෙනෙන්නේ ඇතැම්විට කැමරාවේ ෆ්ලෑෂ් ආලෝකය නිසා ඇති වූ වෙනත් ඡායාවන් ය.
ඒවා සමාජගත වන්නේ සැබෑ මිනිස් රුවක් කැමරාවේ සටහන්ව ඇති ලෙස නමුත් පරීක්ෂා කොට බැලූ විට පැහැදිලි වන්නේ හුදෙක් ගෝලාකාර හැඩයෙන් යුක්ත ඡායාවන් ය. අඳුරු, ගහකොලින් ගැවසුණු පරිසරයේ ඇති ජල වාෂ්ප ෆ්ලෑෂ් ආලෝකය තූලින් ගෝලාකාර හැඩයකින් යුක්තව කැමරාවේ සටහන් වීම සාමාන්‍ය සංසිද්ධියකි.
එබැවින් ‘ලවර්ස් ලීප්’ ඇල්ල හා බැඳුණු අද්භූත, ගුප්ත කතා හුදෙක් මිනිසුන්ගේ යටිසිතේ කාලයක් තිස්සේ ගැවසීම නිසා ඇති ගෙතුණු ඒවා මිස සැබවින්ම මිය ගිය පෙම්වතුන්ගේ යළි පැමිණීමක් නිසා සිදුවන්නක් නොවන බව සඳහන් කළ යුතු ය.
ඒ කෙසේ වුව ඔබ කවදා හෝ මේ පරිසර පද්ධතියට පිවිසෙන්නේ නම් ඒය කළ යුත්තේ “:ගම්බද උපාසකම්මා කෙනකු බුද්ධ පූජාව පිළියෙල කරන්නාක්” වැනි පරිසරට පිළිබඳ බැති බර හැඟීම් දාමයකින් යුතුවය.
නිරංජන් චාමින්ද කරුණාතිලක