ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස සලකන්නේ මෙම තත්වය දිගින් දිගටම පැවතුනොත් පමණයි.
ලිංගික බෙලහීනතාවය යනුවෙන් අදහස් කරන්නේ සාර්ථක ලිංගික එක්වීමකට අත්‍යවශ්‍ය වන ශිශ්නයේ ප්‍රාණවත් බව ඇති කර ගැනීමට නොහැකි වීම හෝ ප්‍රාණවත් බවක් යම් තරමකට ඇති වුවත් එය සාර්ථක එක් වීමක් සඳහා පවත්වා ගැනීමට නොහැකි වීමයි. අතීතයේදී මෙයට හේතුව වශයෙන් මානසික ගැටළු පමණක් නම් කර තිබුනත් අද වන විට ඒ අදහස වෙනස් වී තිබෙනවා. ඒ අනුව ආතතිය, විශාදය වැනි මානසික සෞඛ්‍යය සම්බන්ධ ගැටලුවලට අමතරව සමහර රෝග තත්වයන් සහ ශාරීරික ආබාධයන්ද මෙයට හේතු වන බව සොයා ගෙන ඇති අතර එයින් ප්‍රධාන තැනක් ගන්නේ පහත සඳහන් රෝගයන් සහ තත්වයන්ය.
• පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම හෝ එහි පිළිකා තත්වයක් ඇතිවීම.
• දියවැඩියාව
• ශිශ්නයට රුධිරය සැපයෙන රුධිර වාහිනී වල කොලෙස්ටරෝල් තැන්පත් වී අවහිර වී තිබීම නිසා රුධිර ගමනාගමනයට බාධා ඇතිවීම
• අධික රුධිර පීඩනය
• රුධිරගත කොලෙස්ටරෝල් සාන්ද්‍රනයන් වැඩි වීම
• සුවදායී නින්දක් නොලැබීම
• ස්නායු රෝග
• මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම
• ශිශ්නයේ ඉදිමීමක් හෝ ඇදවීමක් ඇතිවීම
• අධික ස්ථූලතාවය
• හෝමෝන අසමතුලිතතාවයන්
• දුම්පානය
• මත්පැන් භාවිතා කිරීම
• සමහර ඖෂධ භාවිතාවෙන් ඇතිවන අතුරු ආබාධයක් ලෙස
• විශාදය හෝ වෙනත් මානසික රෝගී තත්වයන්
• අධික කෝපය
• ලිංගික එක්වීම් සම්බන්ධව එතරම් දැනුමක් නොමැති වීම
• සහකාරිය සමග එතරම් ළඟ සම්බන්ධතාවයක් නොමැති වීම හෝ ගැටළු සහගත සම්බන්ධතාවයක් පැවතීම
• හෘද රෝග, වකුගඩු රෝග, තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගී තත්වයන් පැවතීම
වයසින් වැඩි වත්ම මෙම අවස්ථාවට මුහුණ දීමට සිදුවන සම්භාවිතාව වැඩි වන අතර අවාසනාවට වැඩි දෙනෙක් ලැජ්ජාව නිසා ලිංගික බෙලහීනතාවයට ප්‍රතිකාර ගැනීමට නොයති. වෙනත් කෙනෙකුගේ කීමට හෝ වෙළඳ දැන්විම්වලින් දැකීමෙන් නිසි වෛද්‍ය උපදෙස් වලින් තොරව මේ සඳහා එක් එක් ඖෂධ භාවිතා කිරීම හානිකර විය හැකි බැවින් එසේ කිරීමෙන් වැළකිය යුතුය.
ලිංගික බෙලහීනතාවයට පත් නොවී සිටීමට කළ හැකි දේ දැනගමු
• පිෂ්ඨය අඩු, එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග, පලා කොළ, මස් මාලු ආදියෙන් යුක්ත සමබර ආහාර වේල් ගැනීම
• සිරුරේ බර අඩු කර ගෙන උසට සරිලන බරක් පවත්වා ගැනීම
• රුධිර පීඩනය පාලනය කර ගැනීම
• අධික ලෙස කොලෙස්ටරෝල් සහිත ආහාර ගැනීමෙන් වැළකීම
• ඔබට දැනටමත් දියවැඩියා තත්වය ඇත්නම් එය මනාව පාලනය කර ගැනීම
• දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වීම (දුම්පානය කරන්නන්ට දුම්පානය නොකරන අයට වඩා දෙගුණයක් ලිංගික බෙලහීනතාවයට පත්වීමේ අවදානම වැඩිය. එයට හේතුව රුධිර වාහිනීවල සිහින් වීමයි. දුම්පානය කරන අයට මේ වෙනුවෙන් කරන ප්‍රතිකාරයන් ද නිසි ලෙස ක්‍රියා නොකරනු ඇත)
• මත්පැන් පානයෙන් වැළකීම
• මත්ද්‍රවය භාවිතා කරන්නේ නම් එයින් සහමුලින්ම ඈත් වීම
• නිසි ලෙස ව්‍යායාම කිරීම, ශාරීරිකව ක්‍රියාශීලී වීම
• ශ්‍රෝණිය ආශ්රිත මස්පිඬුවල යෝග්‍යතාවය වැඩි කර ගැනීමට සුදුසු ව්‍යායාම කිරීම
• මානසික ආතතිය අවම කර ගැනීම
• නින්ද නිසි පමණට නොලැබේ නම් හෝ නින්ද නොයාම රෝගී තත්වයක් වන තරමටම වැඩි නම් ඒ සඳහා ප්‍රතිකාර ගැනීම
ලිංගික අප්‍රාණිකත්වය ඇති බව දැනුන වහාම ප්‍රතිකාර ගැනීමට යොමු වන්න. මුල් අවදියේ දී පියවර ගත හොත් එය මග හරවා ගැනීමට හැකි වනු ඇත. ඔබගේ වෛද්‍යවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පසුබට නොවන්න. එලෙස කතා කළ විට ඔහු අවශ්‍ය පරීක්ෂන වලින් පසුව ඔබේ ගැටලුවට හේතුව සොයාගෙන එය හැකි තරම් නිවැරදි කර ගන්නා අයුරු ඔබට කියා දෙනු ඇත. එයට ප්‍රතිකාර කරනුයේ දිවි පැවැත්ම නිවැරදි කර ගැනීමට උපදෙස් දීම තුලින් හෝ ඖෂධ භාවිතා කිරීමෙන් හෝ මනෝ චිකිත්සාව මගින් හෝ විය හැකිය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන