ලොව ප්‍රකට පුද්ගලයන් ගේ සුරතල් සතුන් ගැන දැන ගනිමු

විලියම් සහ කේට් සතුව සිටින ඕර්ලා

බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක් ලැබී තිබේ. එහි ඇති ප්‍රවෘත්තිමය වටිනාකමට වඩා වැඩි යමක් පිළිබඳ මේ දිනවල මුළු ලෝකය පුරාම කතාබහට ලක්වෙමින් පවතී. ඒ වසර දහයකටත් වැඩි කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේ ‘ප්‍රධාන මූෂික පාලකයා’ හෙවත් ‘මීයන් අල්ලන්නා’ ලෙස සේවය කළ ‘ලැරී’ නම් බළලාට කුමක් සිදුවේද කියාය. මේ වන විට අගමැතිවරු පස් දෙනෙකු සමගම කිසිදු ආරවුලක් නොමැති සිය රාජකාරි වැඩකටයුතු කර ගෙන යන්නට ලැරීට හැකියාව තිබුණු නමුත් මෙවර ඔහුට යම් අභියෝගයක් ඇතිවෙමින් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙයට පෙර පත් වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු සියලු දෙනාම ඩවුනිං වීදියේ නිල නිවසට පැමිණෙද්දී තමා එතෙක් ඇති දැඩි කරමින් සිටි සුරතලුන් ද රැගෙන පැමිණි අතර ඒ සියලු දෙනාම පාහේ සුනඛයන් වූ බැවින් ලැරී ට ඔවුන් සමග ආරවුලක් ඇති කරන්නට හේතුවක් තිබුණේ නැත. නමුත් නව අගමැතිවරයා වූ කෙයිර් ස්ටාර්මර්ගේ සුරතලා ‘ජෝ ජෝ’ නම් තවත් බළලෙකි. ඩවුනිං වීදිය අසලින් වෙනත් බළලකු යනවාටවත් අකැමති ලැරී මේ සම්බන්ධයෙන් කුමනාකාර ප්‍රතිචාරයක් දක්වනු ඇතිදැයි නිශ්චිත අදහසක් කිසිවකු තුළත් නැත. මේ ප්‍රවෘත්තියත් සමග ලොව පුරා සිටින සුරතල් සතුන් පිළිබඳ, විශේෂයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්, රාජ්‍ය නායකයන් සතුව සිටින සුරතලුන් පිළිබඳ කතා බහ වැඩි වී තිබේ.

විලියම් කුමරු සහ කේට්

බ්‍රිතාන්‍ය රජ පවුලේ විලියම් කුමරු සහ කේට් කුමරිය ද සුරතල් සතුන් ඇති දැඩි කිරීමේ දැඩි කැමැත්තකින් පසුව සුප්‍රකට යුවළකි. ඔවුහු බ්ලැක් කොකර් ස්පැනියල් වර්ගයට අයත් සුනඛයකු සුරතලයට ඇති දැඩි කරති. ගැහැනු සතකු වූ ඇයගේ නම ‘ඕර්ලා’ වන අතර එහි අරුත ‘රන්වන් කුමරිය’ නම් වේ. විලියම් සහ කේට් කරා පැමිණෙන්නට පෙර ඇය ඇති දැඩි වූයේ චාලට් කුමරිය සමගිනි. චාලට් යනු මොවුන් මේ රාජකීය යුවලගේ දියණියයි. ඕර්ලා ට අමතරව මේ රාජකීය යුවළ තවත් අපූරු සතකු සුරතලයට ඇති දැඩි කරන බව ප්‍රසිද්ධ රහසකි. ඒ මූෂික පවුලට අයත් වන හැම්ස්ටර් සතෙකි. ‘මාර්වින්’ ලෙස නම් කොට මේ හැම්ස්ටර් ගැහැනු සතෙකි. චාලට් කුමරිය ද ඇයට දැඩි කැමැත්තකින් පසුවන බව පැවසේ.

ඇන්ජලා මර්කල් සිය බළල් සුරතලා සමග

රුසියානු ජනපති පුටින්

 

පුටින් සහ සුනඛ සුරතලුන්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය මැඳුරේ සිටින ලැරී

රුසියානු ජනපති පුටින් සුරතල් සතුන්ට දැඩි ඇල්මක් දක්වන්නකු බව ඔහු පිළිබඳ වූ ඡායාරූප සහ වීඩියෝවලින් මොනවට පැහැදිලි වන්නකි. උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං උන් විසින් රුසියානු ජනපතිවරයාට පන්ග්සන් වර්ගයට අයත් දඩයම් සුනඛයන් දෙදෙනෙකු තිළිණ ලෙස ලබා දී තිබේ. ඊට අමතරව කොනී නම් වූ කළු ලැබ්‍රදෝර් රිට්‍රීවර් ගැහැනු සතකු ද ඔහු සතුව සිටියි. ඇය බොහෝ විට පුටින් සහභාගී වන රැස්වීම් සඳහා රැගෙන යනු දක්නට ලැබෙන්නකි. ඊට අමතරව ෂෙපර්ඩ් වර්ගයට අයත් බෆි නම් සුනඛයකු ච ඔහු සතුය. මේ සුනඛයා බල්ගේරියානු ජනාධිපති බොයිකෝ බොරිසොව් විසින් පරිත්‍යාග කරන ලද්දෙකි. මේ සුනඛයා ලැබුණු අවස්ථාවේ නමක් තැබීම සඳහා දීප ව්‍යාප්ත තරගයක් පවත්වනු ලැබිණි. මෙයින් ජයග්‍රහණය කරන ලද්දේ පස් හැවිරිදි දරුවකු වූ අතර බෆි යන නම තබන ලද්දේ මේ කුඩා දරුවා විසිනි.

ජපානය ප්‍රබල භූ චලනයකට සහ සුනාමි තත්ත්වයකට ලක් වූ අවස්ථාවක දී උදව් කිරීමට කෘතගුණ සලකනු වස් සංකේතයක් විසින් ජපානය විසින් පරිත්‍යාග කරන ලද සුනඛයකු ද පුටින් සතුය. ‘සිහිනය’ නමැති අරුතැති ‘යුමී’ නම් වන මේ සුනඛයා, සුනඛයන් කිහිප දෙනෙකු අතරින් පුටින් විසින්ම තෝරා ගන්නා ලද්දෙකි.

මීට අමතරව තුර්ක්මෙනිස්තානු ජනපතිවරයා, සර්බියානු ජනපතිවරයා ආදීන් විසින් පරිත්‍යාග කරන ලද සුරතලුන් ද පුටින් සතුය.

ඇමරිකානු ජනපති ජෝ බයිඩන්

 

ජෝ බයිඩන්ගේ බළල් සුරතලා
ජෝ බයිඩන් සතුව සිටින මේජර් සුනඛයා

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සතුව ‘මේජර්’ සහ ‘චෑම්ප්’ නමින් හඳුන්වනු ලබන ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් සුනඛයන් දෙදෙනෙකු දක්නට ලැබේ. මේජර් කුඩා කාලයේ හැදී වැඩී ඇත්තේ කිසිදු හිමිකරුවක් නොමැති අසරණ සතකු ලෙස සතුන් සුරකින මධ්‍යස්ථානයකය. ජනපති මැඳුරට මේජර් පැමිණ ඇත්තේ එම ස්ථානයෙන් වූ අතර එසේ සතුන් සුරකින මධ්‍යස්ථානයට සිට ජනපති මැඳුරට පැමිණි ප්‍රථමයා ද මේජර් වේ. සතුන් සුරකින මධ්‍යස්ථානට මේජර් කුඩා පැටවා සමයේ හමුවන විට සිට ඇත්තේ කුණු කූඩයක වූ අතර ඔහුගේ හිමිකරුවන්ට මේජර්ව හදා වඩා ගැනීමට පවා වත්කමක් තිබී නැත. ඊට අමතරව ඔහු සතුව ‘විලෝ’ නමින් බළල් සුරතලකු ද සිටියි.

ඇන්ජලා මර්කල්

ඇන්ජලා මර්කල් ජර්මනියේ හිටපු චාන්සලර් ය. ඇය දැනට රාජ්‍ය නායිකාවක නොවූව ද, සුරතල් සතුන් ඇති කරන රාජ්‍ය නායිකාවන් අතර ඇයට හිමි ඇත්තේ විශේෂ ස්ථානයකි. බොහෝ රාජ්‍ය නායකයින් සීය සුරතලුන් සේ සුනඛයන් යොදා ගත්ත ද, ඇය වැඩි වශයෙන්ම ඇලුම් කරන්නේ බළලුන්ටය. ඇය සතුව පර්සියානු වර්ගයට අයත් බළලුන් කිහිප දෙනෙකුම සිටන අතර ඒ් අතරින් ‘මින්කා’ බොහෝ දෙනෙක් අතර ප්‍රකටය.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ

විලියම් සහ කේට් සතුව සිටින මාර්වින්

කැනඩා අග්‍රාමාත්‍යවරයා සුරතල් සතුන් කෙරෙහි වූ ඇල්ම සෙසු රාජ්‍ය නායකයන්ට වඩා වෙනස්ම එකකි. ඔහු සුනඛයන්ට හෝ බළලුන්ට වැඩ කැමැත්තක් දක්වන්නෙක් නොවේ. ඔහු ඇලුම් කරන්නේ සාවුන්ටය. ඔහු සමග අග්‍රාමාත්‍ය නිල නිවසේ ‘ජුනිපර්’ නම් සාවකු ජීවත් වෙයි.

මීට අමරව වැඩි විස්තර සොයා ගන්නට නැතත් නෝර්වේ හි පස්වැනි හැරල්ඩ් රජු සහ ඔහුගේ බිසව වැඩි වශයෙන් අශ්වයන්ටත්, ස්පාඤ්ඤයේ හය වැනි ෆෙලිප් රජු සහ බිසව වැඩි වශයෙන් කැස්බෑවුන්ටත්, ඩෙන්මාර්කයේ රැජින වූ දෙවැනි මාග්‍රත් ද අශ්වයන්ට දැඩි සේ ඇලුම් කරන බව දැනගන්නට ලැබී තිබේ.

මේ කතා කළ ලොව ප්‍රසිද්ධ පුද්ගලයන්ට අමතරව තවත් බොහෝ ප්‍රසිද්ධ, ජනප්‍රිය පිරිසක් විනෝදාංශයක් ලෙස විවිධාකාරයේ සුරතල් සතුන් ඇති දැඩි කරති. යම්කිසි රටක රාජ්‍ය නායකයකු ප්‍රසිද්ධියේ යම්කිසි සුරතල් සතකු ඇති දැඩි කරද්දී රටවැසියන් තුළ ද සුරතල් සතුන් ඇති දැඩි කීරීම පිළිබඳ යම් හැඟීමක් ඇතිවන බව සොයාගෙන තිබේ. සෙසු රටවැසියන් තුළ ද සුරතල් සතුන් ඇති දැඩි කිරීමේ කැමැත්තක් ඇති වන්නට ද මෙය හේතුවක් වී තිබේ. එබැවින් සතුන් කෙරෙහි ජනතාව තුළ ඇති ආදරය, කරුණාව ඉහළ නංවන්නට ප්‍රසිද්ධ පුද්ගලයන්, විශේෂයෙන් රාජ්‍ය නායකයන් දක්වන ආකල්පය මහත් සේ ඉවහල් වන බව පෙනෙන්නට තිබේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර