ලොව ජීවතුන් අතර සිටි වියපත්ම පුද්ගලයා ලෙස සැලකුණු ප්රංශ ජාතික ලුසිල් රැන්ඩන් පසුගිය දා ජීවිතයෙන් සමු ගත්තාය. ප්රංශයේ සේන්ට්-කැතරින්-ලේබර් නැමැති සාත්තු නිවාසයක ජීවත් වූ ඇය මිය යන විට ඇගේ වයස අවුරුදු 118 ක් සහ දින 340 ක් විය. 119 වැනි විය සපිරීමට ඇයට තව තිබුණේ දින කිහිපයක් පමණි. පසුගිය 17 වැනි දින අලුයම් කාලයේ ඇය මිය ගොස් තිබුණේ නින්දේ සිටියදීම ය.
ඇය කන්යා සොහොයුරියක ලෙස ද කටයුතු කළ කාන්තාවකි. 1904 වසරේ උපත ලැබූ රැන්ඩන් ආගමික ජීවිතයකට ඇතුලත්ව තිබුණේ 1944 වසරේ යි. එයින් පසු ඇය හැඳින්වුණේ අන්ද්රේ කන්යා සොයුරිය ලෙසිනි. ඇයගේ ජීවිත කාලය තුළ මිනිස් ඉතිහාසයේ සුවිශේෂී අවස්ථා රැසක් අත්දැකීමට ඇයට හැකි විය. පළමු සහ දෙවැනි ලෝක යුද්ධ ඒ අතරින් ප්රධාන තැනක් ගනියි. එමෙන්ම 1918 වසරේ ලෝකයම බිලිගත් තවත් බිහිසුණු වසංගතයක් වූ මහා ඉන්ෆ්ලුවෙන්සා වසංගතයෙන් ද බේරී ජීවත් වීමට ඇයට හැකි විය. ස්පාඤ්ඤ උණ යනුවෙන් ද හැඳින්වුණු මෙම වසංගතයෙන් මිය ගිය ගණන මිලියන 25 -50 අතර වන බව විශ්වාස කෙරේ.
අන්ද්රේ සොහොයුරියගේ ජීවිත කාලය තුළ පාප්වහන්සේලා 10 දෙනෙකු පත් වී තිබිණි. එමෙන්ම එම කාලය තුළ ජනාධිපතිවරුන් 18 දෙනෙකු ප්රංශය පාලනය කළ බව ද සඳහන් ය. ඇයගේ 118 වැනි උපන් දිනය දා ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සිය අත් අකුරෙන්ම ලියූ සුබ පැතුම්පතක් ඇය වෙත එවා තිබිණි.
අන්ද්රේ කන්යා සොහොයුරිය ලොව වියපත්ම පුද්ගලයා යන වාර්තාවට හිමිකම් කීමට පෙර ඊට හිමිකම් කීවේ ජපාන ජාතික කාන්තාවකි. කානේ තනාකා නම් වූ ඇය පසුගිය වසරේ මිය ගිය අතර ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 119 ක් විය.
කෙතරම් වයසට ගිය ද අන්ද්රේ සොහොයුරිය අන් අයට උදව්පදව් කිරීමට නිතර සැදී පැහැදී සිටි කෙනෙකු බව පැවසේ. ජීවිතයේ අවසන් කාලයේ දෑස් අන්ධව, රෝද පුටුවක කාලය ගත කරද්දී පවා ඇය ඉහත කී සාත්තු නිවාසයේ සිටි අනෙක් වියපත් උදවියට උදව් කිරීමට පසුබට නොවූ බව එහි නිලධාරීන් පවසා තිබේ. කන්යා සොයුරියක බවට පත් වීමට පෙර ඇය දෙවැනි ලෝක යුද්ධයෙන් අසරණභාවයට පත්ව සිටි දරුවන් රැකබලා ගැනීමේ නිරතව සිටි බව පැවසේ. එයින් පසු රෝහලක සේවය කර තිබූ ඇය එහි සිටි වියපත් පුද්ගලයන්ට සහ අනාථ දරුවන්ට සාත්තු කිරීමේ කටයුතුවල වසර 28 ක් පමණ නිරත වී තිබුණාය.
චොක්ලට් කෑමටත්, වයින් පානයටත් ඇය මහත් රුචියක් දැක් වූ බව ද සඳහන් වේ. සෑම දිනකම වයින් වීදුරුවක් පානය කිරීම ඇයගේ දිනචරියාවේ ප්රියතම අංගයක් වී ඇත.
ලොව වියපත්ම පුද්ගලයා යන වාර්තාවට අමතරව අන්ද්රේ සොහොයුරිය තවත් වාර්තාවකට හිමිකම් කීවාය. ඒ කොවිඩ් රෝගයට ගොදුරු වී එයින් සුවය ලැබූ වියපත්ම පුද්ගලයා වශයෙනි. 2021 වසරේ ඇය එම රෝගයට ගොදුරු වෙද්දී වයස අවුරුදු 117 ක් විය. ‘මම මැරෙන්න බය නැහැ. ඒ නිසා කොවිඩ් රෝගයටත් බය නැහැ’ යයි ඇය නිතර පැවසූ බව සාත්තු නිවාසයේ ප්රකාශයකු පවසා තිබිණි. ලොව වැඩිම කාලයක් ජීවත් වූ කන්යා සොහොයුරිය ලෙස සැලකෙන්නේ ද අන්ද්රේ කන්යා සොයුරිය යි.
ඇයට නිවුන් සොහොයුරියක සිටි බව ද සඳහන් වේ. නමුත් ඉතා කුඩා වියේදී ම ඇය මිය ගොස් තිබුණාය. අන්ද්රේ සොහොයුරියට වැඩිමල් සහෝදරයන් දෙදෙනකු සිට ඇති අතර ඇය ඔවුන්ට දැඩි ලෙස ආදරය කළ බව පැවසේ. මෙම සොහොයුරන් පළමු ලෝක යුද්ධයේ දී යුද පෙරමුණේ කටයුතු කර තිබිණි. යුද්ධය අවසන් වීමෙන් පසු ඔවුන් නිරුපදි්රතව නිවස වෙත පැමිණි අවස්ථාව තමා ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාවක් බව ඇය පවසා තිබුණාය.
අන්ද්රේ කන්යා සොයුරියගේ අභාවයෙන් පසු දැන් ලොව වියපත්ම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින්නේ මාරියා බ්රන්යාස් මොරේරා ය. ඇමරිකාවේ උපන් කෙනෙකු වන ඇය පසුව ස්පාඤ්ඤයේ පදිංචියට ගොස් තිබුණාය. ඇය ඉහත කී වාර්තාවට හිමිකම් කී අවස්ථාව (ජනවාරි 17) වනවිට ඇයගේ වයස අවුරුදු 115 ක් සහ දින 319 ක් විය.
නිහාල් පීරිස්