පාද සතර, සම සහ දත් ඉවත් කොට තිබූ කඳුකර දිවියකුගේ ගේ මළ සිරුරක් ඉකුත් 01 වන දා බගවන්තලාව ප්‍රදේශයෙන් හමු වී තිබේ. ශ්‍රී පාද ස්වභාවික රක්ෂිත මායිමේ තිබී හමු වූ මෙම මළ සිරුර කිසියම් පිරිසක් විසින් ඝාතනයට ලක් කළ සත්වයකු ගේ බවට අනුමාන කෙරේ.මඳ කලකට පසු ජනමාධ්‍ය මගින් අනාවරණය වන මෙම වන අපරාධය සත්ව ඝාතනය පිළිබඳ ප්‍රවෘත්තිය මෙය වුවද සත්‍යය මෙය නොවේ.ඒ හෝටන්තැන්න අවට පිහිටි නල්ලතන්නිය, මස්කෙළිය ගිනිගත්හේන ආදී ප්‍රදේශ වතු ජනාවාස ආශ්‍රිතව නිරන්තරයෙන් සිදු කෙරෙන සංවිධානාත්මක ජාවාරමක් බව තහවුරු කෙරෙන තොරතුරු රැසක් මේ වන විට ලැබෙමින් පැවතීම නිසා ය. ඒ අනුව මෙලෙස ඉඳහිට මාධ්‍ය මගින් සමාජ කරලියට පැමිණෙනුයේ එම සමස්ත කඳුකර දිවියන් ඝාතන ක්‍රියාදාමයෙන් 20% කටත් අඩු ප්‍රමාණයක් බව ද අනාවරණය වී ඇත.
ගෙවී ගිය 2021 වසරේදී මධ්‍යම පළාත තුළ කඳුකර දිවියන් හත් දෙනකු විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.එහෙත්,ඔවුන්ගේ එම ප්‍රකාශය කඳුකර දිවියන් ඝාතනය වූ සැබෑ ප්‍රමණය නොව ඝාතනය වූ කඳුකර දිවියන්ගේ සිරුරු හමු වූ ප්‍රමාණය ලෙසින් නිවැරදි විය යුතුම ය.ආගරපතන, බෝපත්තලාව, දික්ඔය, මුල්ඔය, රජ්ජම්මන, කැනියෝන් සහ මහගලහින්න යන ප්‍රදේශවල දී මෙම දිවියන්ගේ සිරුරු හමු වී ඇතැයි ද එම නිලධාරීහු කියති.සෑම වසරකම කඳුකර දිවියන් රැසක් විවිධ වු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙසේ මිය යන බවත්, සතුන් දඩයම් කර ගැනීමට අටවන ලද කම්බි මදුවලට හසුව එම සතුන්ගෙන් වැඩි බහුතරයක් මියයන බවත් වනජීවී නිලධාරීහු පවසති.කඳුකර කොටියන් හා වන සතුන් ඉලක්ක කර ගනිමින් අටවා තිබු කම්බි මදු හා වෙනත් මරඋඟුල් රැසක් පසුගිය වසරේ ඉවත් කිරීමට පියවර ගත් බවත්, ඊට අමතරව එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් කියති.
ශ්‍රී ලංකාවට ආවේණික දිවි උප විශේෂය Panthera pardus kotiya නමින් හැඳින්වෙන අතර ඔවුන් ලොව ඇති විසිතුරුම සතුන් අතරට එක්ව තිබේ. එමෙන්ම මොවුන් ගේ සම, දත්, නිය ආදී ශරීර කොටස් සඳහා ද ඉල්ලුමක් පවතී.ඉහත සඳහන් ඝාතන ක්‍රියාවලියට පොට පෑදෙනුයේ ඒ අනුව ය. සැළසුම් සහගත ලෙස සත්ව ඝාතකයන් ඔස්සේ සත්ව කොටස් ජාවාරම් කරුවන් අතට පත්වන මෙම දිවියන් එම ප්‍රදේශයේ ස්වභාවික රක්ෂිතයන් නිජබිම කර ගන්නෝ වෙති. එහෙත්, අතීතයට සාපේක්ෂව එම භූමි ප්‍රමාණයන් ගෙන් කොටසක් විවිධ මානව ක්‍රියාකාරකම් සඳහා නතුවීම දිවියන් ගේ ගොදුරු බවට පත් වන වල් ඌරන් වැනි සතුන් ගේ ගහනය අඩුවීම ආදී හේතු කොට ඔවුන් ගොදුරු සොයා රාත්‍රී කාලවල ඒ අවට වතු ජනාවාස වෙතට සංක්‍රමණය වන බවටත් කෙමෙන් එම ජනාවාස ආශ්‍රිතව තම වාසභූමි සකස් කර ගන්නා බවටත් අනාවරණය වී තිබේ. විශේෂයෙන් එම වතු ජනාවාස අතර කුකුළු කොටු වලින් නික්මෙන දුර්ගන්ධය කෙරෙහි ආකර්ශනය වන මෙම කොටින් ඒ වෙතට යොමු වන අතර ඉතා සංවිධානාත්මක හා සැළසුම් සහගත ලෙස ඔවුන් ඝාතනයට ලක්වන බව පැවසෙයි.
මේ සඳහා ඉදිරිපත් වන එම වතු ජනාවාස වල ජීවත් වන්නවුන් කුලියට උගුල් අටවන්නවුන් ගේ සේවය ලබා ගන්නා බවටත් තමන් ගේ ජීවිත සහ සුනඛයන් කුකුළන් ආදී ගෘහස්ථ සතුන්ගේ ආරක්ෂාව සඳහා යැයි පවසමින් ඒ සඳහා අදාල වතුවල පාලනාධිකාරීන් ගෙන් අවසර ලබා ගන්නා බවටත් තොරතුරු අනාවරණය වී තිබේ. වනයේ සිට දිවියන් වතු ජනාවාස වෙත පිවිසෙන මංපෙත් වල ත්‍රිරෝද රථ කේබල් යොදා මන්දවල් අටවා ඔවුන් ඝාතනය කොට ඉහත සඳහන් ශරීර කොටස් ඉවත් කර ගන්නා වතු ජනාවාසවල වෙසෙන පිරිස් ඒවා තමන් වෙත පැමිණෙන ගැනුම් කරුවන්ට අලෙවි කරන බව පැවසෙයි.මේ වන විට වාර්තා වන අන්දමට ඔවුන් වැඩිපුරම පැමිණෙනුයේ සබරගමුව දිසාවෙනි. එම දිවි සම් ආදී කොටස් ගන්නා මිල ගණන් නිසි පරිදි අනාවරණය වී නැත. මේ අතර තම කාය බලය හෝ වෙනයම් හේතුවක් මත එම මන්දකින් අත් මිදෙන දිවියකු දෙදෙනකු සමාජය හමුවට පැමිණ ජීවිතය බේරා ගන්නා හෝ මරණයට පත් වන අවස්ථා පමණක් ජන මාධ්‍ය වලින් ප්‍රසිද්ධ වන බව සෙසු බහුතරය අප්රකටව එලෙස ඝාතකයන් ගේ ග්‍රහණයට නතු වී ජීවිතය හැරයන බවත් අනාවරණය වී තිබේ. මේ අතර මධ්‍යම කඳුකරය පවතින ශීත දේශගුණය සහ හිරු රශ්මිය මඳ බව නිසා ශරීර වර්ණයේ ජාන නිලීන වීමෙන් කළු පැහැ ගැනීම නිසා කළු පැහැයෙන් යුතු කළු කොටියා ( Black panther ) නමින් හඳුන්වන මෙම විශේෂයේම දිවියන් කිහිප දෙනෙක් මෙම වන කලාපය තුළ වෙසෙති. ඔවුන්ගේ ඉරණම ද අතිශය අවදානම් මට්ටමක පවතී. මේ තත්වය යටතේ මෙම සත්ව ඝාතන ක්‍රියාවලියට වන අපරාධයට එරෙහිව එම වතු ජනාවාස ආශ්රිත ළමා සහ තරුණ පිරිස් තුළ යම් උනන්දුවක් තිබේ.දෙමළ මාධ්‍යෙයෙන් අන්තර් ජාලය ඇසුරු කිරීම මුල් කොට ඔවුනට එම සත්වයා සැබෑ වටිනාකම අනාවරණය වී තිබේ.නමුත් භාෂා ප්‍රශ්න ආදී හේතු මුල් කොට ඔවුන්ගේ හඬ බාහිර සමාජය වෙත සන්නිවේදනය නොවන බව අනාවරණය වී ඇත.
විශේෂයෙන් පසුගිය කොරෝනා සමයේ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථාන නිළධාරීන්ට මාර්ගාරක්‍ෂක කටයුතු ඇතුළු වෙනයම් රාජකාරී පැවරීම නියමිත රාජකාරී අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නිලධාරීන් හා යටිතල පහසුකම් නල්ලතන්නි වනජීවි කාර්යාලයට නොලැබීම ආදී හේතු මත ජනමාධ්‍ය වලින් එළි දැක්වෙන සිද්ධියට පරිබාහිර වූ මෙම මහා සත්ව ඝාතන; වන අපරාධ දාමය මේ වන විට ද බොහෝ දුරට දිග්ගැස්සී තිබේ. මෙය මුළු මහත් ජාතියේම කඩිනම් අවධානයට යොමු විය යුතු තත්වයකි.
දමයන්ති ගමගේ