ලොවින් සැඟව ගත් ගමකට පිවිසෙමු

lowin-sagawa

වර්තමානයේ අපේ රටේ පවතින බඩු මිල, විදුලි බිල, ජල බිල ඉන්ධන, ගෑස් ආදී මෙකී නොකී දහසකුත් ප්‍රශ්න මෙන්ම ඒවා වෙනුවෙන් කරනු ලබන උද්ඝෝෂණ අරගල ආදිය අපේ රටේ ජනතාව මෙකල මුහුණ දෙන පොදු ගැටලු යි. මේ කිසිදු දෙයක් නොදන්නා, නොදැනෙන වෙනම ලෝකයක් බඳු, නමුත් ආහාර පාන ආදියෙන් ස්වයංපෝෂිත ප්‍රදේශ ද අපේ රටේ නැතුවාම නොවේ. අද අප ඔබ කැඳවාගෙන යන්නේ එවැනි සුන්දර ගම්මානයක් වෙතටයි.

උඩගලදෙබොක්ක නකල්ස් ආශ්‍රිතව පිහිටි ඉතාමත් සුන්දර, නමුත් අති දුෂ්කර ගම්මානයක්. මෙය ගම්මානයක් පමණක් නොවෙයි, මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් හතලිස් හයෙන් එකක් ද වෙනවා. මේ මුළු වසමම ඉතාමත්ම දුෂ්කරයි. නමුත් මෙවැනි සුන්දර ගම්මානයක රැයක් ගත කරන්නට හැකිනම් ඔබටත් එය හරිම අසිරිමත් අත්දැකීමක් වේවි.
කොළඹ ඉඳලා එනව නම් මුලින්ම මහනුවරට ඇවිත් මහනුවර – මහියංගන පාරේ හසලකට එන්න ඕනෙ. ඊට පස්සේ හසලක – හෙට්ටිපොළ පාරේ උඩවෙලට ඇවිත් උඩවෙලින් උඩත්තාවට යා යුතුයි.

ඉන්පස්සෙ ඔබට තවදුරටත් වාහනේ යන්න ලැබෙන්නේ නෑ. උඩත්තාව ගමේ කෙළවරේ තියෙන ගෙදරක වාහනය නතර කර සැතපුම් තුනක් පමණ දුරක් කන්ද නැගිය යුතුයි. මේ ප්‍රදේශවල සිටින අහිංසක ගැමියන්ට මෙලෙස පිටින් එන අමුත්තන් වාහන නතර කර යාම අමුතු දෙයක් නොවෙයි. ඒ වගේම ඔවුන් එම වාහන බලා ගන්නවා.

ඔබට මේ පයින් යන ගමන ආරම්භ කරන්න වෙන්නේ උදේ අටෙන් පස්සේ විතර තමයි. කන්ද උඩට යන්නට සැකසූ ක්‍රමවත් පාරවල් නැති නිසා මෙය අසීරු ගමනක්. එනිසා පැය කීපයක් ගමනට ගත වෙනවා. උදේ අටෙන් පස්සේ යන්න කියන්නේ ඒ ප්‍රදේශවල උදේ පාන්දරට වන අලි රංචු ගැවසිය හැකි නිසයි. ඒ වගේම හවස දෙකෙන් පස්සේත් මේ පැත්තේ ගැමියන් කන්දේ එහා මෙහා යන්නේ නෑ. සවස් කාලයටත් වනඅලි ගැවසෙන්න ඉඩ තිබෙනවා. නමුත් මේ පැතිවල වන අලි ගම් වදින්නෙ නෑ. ගෙවල්වලට, බව බෝගවලට වගේම මිනිසුන්ටත් අලින්ගෙන් හානියක් නෑ. අලින්ට ඕනෑ තරම් කෑම නකල්ස් වනාන්තරයේ තිබෙන නිසා ඔවුන් ගම්වලට එන්නෙ නෑ.මිනිස් අලි ගැටුම ගැන අධ්‍යනය කරන කාටත් මේක හොඳ මංපෙතක්.

මේ ගම්මානයේ සිරි නරඹන්න නම් ඔබට රැයක් එහි නතර වෙන්නම වෙනවා. ඒ සඳහා ඔබට ඒ ගමේම නිවසක නවාතැන් පහසුව සපයා ගත හැකියි. ඒ වසමේ ග්‍රාම නිලධාරීතුමා වන කහවත්ත මහතාගේ මාර්ගයෙන් ඔබට රැයක් නවතින්න නිවසක් සොයා ගන්න අපහසු වෙන්නේ නෑ. මේ ගැමියන් ඉතාමත් අහිංසක, ආගන්තුක සත්කාර හොඳින් දන්නා අයයි. ඔබ යන විට ඔබේ පිරිසට ආහාරය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය දෑ රැගෙන යන්න. එවිට ඔවුන් ඔබට කෑම සකස් කරන්න උපකාර කරාවි. ග්‍රාම නිලධාරීතුමා සතියට දවස් දෙකක් පමණ සිය රාජකාරි කටයුතුවලට ඔය කන්ද තරණය කර උඩගල දෙබොක්ක ගමට යනවා. එතුමාට ඔය කන්ද හොඳට පුරුදුයි. මේ වසමට වසර ගණනාවක සිටම ඉන්නේ මේ ග්‍රාම නිලධාරි මහතා යි. සාමාන්‍යයෙන් මෙවැනි වසම්වල සිටින ග්‍රාම නිලධාරීවරුන් වෙනත් ප්‍රදේශවලට මාරු කරන්නේ නෑ. මෙවැනි වසමක රාජකාරිය කරන්න නම් හොඳින් කඳු නැගිය හැකි, කෑලේ පාරවල් හොඳින් දන්නා, කැලෑවේ ගහකොළ සහ සතුන්ගේ ස්වභාවය ගැන මනා වැටහීමක් ඇති කෙනෙක් ම වෙන්න ඕනේ. ඒ නිසා තමයි ග්‍රාම නිලධාරීවරුන් මාරු නොකරන්නේ. අනෙක කාන්තා ග්‍රාම නිලධාරීවරුන්වත් මෙවැනි ප්‍රදේශවලට පත් කරන්නේ නෑ.

දැන් අපි උඩගලදෙබොක්ක ගම ගැන කතා කරමු.
මේ ගමට යන්න නම් සැතපුම් තුනක් පමණ දුර කන්ද තරණය කළ යුතු බව ඉහත සඳහන් කළා. ඒ කන්ද තරණය කළාට පස්සේ හමුවන්නේ විශාල තැන්නක්. තැන්නක් කිව්වට මේක පිට්ටනියක් වගේ සමතලා බිමක් නම් නොවෙයි.

මුලින්ම ඔබට දකින්න ලැබෙන්නේ උඩගලදෙබොක්ක ගමේ කුඩා වෙල්යාය. ඒ ගමේ ජීවත් වන ගැමියන් මේ වෙල්යාය අස්වද්දා ගෙන තමන්ට අවශ්‍ය සහල් ටික සපයා ගන්නවා.

වෙල්යාය පසුවුණු ගමන්ම උඩගලදෙබොක්ක ප්‍රාථමික විද්‍යාලය හමු වෙනවා. ඒ තමයි මේ ගමේ පාසල. පාසලක් කිව්වට මෙය ඔබ සාමාන්‍යයෙන් ගම්වල දැක තිබෙන ගොඩනැගිලි දෙක තුනක් සහිත අඩුම තරමින් දරුවන් දෙතුන් සීයක්වත් ඉගෙනුම ලබන කුඩා ප්‍රමාණයේ ප්‍රාථමික පාසලක් නම් නොවෙයි. මේ පාසලට තිබෙන්නේ එක් කුඩා ගොඩනැගිල්ලක් පමණයි. ඉගෙනුම ලබන දරුවන් ප්‍රමාණය පහළොවක් විස්සක් තරම් ඇති. ඇතැම් විට මීට වඩා පොඩි අඩු වැඩි වීමක් තියෙන්න පුළුවන්.

මේ පාසල ගැනත් විශේෂයෙන් කියන්න ඕනේ. වසර කිහිපයකට උඩ දී විශාල සුළඟකින් මේ පාසල් ගොඩනැගිල්ලේ වහළ ගැලවී ගොස් තිබුණා. මේ පාසල තමයි මැතිවරණවලදී ගමේ ඡන්ද මධ්‍යස්ථානය වන්නේ. මේ වහළ පිළිසකර කරන්නට වගකිව යුතු නිලධාරීන් කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නෑ. ඒකට හේතුවකුත් නැතුවා නොවෙයි. වහළට ෂීට් එකක් හරි අරගෙන යනවා නම් ඒවා ඔසවගෙන සැතපුම් තුනක් විතර ගල් උඩින් මුල් උඩින් කන්දක් තරණය කරන්න ඉදිරිපත් වෙන්නේ කවුද ?නමුත් කෙසේ හෝ 2019 වසරේ දී මැද භාගයේ දී පමණ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්තුමාගේ මැදිහත් වීමෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර, මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපත් වෙලා මේ වහළය පිළිසකර කළා.

පාසල පසුකර යන විට ගැමියන්ගේ කුඩා නිවාස හමු වෙනවා. මේ හරියත් තැන්නක් කිව්වට කුඩා කුඩා කඳුගැට අතරින් තමයි මේ ගෙවල් පිහිටා තිබෙන්නේ. එනිසා එක තැනක ගෙවල් කීපයක්, තවත් එහාට යනකොට තවත් තැනක ගෙවල් කීපයක් වගේ තැන් තැන්වල කුඩා ගම්මාන විදිහට තමයි මේ ගෙවල් පිහිටා තිබෙන්නේ.

මේ ගමට විදුලිය නෑ. නළ ජලයත් නෑ. නමුත් නළ ජලය නම් අවශ්‍ය වෙන්නෙම නෑ. කඳු වලින් නිරන්තරයෙන් ගලා එන ඉතාම පිරිසිදු සීතල ජලයෙන් මෙහි කිසිදු අඩුවක් නෑ. විදුලිය නැති නිසා ගුවන්විදුලි යන්ත්‍ර, රූපවාහිනි යන්ත්‍ර කිසිවක් මේ අයට නෑ. ඒ වගේම දුරකථන සංඥා කිසිවක් නොමැති නිසා ජංගම දුරකථනත් නෑ. තොරතුරු සන්නිවේදන ක්‍රම නැති නිසා රටේ තොටේ වෙන දේවල් මේ ගැමියන් දන්නෙත් නැහැ. කවුද රට පාළනය කරන්නේ? මොනවද රටේ වෙන්නේ? මේ කිසි දෙයක් මේ ගැමියන්ට අදාළත් නෑ. ඇත්තටම ඉතාම සරල ජීවිතයක් ඔවුන් ගෙවනවා. තමන්ට කෑමට බීමට අවශ්‍ය සහල්, එළවළු පලා ඒ වගේම කුරක්කන්, මුං, මෙනේරි ආදී වශයෙන් වූ ධාන්‍ය වර්ග හැමදේම ඔවුන් වගා කර ගන්නවා. ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයක් තමයි තමයි කිතුල් ගස් මැදීම. එයින් ඔවුන් කිතුල් රා වගේම කිතුල් පැණි, කිතුල් හකුරු නිපදවා ගන්නවා. එම නිෂ්පාදන වගේම ගමේ වැඩිපුර වවා ගන්නා දේවල් ද හසලක වැනි ආසන්න නගරයකට ගෙනගොස් දී ඔවුන් තමන්ට නගරයෙන් මිලදී ගැනීමට සිදුවන මාළු, කරවල වැනි තවත් නොයෙකුත් අත්‍යවශ්‍ය දෑ රැගෙන එනවා. නමුත් බොහෝ විට ඔවුන් මාළු කරවල වැනි දේවල්වලට වඩා භාවිතයට ගන්නේ දඩ මස්. සීනි පරිප්පු වැනි දේවල් ඔවුන් මිලදී ගත්තොත් ඒ කලාතුරකින්. ඊට හේතුව සීනි නැතිවාට පිරිසිදු කිතුල් හකුරුත්, පරිප්පු නැතිවාට වෙනත් ධාන්‍ය වර්ගත් ඔවුන් නිෂ්පාදනය කර ගන්නා නිසයි.

ඔවුන් පිළිගත් ඉහළම රජයේ නිලධාරියා වගේම ප්‍රභූවරයා වන්නේත්, ඔවුන්ගේ දුකට සැපට හැමදේටම ඉන්නේත් ග්‍රාම නිලධාරීතුමා යි. කොටින්ම ඡන්ද කාලයට කාට ඡන්දය දෙන්න ඕනද? කියන වැටහීමක්වත් මේ අහිංසක ගැමියන්ට නෑ. ඔවුන් බොහෝ විට ඡන්දය දාන්නේ ග්‍රාම නිලධාරීතුමා නම් කරන කෙනෙකුටයි.

ඒ වගේම සාමාන්‍යයෙන් අපේ රටේ මැතිවරණයක් පැවැත්වෙන විට උදේ අටේ සිට සවස හතර දක්වා ඡන්ද දායකයින්ට ඡන්දය දැමීමට අවස්ථාව තිබෙනවා. නමුත් මේ ගමේ පාසලේ ඡන්ද මධ්‍යස්ථානයේ හවස හතර වෙනකල් ඡන්දය දාන්න ගියොත් ඡන්ද පෙට්ටි අරගෙන පයින් පහළට එන්න ලැබෙන්නේ නෑ. මුලින් කිව්වා වගේ වන අලින්ව මුණගැසීමට තිබෙන හැකියාව නිසයි. ඒ නිසා සාමාන්‍යයෙන් දහවල් දෙක පමණ වන විට ඡන්දය භාවිතා කිරීම අවසන් කරන්නට මේ ඡන්ද මධ්‍යස්ථානයට සිදුවෙනවා.

මේ ගම්වල ගැමියන්ට තිබෙන ලොකුම කරදරය තමයි හදිසියේ අසනීපයක් ඇති වුණොත් රෝහලකට යන්නට තිබෙන අපහසුව. එවැනි අවස්ථාවකදී රෝගියා ව ගෝනියක් මත වාඩි කර හෝ නිදි කරවා දෙපැත්තෙන් දිග ලී දෙකක් ගැටගසා එම ලී දෙක කරේ තබාගෙන දෙදෙනෙක් කන්ද තරණය කර පහළට එන්න ඕනේ. දරුවකු ලැබෙන්නට සිටින මවක් නම් ප්‍රසූතියට සෑහෙන දින ගණනකට කලින් කන්ද පහළ ගමක නෑදෑ ගෙදරක නතර වෙනවා. ගමේ කෙනෙක් දුර ගමනක් යනවා නම්, එවිටත් කලින් දවසේ ඇවිත් කන්ද පහළ ගෙදරක නතර වෙලා පසුදා උදෙන් තමයි ගමන පිටත් වෙන්නේ. මේ විදිහට ඔවුන් නතර වෙන්නේ හසලක, කොලොංගොඩ, උඩවෙල, උඩත්තාව වැනි ගමක ඉන්න ඥාතියෙකුගේ නිවසකයි.

තරමක් හෝ ඉහළට, අඩුම තරමින් සාමාන්‍ය පෙළට හෝ ඉගෙන ගන්නවා නම් මේ දරුවන්ට නගරයට එන්නට සිදු වෙනවා. මේ සමහර දරුවන් නගරයට හුරු වූ පසු නගරයේම රැකියාවල් සොයාගෙන එහිම පදිංචි වෙනවා මිස ගමේ පදිංචියට යන්නට කැමැති වන්නේ නෑ. නමුත් වැඩිහිටි පරම්පරාව කිසිසේත් ගම දමා එන්නට කැමති නෑ. අනාගතයේදී තරුණ පරපුර ගම හැර එන්නට පටන් ගතහොත් වැඩිහිටි පරපුර පමණක් මෙම ගම්වල ඉතිරි වේවි. එහෙම වුණොත් වැඩිහිටි පරම්පරාව නැති වී ගිය කාලයක මේ ගම් ඉබේම කැලෑවට යට වෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි.

මෙම විස්තර සහ ජායාරූප ලබා දුන් මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම්, ඌව පළාත් වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ ඩී. එම්. කේ. එස්. බී. දිසානායක මහතාට අපගේ ස්තුතිය හිමිවේ.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව