ලෝකයේ අනික් රටවල් සමඟ සසඳන විට අපේ රටේ බස් ගාස්තු අඩුද?වැඩිද?

රටක් සහ ජාතියක් හැටියට දවසින් දවස කතා කරන්නට අලුත් මාතෘකා ලබන්නට තරම් වාසනාවන්ත ය. තවත් සතියක් පමණ කතා කරන්නට හැකි මාතෘකාවක් සැප්තැම්බර් 2 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අපට ලැබී තිබේ. ඒ බස් ගාස්තු සංශෝධනය ය. ‘සංශෝධනය’ යන වචනය පවා අපට බොහෝ දේවල් කතා කළ හැකි අවස්ථාවක් ලබා දෙයි. කලකට පෙර කුමන හෝ භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ පහළ යන විට ‘මිල වැඩි වෙයි’ හෝ ‘මිල අඩු වෙයි’ යනුවෙන් පැවසුන ද, එය ජනතාවගේ මානසික පීඩනය කෙරෙහි බලපාන්නේ යැයි සිතන බලධාරීහු ‘මිල සංශෝධනය’ කරයි යන්න යොදාගන්නට පටන් ගත්හ. සංශෝධනයේ දී ද වැඩිපුර සිදු වන්නේ මිල ඉහළ යාම ම වුවත්, ජනතාව කලබල වන ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අඩු වන පෙනෙන්නට තිබේ.

අප නැවත බස් ගාස්තු සංශෝධනය දෙස අවධානය යොමු කළ හොත්, මෙය ජන ජීවිතය කෙරෙහි ඍජුව ම බලපෑම් එල්ල කරනා කාරණයක් වෙයි. ඒ අපට නිතරම බස්වලින් ගමන් කරන්නට සිදු වන බැවිනි. පුද්ගලික වාහනයක් නොමැති, රැකියාවන්හි නිරත ව සිටින සියලු ම දෙනා පාහේ රැකියා ස්ථානය කරා ගමන් කරන්නේ බස් රථවලිනි. යම් ප්‍රමාණයක් දුම්රියෙන් ගමන් කළ ද වැඩි ජනතා ප්‍රතිශතයක් සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නේ බස් රථවලිනි. මේ නිසා අප ලබා ගන්නා වැටුපෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බස් වෙනුවෙන් වෙන් කරන්නට සිදු වෙයි. සැප්තැම්බර් 2 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4.01 කින් ඉහළ යන බස් ගාස්තුව නිසා කලින් මාසයේ වැය කළ ප්‍රමාණයට වඩා සියයට 4.01 කින් වැඩි මුදලක් මේ මාසයේ සිට බස් ගාස්තු සඳහා වැය කරන්නට සිදුව තිබේ. උදාහරණයක් ලෙස ගතහොත් පෙර මාසයේ රුපියල් 149කට බස් සේවය භාවිත කළ මගියා මේ මාසයේ සිට ඒ සඳහා 155 ක් ගෙවිය යුතු ව තිබේ. එය රුපියල් 6ක වැඩි වීමකි. දින දින 24ක් (සෙනසුරාදා ද ඇතුළුව) රැකියාවට යන පුද්ගලයකු මේ අනුව රුපියල් 144 ක් වැඩිපුර වෙන් කළ යුතු ව තිබේ. 155 වෙනුවෙන් ඒ මුදලම බස් කොන්දොස්තර මහතාට ලබා දෙන්නට නොහැකි ව 160 ක් ලබා දුනහොත් බොහෝ විට රුපියල් 5ක් ඉතිරි ලැබෙන්නේ ද නැත. ඉතිරි රුපියල් 5 නො දුන්න ද එය ඉල්ලා කලබල කරන පිරිස ද බොහෝ විට අඩු බැවින් කොන්දොස්තර මහතුන් ද එය හිතාමතාම අමතක කරති. එවැනි මිල ගණන් සහිත බස් ගාස්තු නිසා මගියකුට වෙන් කළ යුතු ගණන තවත් වැඩි වෙයි.

ලෝකයේ මුලින් ම මගී ප්‍රවාහන බස් රථයක් සේවයට එක් ව ඇත්තේ 1895 මාර්තු 18 වැනිදා ජර්මනියේ ය. ඒ මර්සිඩීස් බෙන්ස් සමාගම විසිනි. ඈත අතීතයේ වුව ද ඒවා තනා ඇත්තේ මගී ප්‍රවාහනය උදෙසා ම ය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල භාවිත වන්නේ සැබෑ බස් රථ නොවේ. මේවා තනා ඇත්තේ ලොරි සඳහා ය. අප වැනි රටවල සිදු වන්නේ ලොරි වෙනුවෙන් තනන ලද රථවලට බස් රථයකට අදාළ ‘බොඩි ගසා’ මගී ප්‍රවාහන කටයුතුවලට යොදා ගැනීමය. තොරණ මෙන් ආලෝක දල්වා, විවිධ රැජිනියන්ගේ නම්වලින් බස් රථ තිබුණ ද ඒ සෑම රැජිනකටම යටින් තිබෙන්නේ ලොරියක් බව ද මේවායේ ගමන් කරන්නන් අමතක කළ යුතු නොවේ. නියම බස් රථ ලෙස සැලකිය හැක්කේ අධිවේගී මාර්ගවල භාවිත වන ඒවා ය. ඒවා මගී ප්‍රවාහනයට අදාළ ප්‍රමිතියෙන් යුක්ත ව තනන ලද බස් රථයන් ය. නමුත් සාමාන්‍ය මාර්ගවල ඒවා භාවිත වනවා අඩු ය.

මේ මිල සංශෝධනය තුළින් අවම ගාස්තුව වැඩි වී නැත. දැනට පවතින අවම ගාස්තුව වන්නේ රුපියල් 30 කි. මෙය සියයට 4.01 කින් වැඩිවුවහොත් නව මිල වන්නේ රුපියල් 31.23 කි. මෙය ප්‍රායෝගික ව අය කළ නොහැක්කේ රුපියලේ හෝ අඩුම තරමේ රුපියල් 2 කාසි හෝ නිතර සොයා ගැනීම දුෂ්කර බැවිනි. රුපියල් 31.23 ක් දක්වා වැඩි කළ හොත් කවුරුන් හෝ රුපියල් 40 ක් ලබා දුනහොත් ඔහුට බොහෝ විට ඉතිරි රුපියල් 8ක් වත් ලැබෙන්නේ නැත. බොහෝ විට රුපියල් 5ක් ලැබෙන්නට ඉඩ තිබේ. ඇතැම් විට එය ද නො ලැබී රුපියල් 31.23 වෙනුවෙන් රුපියල් 40 ක්ම ගෙවා බස් රථයෙන් බැස යන්නට වුව සිදු විය හැකිය. අපේ රටේ හැටි එහෙම ය. මේ නිසා අවම ගාස්තුව වැඩි නො කරන්නට බලධාරීන් තීරණය කරන්නට ඇතැයි සිතිය හැකි ය.

මේ අවම ගාස්තුව පිළිබඳ මේ ආකාරයෙන් පමණක් කතා කොට අවසන් කළ නො හැකි ය. ලෝකයේ අනෙක් රටවල අවම ගාස්තු හෝ බස් ගාස්තු පිළිබඳ අප කල්පනා කර බලන්නේ ම නැත. එසේ කල්පනා කර බැලීමෙන් පලක් නැති නිසා එසේ කල්පනා නො කරනවා වන්නටත් පුළුවන. නමුත් ඒවා පිළිබඳ කරුණු දැන ගෙන සිටියා කියා පාඩුවක් වන්නේ ද නැත.

ලෝකයේ අවම බස් ගාස්තුව පිළිබඳ සොයා යාමේ දී අපට මුලින් ම හමුවන්නේ ඊජිප්තුවේ කයිරෝ ය. (අදාළ වෙබ් අඩවිය යුරෝපීය රටක් මගින් පවත්වා ගෙන යන නිසා එම කලාපයේ ජනතාවට පහසුවක් පිණිස මෙහි මිල ගණන් සඳහන් කොට ඇත්තේ යුරෝ මුදල් ඒකකයෙන් බව සැලකිය යුතු ය.) එහි අවම ගාස්තුව ලෙස සඳහන් ව ඇත්තේ යුරෝ 0.1 කි. එනම් රුපියල් 34.55 කි. බුවනෝස් අයර්ස් හි අවම බස් ගාස්තුව ලෙස සඳහන් වන්නේ යුරෝ 0.12 කි. එනම් රුපියල් 41.47 කි. මෙක්සිකෝවේ අග නගරය වූ මෙක්සිකෝ සිටි හි අවම බස් ගාස්තුව යුරෝ 0.23 කි. එනම් රුපියල් 79.47 කි.

චීනය ගතහොත් එහි බස් ගාස්තු ක්‍රියාත්මක වන්නේ මුල් කිලෝමීටර් 10 අවම ගාස්තුවක් ලෙසිනි. ඒ අනුව චීනයේ මුල් කිලෝ මීටර් 10 සඳහා යුවාන් 2 ක් ගෙවිය යුතුය. එය රුපියල්වලින් 88.15 කි. වැඩි වන සෑම කිලෝමීටර් 5 කට අමතර යුවාන් එකක් එකතු වේ.

‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත සඳහන් කරන අන්දමට ඉන්දියාවේ තමිල්නාඩුවේ අඩුම බස් ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක වේ. එහි සාමාන්‍ය මගී ප්‍රවාහන බස් රථයක එක් කිලෝමීටරයක් සඳහා පයිස 42ක් අය කරයි. පයිසයක් යනු ඉන්දීය රුපියලකින් සියයයෙන් පංගුවකි. එනම් අප රටේ නම් සත 1 කට සමානය. ඉන්දීය රුපියල් අපේ රටේ රුපියල්වලින් 3.87 කි. එවිට පයිස 42 ක් යනු අපේ රටේ මුදලින් රුපියල් 1.62 කි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අවම ගාස්තුව පයිස 90 කි. එනම් රුපියල් 3.48 කි. මේ අඩවියේ මිල ගණන් වසර කිහිපයක් පැරණි වුව ද ඒවා මේ වන විටත් අපේ රටේ බස් ගාස්තු තරම් ඉහළ ගොස් නැති බව නම් සහතික වන්නට පුළුවන.

මේ අනුව අපට අදහසක් ලෙස ගත හැක්කේ අපට ආසන්නතම රට වන ඉන්දියාවේ අවම බස් ගාස්තුව අපට වඩා බොහෝ සෙයින් අඩු බවය. අප රටේ අවම ගාස්තුව යම් තරමකින් හෝ ආසන්න වශයෙන් ඇත්තේ ඊජිප්තුවේ අවම ගාස්තුව සමගිනි. කෙසේ වෙතත් ඉන්දියාව ඩොලර් මිලියන 75 කින් සඳට යන්නටත්, ඩොලර් මිලියන 104 ක් වැය කළ ද නෙළුම් කුළුණේ වැඩකටයුතු තවමත් අවසන් කර ගත නොහැකි වී ඇත්තේ මන්ද යන්නත් පිළිබඳ සියුම් අදහසක් අද දින සිට බස් රථයේ රැකියාවට යන අතරතුරේ කල්පනා කරමින් ගමන් කළ හැකි වනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

අරුමැසි පුවත්