ලෝකයේ අපිරිසිදුම මිනිසා ලෙස හැඳින්වුණු අපූරු පුද්ගලයෙකු ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වී තිබුණා. 94 වැනි වියෙහි පසු වූ ඔහුගේ නම ඇමූ හාජි.
ඉරාන ජාතිකයකු වූ හාජි දශක ගණනාවකින් ඇඟ සෝදා හෝ ස්නානය කර හෝ නැති බව සඳහන්. හාජි පිලිබඳ පසුගිය දා මාධ්‍ය තූළ අවධානය යොමුව තිබුණේ ඔහුගේ මරණය නිසා යි. දීර්ඝ කාලයක් ස්නානය කර නොසිටි ඔහු මිය ගොස් තිබුණේ පළමු වතාවට ස්නානය කිරීමෙන් සති කිහිපයකට පසුවයි. හාජි එලෙස ස්නානය කර තිබුණේ කැමැත්තකින් නොවන බවත්, ඔහු ජීවත් වූ ගමේ වැසියන්ගේ බල කිරීම නිසා බවත් සඳහන් වෙනවා. ඔහු ජීවත් වුණේ දකුණු ඉරානයේ පිහිටි දෙජ්ගා නැමැති ගම්මානයක යි. කෙසේ වෙතත්, මෙහි වැසියන් හාජිට ආදරයෙන් සැලකූ බවයි සඳහන් වන්නේ. ඔහුගේ මරණයෙන් ඔවුන් මහත් කම්පාවට පත් වන්නට ඇති බවට සැකයක් නැහැ. ඔහුට ජීවත් වන්නට කුඩා නිවසක් පවා තනා දී තිබුණේ මෙම ගම්වැසියන්.
පසුගිය වසර 60 ක පමණ කාලය පුරාම ඔහු වතුර හෝ සබන් හෝ පාවිච්චි කර නොමැති බව පැවසෙනවා. ඔහු මෙලෙස කටයුතු කර ඇත්තේ ඒවා පාවිච්චි කළහොත් තමා අසනීප වී මිය යනු ඇති බවට පැවැති විශ්වාසයක් නිසායි. මෙයට පෙර ද ගම්වැසියන් එක්ව ඔහු පිරිසිදු කිරීමට උත්සාහ කර තිබුණත් ඔහු ඊට ඉඩ දී තිබුණේ නැහැ. එක් අවස්ථාවක හාජි නෑවීම සඳහා ගංගාවක් වෙත රැගෙන යද්දී ඔහු වාහනයෙන් පැන පලා ගොස් තිබුණා.
හාජි ගේ ප්‍රියතම ආහාරය බව පැවසෙන්නේ ඉත්තෑ මස්. නමුත් ඔහු බොහෝ අවස්ථාවල ආහාරයට ගන්නේ නරක් වූ මස් බවත් සඳහන් වෙනවා. එමෙන්ම ඔහු පානය කරන්නේ ද පරණ තෙල් කෑන් එකක පුරවා ගන්නා අපිරිසිදු ජලය බවත් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. ගම්වැසියන් ඔහුට පානය කිරීම සඳහා පිරිසිදු වතුර ලබා දීමට උත්සාහ ගෙන තිබුණත් එයටත් ඔහු කැමැත්ත දක්වා නැහැ. එයින් හාජි කණගාටුවට පත් වූ බවයි පැවසෙන්නේ.
දශක ගණනක් සිරුර නොසේදීම නිසා ඔහුගේ සම රෝගීව සැරව ගලන තත්ත්වයට පත්ව තිබුණාලු.
හාජි දුම්පානයටත් විශාල කැමැත්තක් දැක්වූ කෙනෙක්. ඔහු දුම්පානය කරන්නේත් අමුතුම ආකාරයකටයි. හාජි එකවර දුම්වැටි කිහිපයක් ඇඟිලි අතර රඳවාගෙන දුම් උරන ආකාරය දැක්වෙන ඡායාරූප වරක් මාධ්‍ය තුළ පළ වී තිබුණා.
වැඩිම කාලයක් ඇඟපත නොසේදූ පුද්ගලයා ලෙස ඔහු වාර්තාවක් පිහිටුවා ඇත් ද යන්න තවම පැහැදිලි නැහැ. වසර 35 කින් ඇඟ නොසේදූ ඉන්දියානු ජාතිකයකු ගැන 2009 වසරේ අනාවරණය වී තිබුණා. නමුත් ඔහුට ඉන්පසු සිදු වූ දෙයක් ගැන දැනගන්නට ලැබුණේ නැහැ. සමහර විට ඔහු තවමත් ජීවතුන් අතර සිටිනවා විය හැකියි.
නිහාල් පීරිස්