වකුගඩු අක්‍රිය වන රෝගීන්ට ඉදිරියේ දී ඌරන්ගේ වකුගඩු ?

wakugadu

වකුගඩු ආබාධ යනු මේ කාලයේ ඉතා සුළභ රෝග තත්ත්වයකි. මෙම රෝගීන් බහුලව මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයක් වනුයේ ඔවුන්ට බද්ධ කිරීම සඳහා වකුගඩු සොයා ගැනීමේ අපහසුතාවයි. මෙවැනි අවයවවල පවතින හිඟය නිසා වසරකට රෝගීහු විශාල සංඛ්‍යාවක් මරණයට පත් වෙති. එමෙන්ම නීති විරෝධී අවයව ජාවාරම් ද මේ ආශ්‍රිතව ඇති වී තිබෙන බව රහසක් නොවේ.

මෙම පසුබිම තුළ ඉහත කී අවයව හිඟයට විසඳුම් සොයා ගැනීම සඳහා විශේෂඥයෝ නිරන්තරයෙන් වෙහෙස වෙමින් සිටිති. මෙහිදී ඔවුන් අවධානය යොමු කරන එක් විකල්පයක් වනුයේ සතුන්ගේ අවයව මිනිසුන්ට බද්ධ කළ හැකි ද යන්න පිලිබඳ සොයා බැලීමයි. මේ පිලිබඳව ඔවුන් මේ වනවිට විවිධ පර්යේෂණ කරමින් සිටින අතර ඌරන්ගේ අවයව මිනිසුන්ට බද්ධ කිරීමේ පර්යේෂණ කිහිපයක් පසුගිය කාලයේ සිදු කෙරිණි. මෙයට අදාළ අලුත්ම පුවතක් ද පසුගිය දිනවල මාධ්‍ය හරහා වාර්තා විය.

මෙම තොරතුර වාර්තා වූයේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටි New York University Langone Transplant Institute නැමැති වෛද්‍ය ආයතනයෙනි. මෙහි විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් පවසා තිබුණේ ඔවුන් මිනිසකුට බද්ධ කළ ඌරකුගේ වකුගඩුවක් මාසයකට වැඩි කාලයක් කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියා කරමින් ඇති බව යි. මිනිසකුට බද්ධ කළ ඌරකුගේ වකුගඩුවක් මෙතරම් කාලයක් නිරුපද්‍රිතව ක්‍රියා කළ පළමු අවස්ථාව මෙය යි. මෙම ක්‍ෂේත්‍රයේ කටයුතු කරන විද්‍යාඥයන් තුළ විශාල බලාපොරොත්තුවක් ඇති කිරීමට මෙම සිද්ධිය සමත්ව ඇති බව පෙනේ.

කෙසේ හෝ වේවා, මෙම වකුගඩුව බද්ධ කර ඇත්තේ මොළය මිය ගිය රෝගියකුට යි. ජීවමාන රෝගීන් යොදාගෙන මෙවැනි අත්හදා බැලීම් කිරීමට විද්‍යාඥයන් තවමත් සූදානම් නැත. ඉහත කී බද්ධ කිරීම කර තිබුණේ මොරිස් මෝ මිලර් නැමැති රෝගියකුට ය. 57 වැනි වියෙහි පසු වූ ඔහු හදිසි මරණයකට ගොදුරු වූවෙකි. මෙම පර්යේෂණය සම්බන්ධයෙන් මොරිස් මිලර් ගේ සහෝදරියක ද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණාය.

‘මෙම පර්යේෂණය සඳහා මගේ සොහොයුරා ලබා දෙනවාද යන තීරණය ඉතා අසීරු තීරණයක් වුණා” මේරි මිලර් ඩෆි සඳහන් කර තිබිණි. ‘මගේ සහෝදරයා මෙවැනි දේකට කැමැති වෙන්න තිබුණා කියල මට හිතුණා. මා ඔහු මෙම පර්යේෂණය සඳහා ලබා දුන්නේ ඒ නිසායි. මේ තුළින් ඔහු වෛද්‍ය විද්‍යා ඉතිහාසයට එක් වේවි. ඒ තුළින් ඔහු අමරණීය වනු ඇති’ ඇය තවදුරටත් පවසා තිබේ.

සතුන්ගේ අවයව මිනිසුන්ට බද්ධ කිරීමේ පර්යේෂණ තවමත් පවතින්නේ මුල් අදියරේ බව පැවසිය හැක. මෙවැනි අවයව මිනිසුන්ට බද්ධ කළ විට මතුවන ප්‍රධානම ගැටලුව වන්නේ ඒවා මිනිස් සිරුර විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීම යි. එවැනි ප්‍රතික්‍ෂේප කිරීමක් සිදු වන්නේ බද්ධ කරන අවයවයේ සෛලවල පවතින එක්තරා අණු විශේෂයක් නිසා ය. නමුත් ඉහත කී රෝගියාට බද්ධ කළ වකුගඩුව ලබා ගත් ඌරාගේ සිරුර තුළ එම අණු නිපදවීම නතර කිරීම සඳහා යම් ජානමය වෙනසකට බඳුන් කර තිබිණි.

මොරිස් මිලර්ට බද්ධ කළ වකුගඩුව මාසයකට වැඩි කාලයක් හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවතීම මෙවැනි බද්ධ කිරීම්වල අනාගතය පිලිබඳව විද්‍යාඥයන් තුළ මහත් බලාපොරොත්තු ඇති කිරීමට සමත්ව ඇත. මෙම පර්යේෂණවල මීළඟ තීරණාත්මක පියවර වනු ඇත්තේ ජීවමාන රෝගීන්ට මේවා බද්ධ කර බැලීම යි. එය විශාල අනතුරක් දරාගෙන කළ යුතු අත්හදා බැලීමකි. මෙවැනි පර්යේෂණ සඳහා යොදා ගන්නේ ඒ වෙනුවෙන් සිය කැමැත්තෙන් ඉදිරිපත් වන රෝගීන් ය. ජීවිතය බේරා ගැනීම සඳහා වෙනත් කිසිදු විකල්පයක් ඉතිරිව නැති රෝගීහු මෙවැනි පර්යේෂණ සඳහා ඉදිරිපත් වෙති.

එවැනි රෝගියකු යොදා ගනිමින් පළමු වරට ඌරකුගේ හදවතක් බද්ධ කිරීමේ පර්යේෂණයක් පසුගිය වසරේ මුල් භාගයේ සිදු කෙරිණි. එහි දී මෙම ඓතිහාසික සැත්කමට මුහුණ දුන්නේ ඩේවිඩ් බෙනට් නැමැති 57 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ද සැත්කම සඳහා ඉදිරිපත්ව තිබුණේ ජීවිතය බේරා ගැනීම සඳහා වෙනත් විකල්පයක් ඉතිරිව නොතිබුණු නිසා ය. නමුත් එම සැත්කමෙන් පසු ඔහුට ජීවත් වීමට හැකි වූයේ මාස දෙකක පමණ කාලයක් පමණි. 2022 ජනවාරි මාසයේ මෙම සැත්කම සිදු කරන ලද අතර මාර්තු මාසයේ ඔහු මරණයට පත් විය.

කෙසේ හෝ වේවා, සතුන්ගේ අවයව මිනිසුන්ට බද්ධ කිරීම පිලිබඳ පර්යේෂණ ඉතා වේගයෙන් ඉදිරියට යමින් ඇති අතර ලෝකයේ බොහෝ වෛද්‍ය පර්යේෂණ ආයතන ඒ පිලිබඳ දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටියි. ඒ නිසා වැඩි කල් නොගොස් සාර්ථක ප්‍රතිඵල අත් කරගනිමින් රෝගීන්ට විශාල සහනයක් සලසා දීමට මෙම විද්‍යාඥයන් සමත් වනු නිසැක ය.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්