වකුගඩු නරක් වීම යනු කුමක්ද?

බද්ධ කිරීම සඳහා වකුගඩුවක් ඉල්ලා සිටින රෝගීන් සම්බන්ධ  පුවත් මාධ්‍ය ඔස්සේ අපි සුලබව දකිමු.  තමන්ගේ වකුගඩු දෙකම ක්‍රියා විරහිත වූ  රෝගියකුට සිය ජීවිතය තව දුරටත් පවත්වා ගැනීම සඳහා වෙනත් නිරෝගී කෙනෙකුගේ වකුගඩුවක් බද්ධ කරන්නට අවශ්‍ය වෙයි.

නිරෝගී  වකුගඩු නරක් වෙන්නේ  කොහොමද?

අපට මුත්‍රා පිටකිරීමේ  අවශ්‍යතාවය ඇති වූ විට අපි  එම කර්තව්‍යය ඉටු කර ගත්තත් මුත්‍රා පහ කිරීමේ  අවශ්‍යතාවය ඇති වන්නේ කෙසේද  යන්න ගැන ඒ කිසිදු අවස්ථාවක ඔබට නිකමටවත් කල්පනා නොවන්නට ඇත.

මුත්‍රා නිපද වන්නේ  වකුගඩුවලිනි. විවිධාකාර හේතු මත මෙම වකුගඩු අසනීප වෙයි. එසේ වීම යනු ඔබේ ජීවිතයට ද තර්ජනයක් විය හැකි දෙයකි. නමුත් අවාසනාව වන්නේ වකුගඩු අසනීප වී එහි අවසානය කරා යන තුරුම රෝගියාට එය නොදැනීමයි. මේ පිළිබඳ දැනුවත් වීම ඉතාමත් වැදගත් වන්නේ මේ හේතුව මත ය.

බෝංචි ඇටයේ හැඩයට මඳක් සමාන ලොකු අඹ ගෙඩි දෙකක්  වැනි ඉන්ද්‍රියයක් වන වකුගඩු අපේ පිට ප්‍රදේශයේ දෙපැත්තේ ඉල ඇටවලට  පහළින් පිහිටා ඇත.

වකුගඩු තුළින් විශාල ලේ ප්‍රමාණයක් ගමන් කරයි. තේ පෙරනය මගින් තේ කොළ ටික ඉතිරි වන සේ තේ වතුර පෙරා හරින අයුරින් ලොකු ලොකු දේවල් තමන් ළඟ තබාගෙන ඉතිරි ඒවා වකුගඩුවලින් පෙරා හරිනු ලබයි. මෙසේ පෙරී යන වතුර කොටසේ ශරීරයට අත්‍යවශ්‍ය කුඩා කුඩා දේවල් ද අඩංගුය. වෙනම නහර පද්ධතියක් මගින් මේ අවශ්‍ය දේවල් තෝරා ගෙන  නැවත රුධිර සංසරණ පද්ධතියට එකතු කිරීම සිදුවේ.

කෙසේ වුවද  වකුගඩු මගින් මෙසේ පෙරා හරිනු ලබන මුළු වතුර ප්‍රමාණය ම මුත්‍රා ලෙස පිට කර හරින්නට ද වකුගඩුව ඉඩ තබන්නේ නැත. ශරීරයේ අවශ්‍යතාවය පරිදි මෙසේ පිටකරන වතුර නැවත වතාවක් ශරීරයට උරාගන්නා පිළිවෙළක් ද වකුගඩු මගින් සකසා තිබේ. එසේ කරන්නේ අප වතුර බීම අඩු වන විට ශරීරය වේලීම වළක්වා ගැනීම පිණිස ය. ඒ අනුව සෑහෙන වතුර ප්‍රමාණයක් වකුගඩු විසින් නැවතත් ලේ නහර තුළට එක් කරනු ලබයි. අප වතුර බීම අඩු අවස්ථාවල දී මුත්‍රා පිටවන්නේ ද සුළුවෙනි. එයද තද පැහැයකින් යුතු වෙයි. අප වතුර වැඩියෙන් පානය කරන්නේ නම්  මුත්‍රා ලා පැහැයෙන් පිට වනු ඇත.

වකුගඩු අප වෙනුවෙන් තව බොහෝ දේ ඉටු කරයි. අපේ ශරීරය ඇතුලේ කුමක් සිදුවන්නේ ද ?අප කන බොන දේවල් අඩු වැඩි වන්නේ කොහොමද ?  මේ දේවල් ගැන ද වකුගඩු සිටින්නේ ලොකු අවධානයකිනි. ලේවල පීඩනය පාලනය කරන්නට ද වකුගඩුවලට පුළුවන. එසේම ලේවල ලුණු වර්ග අඩු වැඩි වන විට එය පිට කරන ප්‍රමාණය වෙනස් කරමින් හරියටම නියමිත ප්‍රමාණයට ලේවල ලුණු පවත්වා ගන්නටද වකුගඩු ක්‍රියා කරයි.

අප ආහාරයට ගන්නා මස් මාළු කිරි බිත්තර ආදී ප්‍රෝටීන බහුල ආහාර ශරීරයේ පාවිච්චියට ගැනීමෙන් පසු යූරියා නමින් හඳුන්වන රොඩ්ඩක් ඉතිරි වෙයි.  එවැනි අපද්‍රව්‍ය ශරීරයට නැවත උරා ගැනීමක් සිදුවන්නේ නැත. ඒවා වකුගඩු විසින්  එළියටම පිට කර හරින්නේ මුත්‍රා සමඟිනි. සමහර ඖෂධ වර්ගද ශරීරයෙන් මේ ආකාරයටම පිටකර හරිනු ලබයි. වකුගඩුවල නිපදවෙන මුත්‍රා ඊළඟට වකුගඩු විසින් මුත්‍රාශය වෙත යවනු ලබයි. ඒ, වකුගඩු දෙක දෙපැත්තේ තිබෙන නාල දෙකක් දිගේය. මෙලෙස වකුගඩුවලට අප වෙනුවෙන් ඉටු කරන්නට විශාල වැඩ කොටසක් තිබේ.

මුත්‍රාශය යටි බඩේ පහළ කොටසේ  පිහිටා ඇත. එය හරියටම බැලුමක් මෙනි.  නිරන්තරයෙන් මුත්‍රාශයට මුත්‍රා එකතු වන නිසා මෙය පිම්බෙයි.  සම්පූර්ණයෙන් මෙය පිරුණු විට අපට තදබල ලෙස මුත්‍රා පහ කිරීමේ  අවශ්‍යතාවය දැනෙන්නට පටන් ගනී. ඉන්පසු පහළට පිහිටා තිබෙන තවත් බටයක් දිගේ පැමිණ මුත්‍රා සිරුරෙන් පිට වී යයි.

අපේ පැවැත්ම සඳහා වකුගඩු දෙක මොනතරම් මෙහෙයක් ඉටු කරන්නේද යන්න දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතමු.

වකුගඩු ක්‍රියා විරහිත වීම බොහෝ විට සිදුවන්නේ අපට නොදැනී සෙමෙන් සෙමෙන් ය. නමුත් මෙය එකවරම සිදු වන අවස්ථා ද තිබේ. ඒ සඳහා  දැක්විය හැකි පහසු ම උදාහරණ දෙකක් වන්නේ මී උණ රෝගය සහ සර්පයන් දෂ්ඨ කිරීමයි. මෙසේ වකුගඩු එකවර ම ක්‍රියා විරහිත වීමේදී මුත්‍රා පිටවීමද එක්වරම නතර වෙයි. මී උණ යැයි සැක කළ හැකි අවස්ථාවලදී මෙන්ම සර්පයකු දෂ්ට කළ විටත් වහාම ප්‍රධාන රෝහලක් වෙත යොමු වුණොත් මෙසේ වකුගඩු ක්‍රියා විරහිත වීම වළක්වා ගත හැකිය. මෙවැනි අවස්ථාවකදී සේලයින් වැනි  වතුරක් බට තුළට දමා සේදීමෙන් හෝ ඩයලයිසිස් කිරීම තුළින් ලේ පිරිසිදු කිරීම සිදු කෙරේ.

වකුගඩු මෙලෙස එක්වරම ක්‍රියා විරහිත වුවත්,  ටිකෙන් ටික ක්‍රියා විරහිත වුවත් මුලින් කී යූරියා නැමැති අපද්‍රව්‍යය ශරීරය තුළ එකතු වෙයි. එය ශරීරයට විෂ ය.

එසේම ශරීරය තුළ නිරන්තරයෙන්ම සුළු වශයෙන් ඇසිඩ් වර්ග නිපදවේ. මේවා සාමාන්‍යයෙන් මුත්‍රා සමඟ පිට වුවද වකුගඩු ක්‍රියා විරහිත වීම තුළින් ඒවා ද ශරීරයේ එකතු වනු ඇත. ඇසිඩ්  පිට කරන්නට නොහැකි වන විට ශරීරය විකල්ප ක්‍රමයක් ලෙස එය පිට කරන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව වශයෙනි. එනම් අප හුස්ම පිටකරන විට ඉවතට යන වායුවයි.  ශරීරය ඇතුළේ තිබෙන ඇසිඩ්  මෙලෙස පිට කරන්නට නම් රෝගියාට වේගයෙන් හුස්ම පිට කරන්නට සිදුවේ. වකුගඩු අකර්මණ්‍ය වූ රෝගියකු  හති දැමීමට එක් හේතුවක් වන්නේ මෙයයි.

මෙවැනි තවත් උග්‍ර විෂක් පවතින දෙයක් වන්නේ පොටෑසියම් ය. නමුත් එය අපේ ලේවල පැවතිය යුතුය. ඒ ලීටර 1ට මිනි මෞල 3- 5 අතර ප්‍රමාණයකිනි. වැඩිපුර ඇති පොටෑසියම් මුත්‍රා සමග දියකර හරින්නේ වකුගඩු විසිනි. නමුත් වකුගඩු ක්‍රියා විරහිත වූ විට එම කාර්යය කිරීමට නොහැකි වෙයි. යම් හෙයකින් මෙම අගය 6 ට වඩා වැඩි වුවහොත් හෘදයට මාරාන්තික වේ.  7 ඉක්මවූවොත් හෘදය නතර වෙයි. ලේ වල මෙලෙස පොටෑසියම් වැඩි වන විට එය දිගින් දිගටම පරික්ෂා කරමින් අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින්ම ලබාදිය යුතුය. මෙවැනි රෝගියකුට තැඹිලි පානය මෙන්ම  පලතුරුද විෂ සහිත ය. තැඹිලි යනු පොටෑසියම් දිය කළ  බීමක්  හා සමාන ය.

වකුගඩු විසින් ඉටු කරනු ලබන රාජකාරි මෙපමණක් නොවේ .

ශරීරයේ රුධිර පීඩනය පවත්වාගෙන යන්නේ වකුගඩු විසිනි. එසේම අපේ අස්ථි ශක්තිමත් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය විටමින් ඩී ශරීරයට පාවිච්චි කළ හැකි තත්ත්වයට  පත් කිරීමත් වකුගඩු මඟින් සිදුවේ. තවත් විශේෂම  කාර්යයක් වන්නේ අපේ ශරීරයට කොපමණ ලේ ප්‍රමාණයක් අවශ්‍යද යන්න තීරණය කිරීමයි. ශරීරයේ ලේ  නිෂ්පාදනාගාරයේ ලේ නිපදවෙන්නේ වකුගඩුව පවසන ආකාරයටය.  ඒ අනුව වකුගඩු රෝගියකුගේ  ශරීරයේ ලේ ප්‍රමාණය  අඩු වන අන්දම, අස්ථි දුර්වල වන අන්දම සහ  රුධිර පීඩනය වැඩි වන අන්දම ගැන දැන් ඔබට වැටහී ඇතැයි සිතමු.

වකුගඩු රෝගීන්ට කෑම රුචිය අඩු වන්නේ ඉහත කී පරිදි ශරීරය තුළ විෂ යූරියා එකතු වීම නිසාය. මේ රෝගීන් ගේ මුහුණ ඉදිමී අමුතුම ස්වරූපයක් ඇති වේ. මේ අන්දමින් සියලුම වකුගඩු රෝගීන්ගේ මුහුණුවල එකම ආකාරයක ස්වභාවයක් ඇති වන අතර මුහුණ බැලූ පමණින් ම වකුගඩු දුර්වල වී ඇති බව වෛද්‍යවරයකුට අනුමාන කළ හැකිය. සිරුරින් වතුර පිටවීම අවසානයේ නවතින අතර එවිට කකුල් ඉදිමෙයි. හුස්ම  මාර්ගය වතුරෙන් පිරුණොත් හුස්ම හිරවෙයි.

අවසානයේ පොටෑසියම් සහ ඇසිඩ්   වැඩි වීමෙන් රෝගියා මාරාන්තික තත්ත්වයට  පත්විය හැකිය.

අවාසනාවට, විනාශ වූ වකුගඩුවක්   යළිත් පෙර තිබූ තත්ත්වයට ආපසු ගත නොහැකිය. ශරීරය තුළ  මෙවන් වූ විනාශයක්  සිදු කරන වකුගඩු  අකර්මණ්‍ය වීම නිසා ඇතිවන සියලුම වෙනස්කම් මුලින් හඳුනාගෙන ඒ ඒ වෙනස්කම්වලදී සිරුරේ ඇතිවන විවිධ විපර්යාසවලට නියම ලෙසින්ම ප්‍රතිකාර ලබාදීම තුළින් ඔබේ ජීවිතය  පවත්වා ගැනීම සඳහා උපකාර කිරීමට වෛද්‍යවරුන්ට හැකියාවක් ඇත. කෙසේ වුවද වකුගඩු යළි යථා තත්ත්වයට පත්කර ගත නොහැකි නිසා කළ හැකි එකම දෙය නම්  සමේ ඇතිවන හැම සිදුරකට ම ප්ලාස්ටර් දමා වසන අයුරින් ගැටලු  එන එන ආකාරයට පිළියම් යෙදීමයි. ස්ථිර ප්‍රතිකාරය වන්නේ වකුගඩුවක් බද්ධ කිරීම වේ. නමුත්  එයද පහසු නැත. හේතුව, තව කෙනෙකුගේ  ශරීර කොටසක් භාර ගැනීමට අපේ ශරීරය අකමැති වීමයි. ශරීරය  කැමති කරවා ගන්නට නම් විවිධ මිල අධික විෂ බෙහෙත් වර්ග මෙම ආගන්තුක වකුගඩුව තිබෙන තුරුම අපට භාවිතා කරන්නට සිදුවෙයි.

වකුගඩු අකර්මණ්‍ය වීම හඳුනා ගත හැකි රෝග ලක්ෂණ මොනවාදැයි දැන් ඔබ කල්පනා කරනු විය හැකිය.

යූරියා වැඩිවීම නිසා ඇතිවන කෑම අරුචිය, අලස ගතිය, වැඩ කිරීමේ  අපහසුව, ලේ අඩුවීම නිසා ඇවිදීම අපහසු වීම වැනි දෑ මුල් කාලයේ දැකිය හැකි ලක්ෂණ වලින් කිහිපයකි. නමුත් සමහරුන් තුළ මේ රෝග  ලක්ෂණවත් දකින්නට ලැබෙන්නේ නැත.

නමුත් ඔබට මෙවැනි දෙයක් කළ හැකිය. එනම් අතීතයේ හෝ මුත්‍රා සමග විටින් විට ලේ යාම,  මුත්‍රාවල පෙණ ඇතිවීම, නිතර නිතර මුත්‍රා දැවිල්ල වැනි රෝග ලක්ෂණ තිබුණේ නම් ඔබ ඔබේ වකුගඩු ගැන සොයා බැලීම වැදගත් ය.

වකුගඩු රෝගී වී  තිබේ ද යන්න දැනගැනීමට මුත්‍රාවල සම්පූර්ණ (U. F. R.) පරීක්ෂණයක්, ලේවල ලවණ යූරියා  ක්‍රියැටිනින් පිළිබඳව සොයාබැලීමට රුධිර පරීක්ෂණයක් කර බැලීමට පුළුවන. එසේම  වකුගඩුවල අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් (U.S. Scan) පරීක්ෂණයක්  කිරීම තුළින්  වකුගඩුවල දිග පළල මැන ගැනීමට, මුත්‍රා මාර්ගය අවහිර වී තිබේද,  මුත්‍රාශයේ හෝ වකුගඩුවල ගල් තිබේද , වකුගඩු අභ්‍යන්තරයේ සවි ශක්තිය අනුව වකුගඩු ඉදිමී තිබේද? වකුගඩු අකර්මණ්‍ය වී  තිබේ ද යන මේවා දැන ගැනීමට හැකියාව ඇත. එවැනි  තත්ත්වයක් අනාගතයේ ඇතිවන ලක්ෂණ තිබේ නම් එය ද හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙලෙස ඕනෑම කෙනෙකු තම වකුගඩු පිළිබඳව සොයා බැලීම තුළින් එය නරක් වීමට තිබෙන මංපෙත් වළක්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

විනිවිද සායනය