අද වන විට අපගේ ජන සමාජය සමාජ,ආර්ථික සහ දේශපාලන වශයෙන් ප්‍රබල අවිනිශ්චිතතාවකට මුහුණ පා සිටිති.විවිධ හේතු කාරණා මත පැන නඟින සමාජ අස්ථායී භාවයන්(Social instability)හමුවේ මෙම සමාජමය සංසිද්ධිය පැන නැඟීම අතිශය ස්වාභාවික වූවකි.
එළඹෙන හෙට දිනයේ තමන්ට අවශ්‍ය මූලික ආහාර-පාන,ඖෂධ,ඉන්ධන ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරා ගත හැකි වේද?ඉදිරියේ සිදුවන බව පැවසෙන විදුලි කප්පාදු කිරීම් වලින් තම දිවි පෙවෙතට එල්ල වන බාධා මඟ හැර ගත හැක්කේ කෙසේද? ආදී වශයෙන් දිග හැරෙන මෙම අවිනිශ්චිතතාවයන් සමස්ත සමාජ දේහය පුරාම ඔඩු දුවන බවක් පෙනෙයි.
මෙවන් තත්වයක් යටතේ මූලිකව සිදු වනුයේ සමාජයේ පවතින නිහඬ නිසංසල සේම සාමකාමී බවට පවා බාධා පැමිණීම ය.
තමන්ට එදිනෙදා මුහුණ දීමට සිදු වන අවිනිශ්චිත තත්වයන් හමුවේ ඉතා කලබලකාරී ලෙස අවිචාරවත් තීන්දු තීරණ ගෙන ඒවා ක්‍රියාවට නැංවීම මෙහි සාමාන්‍ය ස්වරූපයයි.”ඒ මිනිහට කඩි කුලප්පුව හැදිලද කොහෙද?”අපේ ගැමියන් එලෙස නොසන්සුන් ලෙස හැසිරෙන හා ක්‍රියා කරන මිනිසුන් ගැන එසේ පවසනු අප අසා තිබේ.
යම් යම් මානසික රෝග,මානසික අර්බුද සේම පෞරුෂ ලක්ෂණ ලෙසින් විදහා දැක්වෙන මෙම තත්වය කාන්සාත්මක( Anxious ) ලෙස අප විසින් හඳුන් වනු ලැබේ.මෙහි දී කිව යුතුම තවත් වැදගත් දෙයක් ද තිබේ.එනම් අද වන විට රාජ්‍ය පාලකයන් විසින් ක්ෂණිකව ගනු ලබන හා එසැනින් වෙනස් කරනු ලබන තීරණ හමුවේ ඔවුන්ටත් ගැමියන් පවසන කඩි කුලප්පුව සෑදී තිබේද?යන්න ය.
ඒ සම්බන්ධ මගේ පෞද්ගලික මතය වනුයේ අද වන විට ඔවුන් හමුවේ එළඹ ඇති අනේක විධ ගැටළු අර්බුද හමුවේ එවැන්නකට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවකි.මෙම කාංසාත්මක යන්න හුදෙක් මානසික රෝගයක් හෝ රෝග ලක්ෂණයක් නොවේ.නමුත් ඒ හා සම්බන්ධ සායනික රෝග ඛාණ්ඩයක් ද තිබේ.එය හැඳින්වෙනුයේ කාංසාත්මක මානසික අර්බුදය ( Anxiety Disorder) යනුවෙනි.
කාංසාව යනු අප ජීවිතයේ එදිනෙදා යම් යම් ප්‍රමාණවලින් අත්දකින තත්වයකි. අප සමාජයේ තවත් පිරිසක් කාංසාත්මක අර්බුද නම් වන රෝග තත්වයෙන් පෙළෙති. ජීවිතය නිරන්තරයෙන් බිය, දුක සහ කනස්සල්ලෙන් පිරී පැවතීම මෙම මානසික අර්බුදයේ ප්‍රධානතම ලක්ෂණයකි.
යම් යම් කරුණු සම්බන්ධයෙන් අසාමාන්‍ය භීතියක් සහ දුකක් ඇතිවීම මෙම කාංසාත්මක අර්බුදවල සාමාන්‍ය තත්වයකි. යම් යම් තත්වයන් කෙරෙහි පවත්නා විශේෂිත භීතිකා (Specific phobia) සමීපතමයන්ගෙන් වෙන්ව සිටීමේ දී ඇතිවන වියෝග කාංසාව (Separation Anxiety) ආදී එක් එක් කාංසාත්මක තත්වයන් හටගත හැකි අතර සමහරුන් සම්බන්ධයෙන් මෙම කාංසාත්මක තත්වයන් කිහිපයක් ද එකවර පැනනැගිය හැක.
එහිදී තමන් ජීවත් වන සමාජය මුල්කොට පැනනඟින කාංසාත්මක තත්වය (Social Anxiety) නම් තත්වය මුල්කොට අද එම තත්වයේ ද සමාජ ව්‍යාප්තියක් පළ කරනු දැකිය හැක.
ඊට අමතරව තමන්ගේ අරමුණු ඉටු නොවීම තුළින් හට ගන්නා ඉච්ඡා භංගත්වය ආදී හේතු කොට මානසික රෝගයක් හෝ මානසික රෝග ලක්ෂණයක් වශයෙන් ද පැන නඟින විශාදය (Depression)නූතන සමාජයේ මධ්‍යම පාන්තික ජනතාව අතර බහුල ලෙසින්ම කතාබහට ලක්වන රෝගයක් ලෙස සැලකිය හැක.
යම් යම් පුද්ගල ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ දෙනෙක් “ඔය ප්රශ්නය හින්දා එයා දැන් සෑහෙන්න ඩිප්‍රෙස් වෙලා ඉන්නේ” ආදී වශයෙන් පවසනු ඔබ ද අසා තිබෙන්නට පුළුවන. ඒ අනුව අපට වැටහී යනුයේ විශාදය යනු එක් රෝග තත්වයක් නොව පරාසයක් බව ය.ඒය සාමාන්‍ය ව්‍යහාරයේ එනුයේ “ලෝකේ එපා වීම”යනුවෙනි.
විශාදය රෝගයක් ලෙස හඳුන්වා ඇත්තේ ප්‍රධාන විශාද ආබාධය (Major Depressive Disorder)යි.මෙය මෘදු (Mild), මධ්‍යම (Moderate) උග්‍ර (Severe) ආදී වශයෙන් මට්ටම් තුනක් පවතින බව ද සඳහන් වෙයි.
යම් පුද්ගලයෙකුට තම ජීවිතයේ සතුට අහිමි වූ බවක් හැඟී ගොස් එනිසාම ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් කෙරෙහි පවත්නා උනන්දුව හීනවීම, ආහාර රුචි සහ නින්ද අඩුවීම, සමීපතමයන් කෙරෙහි ඇතිවන අහේතුක කලකිරීම සහ නොරිස්සුම, ඔවුන් පිළිබඳ විශ්වාසය අහේතුව පළුදු වීම මත පවුල්, ප්‍රජා සහ සමාජ සබඳතා බිඳ වැටීම ආදී ලක්ෂණ සති දෙකක් ඉක්මවන කාලයක් අඛණ්ඩව පැවැතීම මෙම විශාද රෝගයේ මූලික ලක්ෂණ වශයෙන් සැලකේ.
එදිනෙදා සාමාන්‍ය ජීවිත ගත කරන්නවුන් ගෙන් ජීවිත කාලයේ කිනම් හෝ අවස්ථාවක මෙම තත්වයට පත්වීමේ හැකියාවක් පවතින බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පවසන පරිදි ලෝක ජනගහණයෙන් මිලියන තුන්සියයක ජනතාවක් විශාදයෙන් පළෙති. මෙය 2005 සිට 2015 දක්වා වසර දහය තුළ පෙන්නුම් කළ ප්‍රමාණයට වඩා 18%ක වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
සෑම වැඩිහිටියන් පහළොස් දෙනෙකුගෙන් එක් අයකුම (6.7%) වසරක් තුළ මෙම විශාද තත්වයට පත්වන බවත් එමෙන්ම සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයකුම (16.6%) ජීවිතයේ කිනම් අවස්ථාවක හෝ මෙම විශාද තත්වයට පත්විය හැකි බව ද පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ.
මෙහිදී උග්‍ර විශාදය නම් තත්වයේදී යමකුට ජීවිතාශාව පවා නොමැති විය හැකි බව පෙන්වා දෙන අතර විද්‍යාත්මක වාර්තා මඟින් මෙවන් අවස්ථාවල දී තමන්ගේ සංස්කෘතික හා සබැඳි ගුප්ත විශ්වාස මනැසේ පහසුවෙන් පැළපදියම් විය හැකි බව ද පෙන්වා දෙයි.
ඒ අනුව වර්තමානයේ සමාජ ආර්ථික ආදී පසුතලයන් මත ඇති වන මෙවන් ජනතා මානසික සෞඛ්‍යමය පිරිහීම් මඟින් අපරාධ,දිවි නසා ගැනීම් ආදී සමාජමය අපගමනයන් සිදු වීමේ පැහැදිලි අවකාශයක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වෙනම විද්‍යාත්මක විමසුම් සිදුවිය යුතුමය.
විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ