වතු කම්කරු නිවසක වහළයෙන් කාමරයකට කඩා වැටුණු “පින් කාර” දිවියාගේ කතාවට පසුවදනක්!

සුනඛයකු දඩයම් කර ගැනීමට තලවකැලේ, ලිඳුල, ලෝගී වත්තේ කූමුඩ් කොටසේ වතු කම්කරු නිවසක වහළට මතට පැනීමත් සමඟ ඉලක්කය වැරදී ගොස් එම නිවසේ කාමරයක් තුළට වැටුණු දිවියෙකු නිර්වින්දනය කර ආරක්ෂිත ලෙස වනයට මුදා හැරීමට රන්දෙණිගල වන ජීවී දෙපාර්තමේන්තු පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා ඇතුළු එහි වන ජීවී නිලධාරීන්, නුවරඑළිය, හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහ ලිඳුල පොලීසියේ නිලධාරීන් එක්ව කටයුතු කොට තිබේ.

ඒ සැමට අප ගේ නොමඳ තුති පැසසුම් හිමි වෙයි.නමුත් ජන වහරට අනුව කිව හොත් ඒ සතාගේ “පෙර පිනකට” සිදු වූ මෙම සිදුවීමට පරිබාහිරව අප රටේ ජීවත් වන දිවියන්ගේ කල දසාව අතිශයින් අනතුරු දායක ය.විශේෂයෙන් අප රටේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව ජීවත් වන දිවියන් ඝාතනය වීම් අතිශයින් සුලබ ය.මධ්‍යම කඳුකරය ආශ්‍රිත හැටන්, නොර්වුඩ්,මස්කෙලිය ආගරපතන ප්‍රදේශ වල තේ වතු ආශ්‍රිතව සැරිසරන දිවියන් සැලකිය යුතු ප්‍රමාණය දඩයක්කරුවන්ගේ උගුල්වලට හසු වීමෙන් සහ වස මිශ්‍ර කළ මස් වර්ග ආහාරයට ගැනීම හේතුවෙන් මරණයට පත් වී තිබේ.

වරක් මේ සම්බන්ධයෙන් “අහිංසා ශ්‍රී ලංකා” සත්ව හිමිකම් හා සුබ සාධන සංවිධානය කළ විමර්ශනයක දී මෙම උගුල් ඇටවීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකි විය.ත්‍රිරෝද රථ සඳහා භාවිතා කරන තිරිංග කේබල් යොදා ගනිමින් දිවියන් ගම් වදින ස්ථාන වල උගුල් ඇටවීම සිදු කරන බවත් ඒවාට හසුවන දිවියන් ඝාතනය කොට ඇතැම් විට සම පවා ඉවත් කොට රහසිගතව වළලා දමන බවත් එහි දී අනාවරණය විය.එම වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා කැප විය යුතු වන ජීවී නිලධාරීන් සංඛ්‍යාවෙන් අඩක් වත් රාජකාරී කටයුතු සඳහා පත් කර නොතිබීම ඊට එක් හේතුවකි.

ශ්‍රී ලංකාව පුරා වනාන්තරවල දිවියන් 800 ක් පමණ වෙසෙන බව විශ්වාස කෙරෙන අතර ඉන් වැඩිපුර ප්‍රමාණයක් මධ්‍යම කඳුකරය ආශ්‍රිතව ජීවත් වන බව පැවසෙයි.කැළෑ ගිනි තැබීම, නියඟය සහ සංවර්ධන කටයුතු සඳහා කැළෑ එළිපෙහෙළි කිරීම හේතුවෙන් සිය වාස භූමි අහිමි වීම සහ ආහාර හිඟ වීමත් සමග දිවියන් ගම් වදින දිවියන්ගේ වාසස්ථාන සහ ස්වාභාවික දඩයම් බිම් අහිමි වීම හේතුවෙන් මානව ජනාවාස වෙත සංක්‍රමණය වන ඔවුන් එළුවන්, සුනඛයන්, ගවයන් වැනි ගෘහ ආශ්‍රිත සතුන් දඩයම් කිරීමට දිවියන් යොමු වන බව ද පැවසෙයි.කඳුකර ස්වාභාවික වනාන්තර විනාශ කරමින් තේ වගාව ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තත්වය උග්‍ර වී ඇති බව අනාවරණය වෙයි.

විශේෂයෙන් වතු ජනාවාස ආශ්‍රිත කුකුළු කොටු වලින් නික්මෙන දුර්ගන්ධය දිවියාට අතිශය ප්‍රිය මනාප බවත් කඳුකරයේ සත්ව ගොවිපල ආශ්‍රිත ප්‍රදේශ වල දිවියන් බහුලවම ගැවසෙන බවත් වාර්තා වී තිබේ.එමෙන්ම වතු ජනාවාස ආශ්‍රිත කුකුළන් සහ සුනඛයන් නිරතුරුව මෙම දිවියන්ට ගොදුරු වීමත් මේ ත්ත්වය යටතේ ඒවායේ මිනිස් ජීවිත පවා අනාරක්ෂිත තත්වයට පත් වීමත් නිසා එම වතු වල පාලක පක්ෂය ද මෙම වන දිවියන් ඝාතනය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට එම සංවිධානයට තොරතුරු ලැබී තිබිණ. මීට සියවසකට පමණ ඉහත මෙම අප රටේ බොහෝ ප්‍රදේශ වලින් මෙම දිවියන් වාර්තා වූ අතර එවක සමාජයේ වසූරිය රෝගය වැළඳීමෙන් ශරීරය දුර්ගන්ධවත් වූ රෝගීන් සොයා දිවියන් නිවෙස් ආසන්නයට පැමිණි අතර එය එම රෝගීන්ගේ ගේ මරණය හඟවන නියත සංඥාවක් ලෙසත් අතීත ගැමියෝ සැළකූහ.

සාමාන්‍ය ජන වහරට අනුව “කොටියා”යන නමින් හඳුන්වන දිවියා සම්බන්ධ ජන කතා සහ ජන පිරුළු රාශියක් පට බැඳී තිබීමෙන් දිවියා අතීත ජන සමාජයට අමුත්තකු නොවන බව පෙනී යයි.බොහෝ ජන කතාවල දිවියා “කොටි රාළහාමි” ලෙස හඳුන්වා තිබීමෙන් ඔවුනට මානුෂීය බවක් ආරෝපණය කිරීමට අතීත ගැමියා කටයුතු කොට තිබේ. Panthera pardus kotiyaaයන නමින් ලේඛන ගත කොට ඇති මෙම සත්වයා IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වී යාමේ තර්ජනයට මුහුණපා ඇති සතකු ලෙස සටහන් කොට තිබේ.

සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ආරක්ෂිත සත්වයකු ලෙස නම් කොට ඇති ශ්‍රී ලංකාවේ වෙසෙන දිවි විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා පූර්ණ මැදිහත්වීමක් සිදු කොට මෙම සතුන් ඝාතනය කිරීම් වලට වගකිවයුතු පුද්ගලයන්ට නීතියෙන් උපරිම දඬුවම් ලබා දිය යුතු බව සත්ව සහ පරිසර ලෝලීහු කියති.එමෙන්ම එම මරණ වලට වගකිවයුතු පුද්ගලයන් පිළබඳ අධිකරණය වෙත පිළිගත හැකි ආකාරයේ තොරතුරක් ලබා දෙන්නවුන් හට මුදල් ත්‍යාග පිරිනැමීමට තීරණය කළ හොත් එම අභිරහස් ඝාතන මාලාවක සුලමුල එළියට ගත හැකි වනු ඇතැයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර