වනයේ සැඟවී ගිය ආසියාවේ කුඩාම ගම්මානය

wanaye

නකල්ස්, එහෙමත් නැත්නම් දුම්බර මිටියාවත ගැන ඔබ ඇතැම්විට බොහෝ දේ දන්නවා ඇති. මිට මොළවන ලද අතක නකල් ලෙස පිහිටා ඇති නිසා සුද්දන් මෙයට නකල්ස් ලෙස නම් තැබුවත් අපේ සාම්ප්‍රදායික ගැමියන් මෙය හැඳින්වූයේ “මීදුමෙන් පිරුණු” යන අරුත ඇතිව දුම්බර කඳුවැටිය ලෙසින්. මෙහි උස් කඳු මුදුන් නිරතුරුවම මීදුමෙන් වැසී පවතිනවා.
මෙම කඳු පන්තියට අයත් කඳු රාශියක් තිබෙනවා. උසම කන්ද ගොම්බානිය ( උස මීටර් 1906), ඊළඟට කිරිගල්පොත්ත ( උස මීටර් 1864), අලියා වැටුණු ඇල (උස මීටර් 1647), දුම්බානාගල (උස මීටර් 1644), යකුන්ගෙ ගල (උස මීටර් 1586), දෝතලුගල ( උස මීටර් 1575), වමාරපුගල ( උස මීටර් 1559 ), කොබෝනීලගල ( උස මීටර් 1555), කළුපහන (තුන්තිස්ගල උස මීටර් 1628 ), රිලගල (උස මීටර් 1605), තෙළඹුගල (උස මීටර් 1331), නවනගල (උස මීටර් 1488), ලකේගල (උස මීටර් 1310) මරතුවෙගල (උස මීටර් 1190), බාලගිරිය (උස මීටර් 1148), වෙලන්ගල (උස මීටර් 1180) ලහුමනගල ( උස මීටර් 1145), කිනිහිරි ගල (උස මීටර් 1068) , ලුනුමැදල්ල (උස මීටර් 1068) මේ සඳහන් කළේ දුම්බර මිටියාවතේ තිබෙන කඳු පිළිබඳ විස්තර ටිකක් විතරයි.

නකල්ස් වනාන්තරයෙහි රාවණා රජුට සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක්ම තිබෙනවා. රාවණා රජු සීතා දේවිය සඟවා තැබූ බව කියන සීතා ලෙන වගේම යහන් ගල සහ ගවරවිල මෙවැනි ස්ථාන කීපයක්. ඒ වගේම ලකේ ගල කියන්නේ අතීතයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පැමිණෙන රුවල් නැව්වලට මෙරට පිහිටීමේ දිශාව පෙන්වූ බව කියන ස්ථානයක්. එකල මෙය හඳුන්වා තිබෙන්නේ ඉලක්ක ගල ලෙසින්. ඉලක්ක ගල තමයි පසුව ලකේ ගල බවට පත්වී තිබෙන්නේ.

නකල්ස් වනාන්තරය ගැන මෙලෙස සුළු විස්තරයක් ඉදිරිපත් කළත් අප මේ ඔබව කැඳවාගෙන යන්නේ නකල්ස් වනාන්තරයට නොව එම වනාන්තරය තුළ සැඟවී ගත් ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ ම කුඩාම ගම්මානය ගම්මානය බවට ඇතමුන් සඳහන් කරන කුඩා ගමක් වෙතයි. මේ වන විට මිනිස් වාසයෙන් තොර මේ කුඩා ගම්මානය හඳුන්වන්නේ වල්පොලමුල්ල ලෙසින්.

මාතලේ සිට රත්තොට පාරේ රිවර්ස්ටන් සහ පිටවල පතන පසුකර ඉලුක්කුඹුර පාරේ යනවිට මේ ගමට ඇතුල් වීමට පෙර මුලින්ම පිවිසිය යුතු ඇටන්වල ගම්මානය හමු වෙනවා. එතැන් සිට කිසිදු ප්‍රවාහන පහසුකමක් නැතිව පයින්ම, ඉතාම දුෂ්කර මාර්ගයක කිලෝමීටර් හතරක පමණ දුරක් ගිය කල වල්පොලමුල්ල හමු වෙනවා. මෙය නකල්ස් වනාන්තරය මැද කඳු අතර පිහිටි සානුවක නිර්මාණය වූ ගම්මානයක්. කඳු සහ දිය ඇලි වටකරගෙන සුන්දර ප්‍රදේශයක පිහිටියා වුවත් මෙය අතිශයින් දුෂ්කර වීම නිසාත්, වන අලි ප්‍රශ්නය සහ ජල ප්‍රශ්නය නිසාත් මේ වන විට ගම්මුන් ගම හැර ගොස් තිබෙනවා. මේ ගම්මානයේ සිට ළඟම තිබෙන වෙළඳසැලට යාමටත් කිලෝමීටර් අටක පමණ දුරක් දෙපයින් ඇවිද යා යුතුයි. ඉතින් මෙහි දුෂ්කරකම ගැන කියන්නට තවත් දේවල් කුමකටද?

නමුත් වල්පොලමුල්ල අතීතයේ ඉතාමත් සරුසාරව පැවති ගම්මානයක්. මේ වන විට අතහැර දමන ලද පුරන් වූ කුඹුරු යායක් ද මෙහි දක්නට ලැබෙනවා. කුඹුරු වගාව හැරුණු විට හේන් ගොවිතැනෙන් සහ කිතුල් මැද රා, හකුරු සහ කිතුල් පැණි නිෂ්පාදනය කිරීමෙන් තමයි ගම්මුන් තම ප්‍රධාන ජීවිකාව සලසා ගෙන තිබෙන්නේ.

වල්පොලමුල්ල ගම්මානයෙහි එක් පසෙකින් පෙනෙන තෙක් මානය පුරා පැතිරී තිබෙන දුම්බර කඳු වළල්ල ඉතාමත් සුන්දරව දිස් වෙනවා. එසේම ඒ කඳු අතරින් වනාන්තරය මැද ඇද හැලෙන රිදී පැහැති දිය ඇලි ඈතින් දිස්වන්නේ හරිම දර්ශනීය ආකාරයට. ගල් ගුහා කිහිපයක් ද මේ ආසන්නයේ දැකගත හැකියි. මානිගල කන්ද තිබෙන්නේත් මීට නුදුරිනුයි.

මොන තරම් සුන්දර පරිසරයක් වුවත්, පරිසර ලෝලීන්ට දින ගණනාවක් වුවත් නතර වී හිඳ සිත් සේ එහි අසිරිය විඳ ගැනීමට සිතෙන තරම් ආකර්ෂණීය වුවත් වල්පොලමුල්ල ගමේ ජීවත් වූ ගැමියන්ට නම් මේ ආකර්ෂණීය බව නොව ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට පලක් වුණේ නෑ. ඔවුන් ප්‍රායෝගිකව අත්විඳින ලද දුෂ්කරතා නිසා ඔවුන්ට ගම එපා වුණා. අන්තිමට එක ගැමියෙක් ඉතිරි වෙද්දී අනෙක් සියල්ලෝම කලින් කලට වල්පොලමුල්ල අතහැර ඇටන්වල වැනි ආසන්න ගම්වලට ගොස් පදිංචි වෙන්න පටන් ගත්තා. ගමේ ඉතිරි වුණේ වෙද මහත්තයා නමින් හඳුන්වන ගැමියා පමණයි. ඔහු සමග ඔහුගේ හාමිනේද රැඳී සිටියත් දරුවන් නම් ගමෙන් පිටව ගොස් තිබුණා.

කොහොම වුවත් කිසිම මිනිස් පුළුටක් අහලක පහලක නැති, වන අලි සහ වන සතුන් ගේ පීඩාවන් ද වරින්ද වරින්වර එල්ල වන වනය මැද පිහිටි හුදෙකලා ගම්මානයක තම දෙමාපියන් තනිව හිඳිනු දකින්නට වෙදමහත්තයාගේ දරුවන් ද රිසි වුණේ නෑ. මේ නිසා ඔවුන් තම දෙමාපියන්ව ද ඇටන්වලට ගෙන්වාගත්තා. නමුත් වෙද මහත්තයාගේ පුතු වල්පොලමුල්ල ගම්මානය තුළ ඒ වනවිට පැවති එකම නිවස වූ තම පාරම්පරික නිවස වනයෙහි වල් වදින්නට ඉඩ තැබුවේ නෑ. එම නිවස වගේම ඒ ගමෙහි දැනට නටබුන්ව පැවැති තව නිවෙස් ආදිය ඔහු ආරක්ෂා කරන්නේ වනය තුළ ගිලුණු මේ අතිශය සුන්දර කුඩා ගම්මානය නරඹන්නට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සහ පරිසර ලෝලීන්ට දැක ගැනීම සඳහායි. මේ නිසාම ඔහු තම පාරම්පරික නිවස ආසන්නයේ තවත් ගෙයක් තනා තිබෙන්නේ සංචාරකයින්ට නවාතැන් දෙන්නටයි. එසේම වල්පොලමුල්ල ගම්මානයෙහි පරිසර කඳවුරු පවත්වන්නට බලාපොරොත්තු වෙන සංචාරකයින්ට ඒ සඳහා අවශ්‍ය කූඩාරම් ආදී පහසුකම්ද මේ නිවස තුළින් සපයා ගැනීමට ඉඩ සලස්වා තිබෙනවා.

දිගින් දිගටම මෙහි රැඳී ජීවත් වීම අපහසු වුවත්, ඔබ මෙම පරිසරයෙහි අසිරිය සිත්සේ විඳ ගන්නට කැමති, පරිසරලෝලියකු නම් මේ ගම්මානයෙහි රැයක් දෙකක් ගත කරන්නට පහසුවෙන්ම ඔබට හැකියාව තිබෙනවා. කණ්ඩායමක් සමග එක්වී හැකිනම් ඔබත් මේ පරිසරයට ගොස් දවසක් දෙකක් ගත කරන්න. ශ්‍රී ලංකාව මොනතරම් සුන්දර රටක්ද යන්න එවිට ඔබට නැවත නැවත පසක් වේවි. දියුණු රට වල බොහෝවිට කෘත්‍රිම ව තනන ලද සුන්දරත්වය, සොබාදහම අපට නොමඳව තිළිණ කර තිබෙන බව තහවුරු කරගන්න මෙහිදී ඔබට හැකිවනු නොඅනුමානයි.

විස්තර සහ ඡායාරූප සපයා දුන් ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයට අපගේ ස්තුතිය

ඉන්දු පෙරේරා

හරිත දනව්ව