වඳුරු උණ ලංකාවටත් එයි ද? දැනටමත් ආසියාවේ රටවල් කිහිපයක

කොවිඩ් වසංගතය නැවතත් හිස ඔසවන්නට පටන්ගෙන ඇති අතරේ වඳුරු උණ (Monkeypox) වයිරසයත් ලංකාවට ඇතුල් වෙයි ද? මෙය මේ දිනවල බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් මතු කර ඇති කාරණයකි. ලෝකයේ රටවල් 75 කින් පමණ මේ වනවිට මෙම වයිරසය ආසාදනය වූවන් වාර්තා වී ඇති අතර අප අසල්වැසි ඉන්දියාව තුළ ද එය පැතිරෙන්නට පටන්ගෙන ඇති ආකාරයක් දැකිය හැකි වේ. මේ නිසා අපට ද මේ ගැන විශාල අවධානයකින් සිටීමට සිදුවනු නිසැක ය. සමහර විට දැනටමත් මෙම වයිරසය ලංකාවට ඇතුල්ව තිබෙනවා වන්නටද පුලුවන. යම් හෙයකින් එය පැතිරෙන්නට පටන්ගතහොත් එය ජනතාවට මෙන්ම සෞඛ්‍ය අංශවලට ද අමතර බරක් එක් කරන්නක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත් ආදිය ආනයනය කිරීමට සිදුවනු ඇති අතර එයින් දැනටමත් දැඩි පීඩනයකට ලක්ව සිටින ආර්ථිකය ද තවදුරටත් පීඩනයට ලක් වනු ඇත.

ඉන්දියාවෙන් මේ වනවිට ආසාදිතයන් සිව් දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අතර රෝගියකු යයි සැක කරන තවත් පුද්ගලයකුද හඳුනාගෙන ඇති බව ඊයේ (27) එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. රෝගීන් වාර්තා වී තිබුණේ දිල්ලි සහ දකුණු ඉන්දියාවේ කේරළ යන ප්‍රාන්තවලිනි. දිල්ලියෙන් වාර්තා වූ රෝගියා ඊට පෙර කිසිදු විදෙස් රටක සංචාරය නොකළ කෙනෙකු බව ද සඳහන් වේ. එයින් පෙනෙන්නේ රට තුළම පවා වයිරසය ව්‍යාප්ත වෙමින් ඇති බව ද යන සැකය සෞඛ්‍ය අංශ තුළ මතුව තිබිණි. කේරළයෙන් හමු වූ ආසාදිතයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණියවුන් බව ද සඳහන් ය. මෙම තත්ත්වය තුළ එරට ඇතැම් ගුවන් තොටුපලවල ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්‍ෂාවන් දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ඉන්දියාවට අමතරව තවත් ආසියානු රටවල් කිහිපයකින්ම වඳුරු උණ රෝගීන් හමු වී තිබේ. මේ ආකාරයෙන් රෝගීන් හමුවී ඇත්තේ සිංගප්පූරුව, තායිලන්තය, ජපානය යන රටවලිනි. වසංගතවේදීන් පවසන්නේ වැඩි කල් නොගොස් ආසියානු කලාපය සිසාරා මෙම වයිරසය පැතිරීමේ අවදානමක් ඇති බවයි. ‘මන්කිපොක්ස් වසංගතයේ පැතිරීම වැලැක්වීමට සංචරණ සීමාවලින් හෝ දේශසීමා ආරක්‍ෂා කිරීමෙන් හෝ හැකියාවක් ලැබී නැහැ. එයින් යම් ප්‍රමාදයක් පමණක් සිදුවිය හැකියි. කොවිඩ් වසංගතයේ දීත් මෙය දකින්න ලැබුණා. මන්කිපොක්ස් වයිරසයත් ඉදිරියේ දී ලෝකය පුරා පැතිරේවි’ එසේ පවසා ඇත්තේ සිංගප්පූරුවේ වෛද්‍ය විද්‍යා ආයතනයක විශේෂඥයකු වන ක්හූ යූං කියාන් ය. ඇමරිකාවේ සහ යුරෝපයේ රෝගීන් වාර්තා වීම වේගයෙන් ඉහළ යමින් ඇති බවත්, ඉදිරි සතිවල ආසියානු කලාපය තුළින්ද වැඩිපුර රෝගීන් වාර්තා වීමට පටන් ගනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි. නමුත් කල්වේලා ඇතිව ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ප්‍රමාණවත් ක්‍රමවේදයන් ආසියානු රටවල තිබෙනවාද යන්න සැක සහිත බව ද විශේෂඥයෝ පවසති.

කොවිඩ් වසංගතය නිසා මෙම රටවල ආර්ථිකයන් මේ වනවිට දැඩි බලපෑම්වලට ලක්ව ඇති බව රහසක් නොවේ. මෙම තත්ත්වය තුළ යම් හෙයකින් වඳුරු උණ ද පැතිරෙන්නට පටන්ගතහොත් නැවත වරක් සංචරණ සීමා ආදිය පැනවීමට හැකියාවක් තිබෙනවා ද යන්න ද සැක සහිතය.

වඳුරු උණ රෝගය ඇති කරන්නේ වසූරිය රෝගය ඇති කළ වයිරසය අයත්වන වයිරස කාණ්ඩයටම අයත් වයිරසයකි. මෙහි ප්‍රධාන රෝග ලක්‍ෂණ ලෙස මුලින් මතුවන්නේ උණ, හිසරදය, ඇඟපත වේදනාව වැනි ඒවාය. නමුත් ටික දිනකින් සිරුර පුරා බිබිලි හෝ දද ඇති වීමට පටන්ගන්නා බව ද සඳහන් ය. වැඩිපුර මෙවැනි බිබිලි ඇති වන්නේ මුහුණේ බව ද පැවසේ.

මේ වනවිට වසංගතයේ කේන්‍ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ යුරෝපය යි. සාමාන්‍යයෙන් මෙම රෝගය පැතිරෙන්නේ ස්පර්ශය තුළින් සහ ආසාදිතයන්ගේ ඇඳුම්, තුවා, ඇඳ ඇතිරිලි ආදිය තුළිනි. නමුත් මේ වෙද්දී යුරෝපයේ මෙය වැඩි වශයෙන් පැතිරෙන්නේ සමලිංගික චර්යාවන් පෙන්වන පිරිමින් අතර බව වාර්තා වී තිබේ. මේ නිසා මෙය ලිංගික වශයෙන් ද සම්ප්‍රේෂණය වන රෝගයක් ද යන සැකය ඇතැම් විශේෂඥයන් තුළ මතුව තිබෙනු දැකිය හැකි වේ.

ගෝලීය වශයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 ඉක්මවා ඇත. ආසාදිතයන් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙනි. එරටින් ආසාදිතයන් 3,800 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව අතින් දෙවැනි තැන සිටින ස්පාඤ්ඤයෙන් 3,100 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ජර්මනිය සහ එක්සත් රාජධානිය ද ආසාදිතයන් වැඩි වශයෙන් හමුවී ඇති රටවල් ය.

මෙම රෝගය වඳුරු උණ ලෙස හඳුන්වන්නේ මන්කිපොක්ස් වයිරසය මුලින්ම හඳුනාගන්නා ලද්දේ විද්‍යාගාරයක රඳවා සිටි වඳුරන්ගෙන් වීම නිසාය. 1958 වසරේ මෙය හඳුනාගනු ලැබුවේ ඩෙන්මාර්ක විශේෂඥයන් පිරිසක් විසිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට මෙම වසංගතය ගෝලීය සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් (Global Health Emergency) ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

නිහාල් පීරිස්

ඉරා අදුරුපට