“වල් බලු”හිමිකම් රැක නොදුන්නොත් අපිත් “බලු”වේවි – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

walbalu

මිනිසා සහ සුනඛයා අතරේ පවතින අවියෝජනීය සබැදියාව මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයටත් වඩා අතීතයට දිව යන්නකි. මිනිසාට තම ප්‍රජාව තුළින් හමුවන හිතමිත්‍රාදීන්ට අමතරව සත්ව ප්‍රජාව අතුරින් එවන් හිත මිතුරු බවක් ගොඩනඟා ගත හැකි ප්‍රමුඛතම සත්වයා වනුයේ ද සුනඛයාම ය. මිනිසාත් සුනඛයාත් අතර පවත්නා මෙම සමීප සහ සම්බන්ධතාව මීට වසර පහලොස් දහසක් පමණ අතීතයට දිව යන බව මානව විද්‍යාඥයන් ගේත් පුරා විද්‍යාඥයන්ගේත් පොදු නිගමනයයි.

නමුදු මිනිස් ප්‍රජාව තුළින් මතුවන පහත්, නින්දිත, ජඩ ආදී වශයෙන් හැඳින්වෙන අනේක විධ අවගුණයන් සංකේතනය කරනු පිණිස මිනිසා විසින් තෝරා ගනු ලබන ප්‍රමුඛතම සත්වයා ද සුනඛයා මය. සිංහල ව්‍යවහාරයට අනුව “බලු” යන වදනින්ම යමකු ගේ අශිෂ්ඨ අශීලාචාර නිර්ලජ්ජී ආදී අවගුණයන් ප්‍රකාශ වන බව බව නොරහසකි. මෙය ලොව සෑම ජන සමාජයක් තුළම පවත්නා පොදු මානව චින්තාවක් මත පදනම් වන්නක් බව සනාථ වීමෙන් මෙය ඒක දේශීය හෝ ඒක සංස්කෘතික භාවිතයක් නොවන බව මනාව පෙනී යයි.සරල නිදසුනක් ලෙස අප සමාජයේ යමක අතිශය අසාර්ථකත්වයට පත්වීම හඟවන “බල්ලට යාම” යන්නට සමාන පිරුළක්( Go to the dogs )ඉංග්‍රීසියේ ද දක්නට ලැබේ.

මෙවන් තත්වයක් යටතේ වුවද මිනිසා සහ සුනඛයා පිළිබඳ මානව විද්‍යාත්මක යටගියාව විමැසීමේ දී මනාව පැහැදිලි වන කරුණක් තිබේ. එනම් මෙම මිනිස් සුනඛ සහ සබඳතාවයේ පුරෝගාමීත්වය ඒකාන්ත වශයෙන් සුනඛයාට හිමි වන බවකි.ඒ මුලින්ම සුනඛයා ආදී මානව ජනාවාස තම වාස භූමිය ලෙස තෝරා ගැනීමෙනි. එලෙස ආදී මානවයා සංචාරක ගෝත්‍ර වශයෙන් දඩයමින් ජීවත් වූ යුගයේ එම කණ්ඩායම් හා එක්ව ජීවත් වූ සුනඛයා ඔවුන් ගේ ආරක්ෂකයකු හිතවතකු සහ සුරතලකු ලෙස කටයුතු කොට ඇති බව මානව විද්‍යාත්මකව සේම පුරා විද්‍යාත්මකව ද සනාථ වී තිබේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ උඩවලවේ අභයභූමියට අයත් බෙල්ලන්බැඳිපැලැස්ස ආදී මානව ජනාවාසයෙන් මතු වූ අස්ථි කොටස් අතරේ තිබී සුනඛ දතක් හමුවීම ද එක් නිදසුනකි. එය වසර දොලොස් දහස් පන්සියයක් පමණ පැරණි බව විද්‍යාත්මකව තහවුරු වී ඇත.

මෙවන් අතිශය දීර්ඝ කාලයක සිට හෘදයාංගම සහසම්බන්ධතාවයක් පවත්වන සුනඛයා මිනිසා විසින් සම්මුති වශයෙන් මෙතරම් අධම සහ පහත් තත්වයට ඇද දමන ලද්දේ ඇයි? ඊට මූලික හේතුව මිනිස් ප්‍රජාව තුළ පැවැතිය යුතු ශිෂ්ටත්වය සුනඛ ප්‍රජාව තුළින් දක්නට නොලැබීම ය. ඒ සඳහා ද ඉතා පැහැදිලි ජෛවමය හේතුවක් තිබේ. එනම් සුනඛයාට මිනිසුන්ට මෙන් සුනඛයන් ගේ පුළුල් නළල් තලයක් නොපිහිටීම මත ශිෂ්ටාචාරය සභ්‍යත්වය සදාචාරය සහ සංස්කෘතිය ආදී ආරෝපිත අංග ස්ථාපිත වන ලලාට පිණ්ඩිකය (Frontal lobe ) නම් මොළයේ ඉදිරිපස කොටස සුනඛ හිස තුළ වර්ධනය නොවී පැවතීම ය. ඒ අනුව මිනිසා කෙරෙන් දක්නට ලැබෙන ශිෂ්ටාචාරය සභ්‍යත්වය ආදී අංග සුනඛයන් කෙරෙන් ජෛවමය ලෙසම දක්නට නොතිබීම මත වචනාර්ථය අනුවම ඔව්හු “බලු වී” සිටිති.එබැවින් එය ඔවුන්ගේ වරදක් සේ නොසිතිය යුතු ය.

එහෙත්, මේ වන විට මානව සමාජයෙන් කොටසක් සම්මත මිනිස් ශිෂ්ටාචාරයේ හතර මායිම් අතික්‍රමණය කිරීම තවත් පිරිසක් ශිෂ්ටාචාරය තුළ විඩාබර බවක් පළ කිරීම ආදී බහුවිධ සාධක මත ඉහත මානවයා සුනඛයා දෙස බලන කෝණය වෙනස් කර ගනිමින් සිටියි. මිනිසුන්ට සාපේක්‍ෂව ශිෂ්ටාචාරගත සභ්‍යත්ව ආදී ලක්ෂණ දක්නට නොලැබුණ ද සුනඛයා තම හාම්පුතා කෙරෙහි දක්වන අසීමාන්තික ලෙන්ගතු බව,කෘතවේදීත්වය, අවංක බව ආදී බොහෝ මිනිසුන් තුළ දක්නට නොලැබෙන උතුම් ගුණාංග සුනඛයන් තුළින් නොමඳව ම දක්නට ලැබෙන බව විසි වන සියවස ඇරඹුමේ පමණ සිට මිනිසා ක්‍රමයෙන් අවබෝධ කර ගනිමින් සිටියි. ඉහත සඳහන් අන්දමට සුනඛයා තම හාම්පුතා කෙරෙහි දක්වන අසීමාන්තික කලණ මිතුරු බව මුල් කොට මිනිස් අගයට සාපේක්ෂව සුනඛ අගය වේගයෙන් ඉහළ නැංවෙන්නට වූයේ ලෝ පතල පුද්ගලයන් විසින් සුනඛ අගය හුවා දක්වමින් කළ අනේක විධ ප්‍රකාශ ද පදනම් කර ගනිමිනි.”සුනඛයා මහත්මයෙකි.මා බලාපොරොත්තු වනුයේ ඔහුගේ ස්වර්ගයට යාමට මිස මිනිසාගේ ස්වර්ගයට යාමට නොවේ” ( The dog is gentleman ;I hope go to his heaven not man`s ) යන ප්‍රකට ඇමරිකානු ගත් කතු වරයකු වූ මාක් ට්වේන්(1835-1910 ) කළ සඳහන එවන් දහසකුත් එකක් ප්‍රකාශ අතුරින් මේ මොහොතේ මගේ මතකයට නැංවෙයි.

ඉන්පසුව මිනිසා සහ සුනඛයා අතර පවත්නා මෙම සහසම්බන්ධතාවයේ යටගියාව කෙරෙහි විවිධ විමසුම් කෙරුණු අතර ඇමරිකානු මනෝ විද්‍යාඥ බොරිස් එම්.ලෙවින්සන් (1907-1984) ආදීන් විසින් මිනිස් සුනඛ සහසබඳතාව සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ මනෝ චිකිත්සක අත්හදා බැලීම් නූතන සමාජය තුළ සුනඛයන් පිළිබඳ යහපත් ආකල්ප ප්‍රවර්ධනයට මහෝපකාරී විය.
දුරාතීතයේ තත්වය කෙසේ වුව ද මීට සියවස් කිහිපයකට පෙර ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ස්ථාපිතව පැවැති සුනඛයන් පිළිබඳ නිග්‍රහාත්මක ආකල්ප තවමත් මුළුමනින්ම දුරුව ඇති බවක් නොහැඟේ. මිනිස් ඝාතන සුනඛාදී සතුන් ඝාතනය මෙන් ලඝු නොවන බව හැඟවීම පිණිස ‘බල්ලන් බළලුන් වගේ මරා දැමීම’ මුදල් ඉපැයීමේ පහත් ක්‍රම පිළිබඳව පැවසීම පිණිස “බල්ලන් මරා හෝ මුදල් ඉපැයීම’ ආදී යෙදුම් භාවිත වීම අප සමාජය තුළ පවත්නා සත්ව කරුණාව සම්බන්ධ ආකල්පයන් හි පටු බව මැනැවින් කියා පානු ඇත.

මේ අතර මහනුවර යුගයේ ඇතැම් රජවරුන් තුළ පැවැති විදේශීය සුනඛ විශේෂ ඇති දැඩි කිරීමේ සිරිත යටත් විජිත යුගයන් හිදී නාගරික ප්‍රභූ සමාජය තුළ පැතිර යාමත් සමග මෙම භූමිය තුළ වසර දොලොස් දහසකටත් වඩා ඉතිහාසයකට නියත උරුමයක් හිමි දේශීය සුනඛයන් “වල් බල්ලන්” ලෙස හැඳින්වීමට මෑත කාලීන ශ්‍රී ලාංකේය සමාජය නැඹුරු වීමත් ස්වභාවික යුක්තිය ඉඳුරාම සිඳ බිඳ දමන්නක් බව කිව යුතු ය. ඒ මක් නිසාද යත් අප රටේ දක්නට ලැබෙන සුනඛ විශේෂය ගෘහස්ථ සුනඛයා ( Canis lupus familiaris) ලෙස විද්‍යාත්මකව පවා නිර්වචනය වීමත් ශ්‍රී ලංකා භූමිය තුළ එකම වන සුනඛයකු (Wild dog ) වත් දක්නට නොලැබීමත් නිසා ය.මේ අතර සමහරෙක් මෙම දේශීය සුනඛ විශේෂය “පර බල්ලන්” නමින් ද හඳුන්වති.කුලවාදයෙන් පිරීගත් ඉන්දීය සමාජයේ සාමාන්‍ය සමාජයෙන් ඉවත් කරන ලද හෙවත් නස්පර්ශිත කුලිකයන් හැඳින්වීම සඳහා යොදනු ලැබූ “පර”යන්න ඉංග්‍රීසියෙහි Pariah ලෙසින් දක්වා තිබේ.ඒ අනුව අප ශ්‍රී ලංකාවේ දේශීය සුනඛයන් “පර” නාමයෙන් හැඳින්වීම ජාතියක් වශයෙන් අප අපගේ මිනිසත් බව බරපතල අවභාවිතාවක යෙදවීමක් බව කිව යුතු ය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන මෙම දේශීය සුනඛ විශේෂය ඕස්ටේ්‍රලියාවේ දී ඩිංගෝ (Dingo ) නමින් ද ඇමරිකාවේ දී කැරොලිනා ( Carolina ) නමින් ද ඉන්දියාවේ දී ස්වදේශික සුනඛ (Native dog ) නමින් ද හැඳින්වෙන අතර මේ අසරණ සතුන් ශ්‍රී ලංකාව තුළ මෙලෙස නිගරුවට පත් කිරීම ඔස්සේ දිනෙන් දින ප්‍රවර්ධනය වන ගෝලීය සත්ව හිමිකම් ප්‍රවර්ධන ප්‍රවණතා හමුවේ ජාතියක් වශයෙන් අප අතිශයින් පසුගාමී වීම වැළැක්විය නොහැක.

සුනඛාදී ගෘහාශ්‍රිත සතුන් ගේ චර්යාවන් පදනම් කර ගත් සත්ව චර්යාවේදය (Ethology ) නම් නවීන විෂය පථයක් ඉන්දියාවේ පවා ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වීම මත සත්ව චර්යාවේදීන් (Animal behaviorist ) වශයෙන් වන නවීන වෘත්තිකයෝ ද අද එහි දක්නා ලැබෙත්. එමෙන්ම ගෘහස්ථ සේම නිවාස අහිමි සුනඛයන් සම්බන්ධ හිමිකම් සහ සුබ සාධක කටයුතු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි එම රටවල දැවැන්ත සමාජ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වේ. එමෙන්ම දහ නව වන සියවසේ පැතිර ගිය ජලභීතිකා වසංගතය මුල් කොට 1864 වසරේ සුනඛයන් සඳහා ලොව ප්‍රථම සත්ව සුරැකුම් මධ්‍යස්ථානය බිහි කළ නෙදර්ලන්තය මේ වන විට සෑම සුනඛයකුටම නිවසක් හිමි කර දීම දක්වා වන ප්‍රශස්ථ ගමන් මඟක දිනුම් කනුව වෙත ළංවී තිබේ.

එවන් පසුබිමක මීට දශක කිහිපයකට පෙර සිට අප රටේ ස්වේච්ඡා සංවිධාන කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් මෙම නිවාස අහිමි සුනඛ ප්‍රජාව වෙනුවෙන් ආහාර ලබා දීමේ සිට යම් යම් සුබසාධන කටයුතු කිරීමේ සැළකිය යුතු නැඹුරුවක් ද දක්නට ලැබේ. ඒ නමුත් අප රටේ මානව හිමිකම් තවමත් නිසි පරිදි සංතෘප්ත නොවීම මත මානව හිමිකම් රැක දෙන්න බැරි රටක වල් බල්ලන්ගේ හිමිකම් රැක දීමට වෙර දැරීම තරම් විහිළුවක් නැතැයි පවසන විද්වත් පිරිස් ද අපට හමුවෙති.

එවන් පසුබිමක් යටතේ සත්ව අවිංසාව සහ සුබ සාධනය කෙරෙහි ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැදගත් මෙහෙවරක යෙදී සිටින අහිංසා ශ්‍රී ලංකා සත්ව හිම්කම් සහ සුබසාධන සංවිධානය මගින් නිකුත් කරන අහිංසා අර්ධ වාර්ෂික ප්‍රකාශනයේ දෙවන කලාපයේ කවරයේ කතාව ‘නිවෙස් අහිමි සුනඛ ඛේදවාචකය’ ලෙස නම් කොට තිබේ.එහි එම නිහඬ ඛේදවාචකය පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ ව්‍යක්ත අයුරින් සාකච්ඡා කොට තිබේ. ඓතිහාසිකව පුරාවිද්‍යාත්මකව සේම මානව විද්‍යාත්මකව මිනිසා ගේ සමීපතම හිතමිතුරා වන සුනඛයා සම්බන්ධ එවැනි අවධානයක් යොමු කිරීම ඔවුන්ගේ හිම්කම් සහ සුබ සාධනය වෙනුවෙන් සේම මුළුමහත් සමාජය උදෙසාම සිදු කළ සාධනීය මෙහෙවරක් බව අපගේ වැටහීම ය. එමෙන්ම අප තවදුරටත් මෙවන් නව ආකල්පමය වෙනසකට යොමු නොවීම මත දිනෙන් දින සුනඛ හිමිකම් සහ සුබසාධන කටයුතු ප්‍රවර්ධනය වන ගෝලීයකරණය සමාජය තුළ කොන්වීම සම්බන්ධ පැහැදිලි ඉඩ ප්‍රස්ථාවක් ද අප හමුවේ විවර වෙමින් තිබේ. එය අප ජන සමාජයක් ලෙස අපගේ ද “බලු වීමක්” ලෙස ව්‍යවහාරික වදන් මඟින් පැවසීමට යමකුට පහසු හැකියාවක් පවතින බව ද අප අමතක නොකළ යුතු ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

සතුන්ටත් හිමි අපේ ලෝකය