වසර 33 කට පසු රජිනිකාන්ත් සහ අමිතාභ් බච්චන් රඟන චිත්‍රපටයක්

ඉන්දියානු සිනමාවේ දැවැන්තයන් දෙදෙනකු රඟපාන සිනමාපටයක් තව නොබෝ දිනකින් ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත යි. ඒ “වෙත්තයියාන්’ නැමැති දෙමළ චිත්‍රපටය යි. ලබන 10 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කරන මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ සුපිරි නළු රජිනිකාන්ත්. ඔහු සමග මෙහි බොලිවුඩයේ මහා නළු අමිතාභ් බච්චන් ද රඟපානවා.

මොවුන් දෙදෙනා මේ ආකාරයෙන් එකම චිත්‍රපටයකින් දැක ගන්නට ලැබීම ඉතා දුර්ළභ සිද්ධියක් බව අමුතfුවන් කියන්න අවශ්‍ය නැහැ. ඔවුන් අවසන් වරට එකම චිත්‍රපටයක රඟ පෑවේ 1991 වසරේ යි. එහි නම Hum . මේ දෙදෙනාට අමතරව තවත් ජනප්‍රිය නළුවකු වූ ගෝවින්දාත් මෙයට රංගනයෙන් දායක වුණා. දැන් අමිතාභ් සහ රජිනිකාන්ත් එකම චිත්‍රපටයකින් ප්‍රේක්‍ෂකයන් හමුවට එන්නේ වසර 33 කට පසුව යි.

අසාධාරණයට එරෙහිව සටන් කරන විශ්‍රාමික පොලිස් නිලධාරියකු පිලිබඳ කතාවක් ‘වෙත්තයියාන්’ චිත්‍රපටයට පසුබිම් වන බව සඳහන්. කුමාර් මල්හෝත්‍රා නැමැති එම පොලිස් නිලධාරියාගේ චරිතය යි රජිනිකාන්ත් නිරූපනය කරන්නේ. අමිතාභ් රඟපාන්නේ ශේකාර් මල්හෝත්‍රා නැමැති චරිතයක්. කෙසේ වෙතත් චිත්‍රපටයේ කතා පුවත ගැන වැඩි විස්තරයක් තවමත් මාධ්‍ය මගින් අනාවරණය කර නැහැ.

‘වෙත්තයියාන්’ දෙමළ චිත්‍රපට රස විඳින සිනමා රසිකයන් මහත් බලාපොරොත්තු තබා සිටින චිත්‍රපටයක්. ඒ නිසා එය ඉහළ ආදායම් උපයමින් සාර්ථක ලෙස තිරගත වනු ඇති බවයි සිනමා ලේඛකයන් පවසන්නේ. රජිනිකාන්ත් අවසන් වරට ප්‍රධාන චරිතයක් රඟ පෑ ‘ජේලර්’ චිත්‍රපටයත් ඉතාම සාර්ථක ලෙස තිරගත වුණා. එය ප්‍රදර්ශණය වුණේ පසුගිය වසරේ යි.

‘ජේලර්’ චිත්‍රපටයෙන් පසු ඔහු ‘ලාල් සලාම්’ නැමැති තවත් චිත්‍රපටයක රඟ පෑ නමුත් එහි ඔහු නිරූපනය කළේ ප්‍රධාන චරිතයක් නොවෙයි. මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කළේ ඔහුගේ වැඩිමල් දියණිය වන අයිශ්වර්යා රජිනිකාන්ත්. ක්‍රිකට් ක්‍රිඩාව පසුබිම් කරගත් කතාවක් රැගත් මෙම චිත්‍රපටයේ ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායක කපිල් දේව් ද කෙටි චරිතයක් රඟපෑවා. කෙසේ නමුත් ‘ලාල් සලාම්’ ප්‍රේක්‍ෂකයන් අතර එතරම් ජනප්‍රිය වුණේ නැහැ.

‘වෙත්තයියාන්’ තිරගත වීමට දින කිහිපයක් තිබිය දී රජිනිකාන්ත් හදිසියේ රෝගාතුරව රෝහල්ගත කිරීමත් විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් වුණා. සැප්තැම්බර් 30 වැනි දින රාත්‍රියේ අසනීප වූ ඔහු ඇතුළත් කර තිබුණේ තමිල්නාඩුවේ චෙන්නායි හි ඇපලෝ රෝහලට යි. ඒ වනවිට ඔහු දැඩි වේදනාවකින් පෙළෙමින් සිටි බවකුත් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා.

රජිනිකාන්ත් පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් පවසා තිබුණේ ඔහු ගේ ප්‍රධාන ධමනියක ඉදිමීමක් සිදුව තිබූ බවයි. නමුත් ඔහුගේ තත්වය බරපතල නොවන බවකුත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබුණා.

රෝහල්ගත කළ දිනට පසු දා, එනම් අඟහරුවාදා ඔහු යම් විශේෂ ප්‍රතිකර්මයකට බඳුන් කර තිබූ අතර එය සැත්කමක් නොවූ බවයි පැවසුණේ. ඉන් දෙදිනකට පසු රජිනිකාන්ත් පසුගිය බ්‍රහස්පතින්දා රෝහලෙන් නික්ම නැවත නිවස වෙත පැමිණ තිබුණා.

රෝගී වූ අවස්ථාවේ තමා පිළිබඳ සොයා බැලූ සියලු දෙනාට ස්තුතිය පළ කරමින් ඔහු නිවේදනයක් නිකුත් කර තිබෙනු දක්නට ලැබුණා. එම නිවේදනය නිකුත් කර තිබුණේ ඔහුගේ X පිටුව හරහා යි.

“මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ දේශපාලන ක්‍ෂේත්‍රයේ මිතුරන්ටත්, සිනමා ක්‍ෂේත්‍රයේ සගයින්ටත්, එමෙන්ම මාධ්‍යටත් මගේ ස්තුතිය පළ කරනවා. එමෙන්ම හැමදාමත් මා ජීවත් කරවන, මා හට අසීමිතව ආදරය කරන, මට සුවය ප්‍රාර්ථනා කරමින් ආගමික කටුයුතුවල නිරත වුණු මගේ රසික රසිකාවියන්ටත් මගේ ස්තුතිය පුද කරනවා” රජිනිකාන්ත් ගේ නිවේදනයේ එසේ සඳහන් වුණා.

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි, තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් වැනි දේශපාලන නායකයන් ද රජිනිකාන්ත්ගේ රෝගී තත්වය ගැන සොයා බලමින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබුණා. ඔවුන් වෙත විශේෂ ස්තුතියක් පළ කිරීමටත් රජිනිකාන්ත් පියවර ගෙන තිබෙනු දැකිය හැකි වුණා.

‘වේත්තයියාන්’ චිත්‍රපටයේ රජිනි සමග රඟපාන අමිතාභ් ද සිය මිතුරා ගැන සොයා බලා ඔහුට සුවය ප්‍රාර්ථනා කර තිබුණා. රජිනි ඔහුට ද විශේෂ ස්තුතියක් පුද කරන්නට අමතක කර තිබුණේ නැහැ.

රජිනිකාන්ත් තවමත් චිත්‍රපටවල ජව සම්පන්න සුපිරි වීරයාගේ චරිතය නිරූපනය කළත් මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 73 ක්. පසුගිය කාලය තුළ කිහිප අවස්ථාවකම ඔහු සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දුන්නා. 2021 වසරේ ද රජිනි හදවත් සැත්කමකට මුහුණ දුන් අතර ඒ ඔහුගේ ධමනියක ඇති ව තිබූ අවහිරයක් ඉවත් කිරීම සඳහා යි.

2016 වසරේ ද ඔහු බරපතල ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. එය වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්. ඒ වනවිට ඔහුගේ වකුගඩුවල සියයට 60 ක් පමණ අක්‍රියව තිබූ බවක් සැත්කමෙන් පසු රජිනි ප්‍රකාශ කර තිබුණා.

මෙයට වසර කිහිපයකට පෙර රජිනිකාන්ත් දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවකින් පසුවුවත් එම අදහසත් අත්හැර දමන්නට සිදු වූයේ මෙම වකුගඩු ප්‍රශ්නය නිසා යි. රජිනි දේශපාලනයට පිවිසෙන්නට සූදානම් වෙද්දී කොවිඩ් වසංගතයත් පැතිරෙමින් තිබුණා. එවැනි තත්වයක් තුළ ඔහු ජනතාව අතර ගැවසෙමින් දේශපාලනය කරනවාට ඔහුගේ වෛද්‍යවරුන් කැමැත්තක් දැක්වූවේ නැහැ. ඒ වනවිට රජිනිගේ සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වී තිබූ නිසායි ඒ. වෛද්‍ය උපදෙස් මත සිය දේශපාලන සිහිනය අත්හැර දමන්නට එම අවස්ථාවේ ඔහුට සිදු වුණා.

නිහාල් පීරිස්

රසගඟුල