වාමනරූපී බහිරවයකු නොවන වන්නි හත්පත්තුවේ බහිරව මුත්තා

bahirawa

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය පසුගිය ඔක්තෝබර් 09 ඉරු දින පෙරවරු දහයට කුරුණෑගල පාදෙණිය ඔස්සේ වැටී ගත් කොළඹ-අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව සෙනරත්ගම පූලංචිය වැව අද්දර පිහිටි ගල්ගමුව ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන ‘ගිමන්හල’ පරිසර උද්‍යානයේ දී මහජනතාව සඳහා විවෘත කරන ලදී. නමුත් එය මහජනතාව උදෙසා විවෘත කිරීමට පුරෝගාමීව ඒ සම්බන්ධ කිසියම් අධ්‍යාත්මික කටයුත්තක් ද සිදු කළ යුතු බවට තම වැඩිහිටි ඥාතිවරුන් පවසන බව එම ස්මාරකයේ නිර්මාණ ශිල්පි ගල්ගමුව, සියඹලංගමුවේ ජේ. රත්නායක මහතා එම ස්මාරකය ඉදි කරවූ අහිංසා ශ්‍රී ලංකා සත්ව අහිංසක සහ සුබසාධන සංවිධාන නියෝජිතයන්ට දැනුම් දී තිබුණේ තම ප්‍රදේශයේ පාරම්පරික ජන විශ්වාසවලට පිටුපෑමට තමන් හට ඇති නොහැකියාව සඳහන් කරමිනි.එබැවින් තම ප්‍රදේශයේ පවතින සංස්කෘතිකාංග මත පදනම් වූ එම පාරම්පරික අභිචාර විධි අවශ්‍ය පරිදි පැවැත්වීමට අහිංසා ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ අවසරය ඔහු වෙත ලබා දී තිබුණි.ඒ අනුව එම බහිරව පූජාව සඳහා ගල්ගමුව එම උද්‍යානයේ භාරකාරත්වය දරන ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.කේ විමලරත්නයන් ඇතුළු පිරිසක් ද එක් වූහ.

ගල්ගමුවේ ඉදිකොට ඇති එම ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය 2010 සහ 2018 යන වසරවල මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඛේදනීය අකල් මරණවලට ලක් වූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජුන් දෙපළගේ සජීවී හැඩතල සහ සජීවී ප්‍රමාණවලින් යුතු පිළිරූ දෙකකින් සහ ක්ෂීරපායි, පක්ෂි, උරග, මත්ස්‍ය, සමනල යන සකල විධ සත්ත්ව ප්‍රජාව නියෝජනය කරන බිතු කැටයමකින් සමන්විතය.
‘බහිරව’ යන නම නූතනයේ නිතර භාවිත වන්නකි. මිහිකත හා සම්බන්ධ අනේකවිධ වස්තූන් හා සම්පත්වලට අධිපති බව පැවසෙන බහිරව යන උප දේවතා ගණයට ගැනෙන බහුරූපී සංකල්පවලින් යුතු දේවතාවෙකි. ඒ සම්බන්ධ බොහෝ තොරතුරු දකුණු ඉන්දීය ජන සංස්කෘතික ධාරාවන්හි ආභාෂයෙන් මෙරටට පැමිණි අතර මහනුවර රාජධානි සමයේ එහි කූටප්‍රාප්තිය සනිටුහන් කොට ඇති බව පැහැදිලි ය. එහෙත්, ස්මාරක නිර්මාණ ශිල්පී ජේ. රත්නායක මහතා පැවසූ මෙම බහිරව පූජාව හුදෙක් ඊට වඩා වෙනස් මුහුණුවරකින් යුතු ය. විශේෂයෙන් වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් හත් කෝරලයේ වන්නි හත්පත්තුවේ ජනතාව බහිරව මුත්තා යනුවෙන් අදහනු ලබනුයේ ඉහත සඳහන් වාමන රූපී බහිරවයාම නොවේ. මීට වසර කිහිපයකට ඉහත වන්නි හත්පත්තුවේ යක්ෂ දේව ඇදහිලි සම්බන්ධ විමර්ශනයක යෙදුණු මා හට අනාවරණය කර ගත හැකි වූ පරිදි එම ප්‍රදේශයේ බහිරව මුත්තා යනු බොහෝ ප්‍රදේශවල ගමේ මුත්තා නමින් හඳුන්වන පරවේණි දේවතාවාම ය. ඒ සම්බන්ධ වැඩි විස්තර 2016 වසරේ ම’විසින් ලියා එළිදක්වන ලද ‘වන්නි හත්පත්තුවේ ජනකතා – යක්ෂ දේව ප්‍රවාද’ නම් කෘතියෙහි සඳහන් වෙයි.

වන්නි හත්පත්තුවේ අදහනු ලබන බහිරව මුත්තා අතීතයේ එම ගම් බිම්වලට අරක් ගෙන සිටි ප්‍රභූන් හෙවත් ප්‍රජා නායකයන් ය. තම දේපළ, වතුපිටි ආදිය කෙරෙහි අතිශය ඇල්මෙන් යුතුව ඒවා ආරක්ෂා කළ ඔවුන් පස්පව්, දස අකුසල් ආදිය කළෝ ද නොවෙති. එසේ කළවුන් මරණින් මතු දුගතිගාමී උප්පත්තීන් ලබන මුත් ඉහත සඳහන් ආකාරයේ ප්‍රභූන් මරණින් මතු ද තම ගම්බිම්වලටම අරක් ගත් බහිරවයන් වශයෙන් උපත ලද බව වන්නි හත්පත්තුවේ ජන විශ්වාසයයි. නමුත් මෙහි දී මෙම බහිරවයන් ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදී පහත් පෙළේ අමනුෂ්‍ය ගණයට අයත් නොවන අතර එක්තරා යක්ෂ-දේව සුසංයෝගයෙන් යුතු අමනුෂ්‍ය කොට්ඨාසයක් බව නිසැක ලෙසම කිව යුතු ය.නමුදු ඔව්හු නියත ලෙසම මානවීය සහ ස්වාභාවික වස්තු ආරක්ෂකයෝ වෙති.ඒ අනුව වන්නි හත්පත්තුවේ පැරණි ගැමියන් භූමිය මුල් කොට කවර හෝ සුවිශේෂ කටයුත්තකට මුල පුරන්නේ නම් ඒ සඳහා බහිරව මුත්තාගෙන් අවසර අයැද සිටීමට අමතක නොකිරීම ද විශේෂත්වයකි. එහි දී පළමුව බහිරව මුත්තා තුටු පහටු කිරීම පිණිස මල්, සුවඳ දුම්, පලතුරු, කැවිලි, දැහැත් ආදිය පූජා කෙට දෙවනුව ඒ කාර්ය සඳහා බහිරව මුත්තාගේ අවසරය ඉල්ලා යාදින්නක් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. මෙම කටයුතු සඳහා විශේෂ දැනුම් අවබෝධයන් සහිත වැඩිහිටියන් අදටත් මෙම ගම්මානවල ඉඳහිට දක්නට ලැබෙයි.

දෙවි දේවතාවුන් පහදවා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමසුම්වල දී පහදවා ගැනීමට පහසුම දෙවියන් ලෙස අයියනායක දෙවියන් සහ දේවතාවා ලෙස බහිරව මුත්තා වන්නි හත්පත්තුවේ ජනතාව අතර හැඳිනීමට ලක්ව සිටිති. ඔවුනට සාපේක්ෂව වන්නි හත්පත්තුවේ ඇදහීමට ලක් වන කඩවර, කම්බිලි යන යක්ෂ සම්භවයන්ට අයත් දෙවි දේවතාවන් පහදවා ගැනීම සඳහා විශේෂ වත්පිළිවෙත්වල යෙදිය යුතු වන අතර එහි දී සිදු වන සුළු වරදකදී වුව ඔවුන් කෝපයට පත් වන බව වන්නි හත්පත්තු ජනතාව කියති.

බහිරව පිළිබඳ විශ්වාසයේ දී කුවේරගේ සංඛ සහ පද්ම යන ධන නිධානයන්ට අධිපති ඒ නමින් යුතු බහිරවයන් දෙදෙනකු ගැන කියැවේ. අනුරාධපුර අභයගිරි ස්ථූපය ඉදිරිපිට ඇති එම සංඛ සහ පද්ම බහිරව මූර්තීන් දෙක මුල් කොට අද වන විට දේවාල දෙකක් සේම මහා පරිමාන පූජා චාරිත්‍ර දාමයක් ද ප්‍රවර්ධනය වෙමින් තිබේ. එමෙන්ම මෙම බහිරව දේව සංකල්පය ආතාල සහ පාතාල යනුවෙන් දෙකොටසකි. පාතාල යන මිහිමත ඇති සම්පත්වලට අධිගෘහිත බහිරවයා වන අතර ඔහුගේ ආරක්ෂකයා සුනඛයාය. මිහි තුළ ඇති සම්පත්වලට අධිගෘහිත බව පැවසෙන පාතාල බහිරවරයාගේ ආරක්ෂකයා නාගයා ය. නමුත් වන්නි හත්පත්තුවේ ඇදහීමට ලක් වන මෙම බහිරව මුත්තා සම්බන්ධ එවන් ආතාල පාතාල භේදයක් නැත. ඊට හේතුව එතුමන් ඉහත සඳහන් බහිරව සම්ප්‍රදායන්ගෙන් බැහැර වූ වෙනම දේවත්වයක් පළ කරන්නකු බැවිනි.

අප රටේ නුවර කලාවියේ සහ වන්නි හත්පත්තුව ද අයත් හත් කෝරලයේ කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගත කරන ජනතාව සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව එළැඹෙන මාස් කන්නයේ අස්වනු නෙළීමට පෙර තම ගම්මානවල ‘මුත්තා පොළ’ යනුවෙන් හැඳින්වෙන ස්ථානවල සාමූහිකව එක්ව කිරි ඉතිරීමක් කොට අලුත් අවුරුද්ද සැමරීම පිණිස තෙල් වළං ළිප තැබීමට මුත්තාවරුන්ගෙන් අවසර අයැද සිටිති. එහෙත් මෙම කිරි ඉතිරවීම් පිණිස පොල් කිරි මිස එළ කිරි යොදා නොගැනීම ද විශේෂත්වයකි. ඉන් අනියමින් හැඟවෙනුයේ බහිරව මුත්තා යක්ෂ සම්භවයකට අයත් බවකි.ඒ කෙසේ හෝ භූමිය සම්බන්ධ කවර කරුණක දී හෝ බහිරව මුත්තා ගෙන් ඒ සඳහා කැප අවසර ඉල්ලා සිටීම සේම එකී කාරියේ සාර්ථකත්වයට සේම තම ජීවිත වලට යහපත ඉෂ්ඨාර්ථ සිද්ධිය ගෙන දීමට ද සමත් වන බව වන්නි හත් පත්තුවේ පාරම්පරික ජන විශ්වාසයයි.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය