වැඩිහිටි පිරිමින් වෙතින්කුඩා දරුවන් ලිංගික අපචාරවලට ලක් වීම වැළැක්වීම සඳහා කොතෙක් නීති රීති තිබුණත් මෙවැනි දේවල් මුළුමනින්ම සමාජය තුළින් තුරන් වී ගොස් නෑ.
තරුණයන් වෙතින් මෙන්ම වියපත් වැඩිහිටි පිරිමින් තුළින්ද මෙවැනි ක්‍රියාවන් සිදුවීම නොයෙක් විට අපට අසන්නට ලැබෙනවා.
අප මේ කතා කරන්නේ වියපත් වැඩිහිටියන් මෙවැනි ක්‍රියාවන්ට යොමු වීම පිළිබඳවයි.
සාමාන්‍යයෙන් වයසට ගියත් පිරිමින් තුළ ලිංගික ආශාවන් නැති වන්නේ නෑ. නමුත් කාන්තාවන් වයසට යන විට එවැනි ආශාවන් හීන වී යනවා.
බිරිඳට එවැනි ආශාවන් හීන වී යාම නිසා හෝ බිරිඳ මිය යාම නිසා හෝ තමන් තුළ ඇති එවැනි ආශාවන් මුදුන් පමුණුවා ගන්නට මාර්ග සහ අවස්ථාවන් නැති වූ විට කුඩා ගැහැනු ළමයකු වෙතින් එම ආශාවන් ඉටුකර ගැනීමට සමහර වියපත් පිරිමින් පෙළඹිය හැකියි.
ඇතැම් අවස්ථාවලදී මෙවැනි පිරිමියෙකු තම උකුළෙහි කුඩා ගැහැනු දරුවකු තබාගෙන සිටින විට පවා ඔවුන්ගේ හැඟීම් ඇවිස්සීමට ඉඩකඩ තිබෙනවා.
කෙසේ වුවත් වියපත්, වැඩිහිටි පිරිමින් වෙතින් විශේෂයෙන් ගැහැනු දරුවන්ට අතවර සිදු වීමට බලපාන හේතු කිහිපයක් මෙලෙස දක්වන්න පුළුවන්.
වයසට යන විට හැඟීම් පාලනය කර ගැනීම අපහසු වීම එක හේතුවක්. එවැනි රෝගද වයසට යන විට හට ගත හැකියි.
එසේම ස්නායු දුර්වලවීම, ඇල්ෂයිමර් රෝගය, ඩිමෙන්ෂියා රෝගයේ මුල් අවස්ථාව යන මේවා නිසාද හැඟීම් පාළනය අපහසු විය හැකියි.
මේ හැරුණු විට ගංජා සේම අනිකුත් මත්ද්‍රව්‍ය සහ මත්පැන් ගන්නා පුද්ගලයන් වෙතිනුත්, විෂම පෞරුෂ සහ සමාජ විරෝධී පෞරුෂ සහිත වැඩිහිටි පිරිමින්ගෙන් සේම තරුණයන් වෙතිනුත් කුඩා දරුවන් ලිංගික අපචාරවලට ලක් වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.
මේ හැරුණු විට ළමයින් කෙරෙහි පමණක් ලිංගික ආශාව පවතින පිරිමින් සිටිනවා. පීඩොෆීලියා ( Paedophilia ) ලෙසින් හඳුන්වන එය ලිංගික අවවර්තන තත්ත්වයක්. ලිංගික අවවර්තන යනු සාමාන්‍ය තත්ත්වයන්ට වඩා වෙනස් වූ ලිංගික කැමැත්ත යි.
ඒ අනුව ලිංගික කැමැත්තේ ඇති ආබාධ හෙවත් පැරාෆීලියා ( Paraphilia) ගණයටයි පීඩොෆීලියාත් අයත් වන්නේ. පීඩොෆීලියා ආබාධයෙන් පෙළෙන වැඩිහිටි පිරිමින් තුළ ලිංගික උත්තේජනයක් ඇති වන්නේ වැඩිහිටි කාන්තාවන් හෝ තරුණ කතුන් කෙරෙහි නොව කුඩා ගැහැනු දරුවන් හෝ පිරිමි දරුවන් සම්බන්ධයෙනුයි.
ඒ නිසාම මෙවැනි පිරිමි, කුඩා ළමයින්ට ඉතාමත් ආදරය දක්වන්නවුන් ලෙස පෙනී සිටිනවා. ඒ වගේම ළමයින් තුළ සේම ඔවුන්ගේ වැඩිහිටියන් තුළ පවා මහත් විශ්වාසයක් ඇති වන ලෙසින් කටයුතු කරන්නටද නිතර ඔවුන් වග බලා ගන්නවා. ළමයින්ට නිතර අවවාද උපදෙස් දීම වැනි දේවල් ඔස්සේ ඒ විශ්වාසය ඔවුන් තුළ වැඩි දියුණු කරලීම සඳහා කටයුතු කරනවා.
එමෙන්ම ළමයින් සෘජුවම සම්බන්ධ කර ගත හැකි වෘත්තීන් තෝරා ගැනීමටද ඔවුන් විශේෂ උනන්දුවක් දක්වනවා. නමුත් විශේෂයෙන් අවධාරණය කළ යුතු දෙයක් තිබෙනවා. අවංකවම දරුවන්, තමන්ගේම දරුවන් ලෙස සලකා යහපත් ලෙස කටයුතු කරන පිරිමින් තමයි සමාජය තුළ වැඩි.
නමුත් ඔවුන් මෙන්ම පෙනී සිට කුඩා දරුවන් ගොදුරු කර ගන්නා පිරිමිනුත් ඒ අතර සිටිනවා. එවැනි පිරිමින් මේ ආකාරයට කුඩා දරුවන්ට තෑගි බෝග පිරිනමන්නට, විවිධ ආකාරවලින් දරුවන් ගේ සිත දිනාගෙන දරුවන්ට සමීප වී ඔවුන්ගේ ලිංගික අවයව අතපත ගාන්නට, ඉනුත් ඔබ්බට ගොස් ලිංගික ක්‍රියාකාරකම් පෙන්වා ක්‍රම ක්‍රමයෙන් දරුවන් නැඹුරු කර ගැනීමට වග බලා ගන්නවා.
දරුවන්ට නිතර තෑගි බෝග මෙන්ම මුදල් ආදියෙන් සංග්‍රහ කරන නිසා දරුවන් ඔවුන් පිළිබඳව වැඩිහිටියන්ට පැවසීමෙන් ද වැළකී සිටිනවා. මීට අමතරව ඔවුන්, දරුවන් බියවැද්දීම තුළින් ද තමන් පිළිබඳව වැඩිහිටියන් ට පැවසීම වළක්වාලනවා.
පීඩොෆීලියා මානසික ආබාධයෙන් පෙළෙන වැඩිහිටියන් අපේ රටේ සුලබයි. නමුත් මෙම රෝගීන් හඳුනා ගන්නට ලැබෙන්නේ අඩුවෙන්. හේතුව, මොවුන් ගේ ලිංගික කැමැත්ත එය වූවාට ඔවුන් නිරෝගී සාමාන්‍ය පුද්ගලයන් ලෙසින් එදිනෙදා ජීවිතය ගත කිරීම යි.
කුඩා දරුවන් මෙවැනි දේවල් වලට ගොදුරු වන්නේ එම දරුවන්ට මෙන්ම ඔවුන්ගේ වැඩිහිටියන්ට පවා මෙවැනි දේවල් පිළිබඳව දැනීමක් නොමැති වීම නිසයි.
කෙසේ වුවත් ලිංගික අතවරයකට ලක්වූ ගැහැනු සහ පිරිමි දරුවන්ට වුවද වැඩිවිය පත්වූ පසුවත් හැඟීම් පාලනය අපහසු විය හැකියි. විශේෂයෙන් ගැහැනු දරුවන් තුළ මේ නිසා පෞරුෂ ආබාධ හට ගන්නට පහසු හැකියාවක් තිබෙනවා. එවැනි දරුවන්ට අනාගතයේ යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ද මේ නිසා අපහසු විය හැකියි.
තම දරුවන් ඇසුරු කරන අය සේම, දරුවන් ගේ හැසිරීම් පිළිබඳවත් වැඩිහිටියන් මනා සෙවිල්ලකින් පසු වීම අත්‍යවශ්‍ය යි. එමගින් දරුවන් මෙවැනි ව්‍යසනයන්ට ලක් වීම වළක්වා ගන්නට පුළුවන්.
ඒ වගේම කවර හෝ මානසිකත්වයක් යටතේ යම් පිරිමියකු මේ තත්වයට යොමු වුවත් එවැනි සිද්ධියක් දැන ගත් විගස නීතිමය පිහිට පැතීම ඉතාම වැදගත් .මොකද ඒ පුද්ගලයා ඒ තත්වයට පෙළඹීමට හේතුව නිගමය කිරීම අධිකරණමය ක්‍රියා මාර්ගයක් නිසා.
විශේෂඥ මනෝ වෛද්‍ය රුමී රූබන්