වැඩිහිටියන්ට ස්වාභාවික යුක්තියේ පාඩම කියා දෙන සිඟිති ප්‍රාඥයෙක්!

wadi

“ඔබේ සත්තු වත්ත හිර ගෙයක්.කූඩු හරි පොඩියි.කොටියා ඉන්නේ අඬ අඬා.මම යන්න කැමතිම නැහැ”ඉහත සඳහන් වැකිය සහිත චිත්‍රය අප විසින් සමාජ ජාලයකින් උපුටා ගන්නා ලද්දකි.

එම චිත්‍රය සහ වැකි අනුව පෙනී යන්නේ එය වයස අවුරුදු පහ-හයක දරුවකු හෝ දැරියකගේ නිර්මාණයක් බව ය.එහෙත්,එම දරුවා හෝ දැරිය එය කෙතරම් සංවේදී ලෙස ඉදිරිපත් කොට තිබේ ද යත් එම කොටියා සිර ගත කොට සිටින කූඩුවේ ඉබි යතුර පැහැදිලිවම සිත්තමට නඟා තිබේ.

ඒ අතර කොටියාගේ කඳුළු ද විශේෂයෙන් හුවාදක්වා තිබේ.

එමෙන්ම එම සිඟිති මනැසට පිවිසි අද වන විට සත්ව හිමිකම් උල්ලංඝනය වීමේ ඛේදවාචකය පිළිබඳ විරෝධාකල්පය නූතන සමාජයෙන් වරින් වර මතු වන පාර්ශවීය මතවාදයක් ද වෙයි.

ඒ අනුව මෙම නිර්මාණය ඉදිරිපත් කළ සිඟිති ප්‍රාඥයා කවරකු වුව අපේ බොහෝ වැඩිහිටියන්ට ස්වාභාවික යුක්තිය නම් මාහැඟි පාඩම උගන්වන ගුරුවරයෙක් ද වෙයි.

මානව හිමිකම් යනු අද සමාජයේ මුල් පෙළේ මාතෘකාවක් වී තිබේ.එහෙත්,මෙම මානව හිමිකම් පිළිබඳ ක්‍රියාත්මක භාවයන් දෙයාකාරව සිදු වන්නකි.

අප රටේ බොහෝ විට මාවන හිමිකම් නෛතික ආරෝපණයන් වශයෙන් සමාජගත වී ඇති අතර ලොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටවල එය සමාජගත ව ඇත්තේ මානව චින්තාවලියේම සමාජ ආරෝපණයක් ලෙසිනි.

යම් සමාජයක එලෙස ස්වාභාවික ලෙසින් මානව හිමිකම් සුරක්ෂා වීමේ පදනම ළමා මනැස තුළින්ම ස්ථාපිත විය යුත්තකි.ලොව සෑම දරුවකුම ලෝකය,සමාජය දැන හඳුනා ගැනීමේ පෙරහුරුව ලබන්නේ තමන් ජීවත් වන සමාජය තුළින් උකහා ගන්නා පාරිසරික සාධක මුල් කරගනිමිනි.

එහි දී ගහ-කොළ,සතා සීපාවා ආදිය දරුවාගේ මුල්ම ස්වයං අධ්‍යයන විෂ‍ය පථයන් වන අතර ඔහු ඒ ඇසුරින් ලබන ජීවිත පරිඥානය සමස්ත ජීවිත කාලයටම බලපෑම් එල්ල කරනු ඇත.මිනිසුන් සහ සතුන් එකි`නෙකා වෙන් කොට දැකීමේ හැකියාවක් ළදරු මනැසට නැත.

සුනඛයන් බළලුන් ආදීන් ගෘහස්ථ සතුන් සම්බන්ධයෙන් කුඩා දරුවන් සිතනුයේ ඔවුන් තමන්ගේ සොයුරු සොයුරියන් හා සමීප හිත මිතුරන් ලෙසිනි.ඔවුනට ද තමන්ට මෙන් සා පිපාසාවන් ඇතිවන බවත් බිය-සැක,දුක,වේදනාව දැනෙන බවත් දරුවා තේරුම් ගනී.

එමෙන්ම තමන් එම ගෘහස්ථ සතුන්ගේ නායකයා ලෙස සිතන දරුවා ඔවුන් ඇසුරින් කරුණාව හා අහිංසාව මත පදනම් කර ගනිමින්  විශිෂ්ඨ පෞරුෂයක් ගොඩ නඟා ගනී.

මිහිමත වෙසෙන ජීවීන් මිනිස්-තිරිසන් වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරනු ලැබේ.එහෙත්,මේ දෙකොටසම පොදුවේ සත්ව ගණයට ඇතුළත් වන අතර සාපිපාසාව,භය සහ ලිංගිකාශාව වැනි පොදු සත්ව ආවේග මේ දෙකොටස කෙරෙන්ම එක සේ දක්නට ලැබේ.

නමුදු මොළය ඇති නැති ආදී වශයෙන් කරනු ලබන බෙදීමේ දී තිරිසනුන්ට මිනිසුන්ට මෙන් දියුණු මොළයක් නොමැති බව පොදු සම්මතයකි.මෙලොව වෙසෙන සියළු ජීවීන් ගේ මානසික ශක්තීන් අතින් මිනිසාට ප්‍රමුඛ තැනක් හිමි වන බවට වාදයක් විවාදයක් නැත.එහෙත් ඒ අනුව බලා සතුන්ට මිනිසුන්ට මෙන් මොළයක් නැතැයි කීමම “මොළය නැති කතාවකි”.

මිනිස් මොළය බුද්ධිය(Interlligence) කේන්ද්‍රගතව ක්‍රියාත්මක වන අතර තිරිසන් මොළය සහජතාව හෙවත් ස්වාභාවික ඥානය(Instinet ) කේන්ද්‍ර ගත ව ක්‍රියාත්මක වෙයි.

පොලිස් පති වරයාගේ රාජකාරිය නිල පොලිස් සුනඛයකුට ඉටු කළ නොහැකි සේම නිල පොලිස් සුනඛ රාජකාරිය පොලිස් පති වරයාට ඉටු කළ නොහැකි වීම ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුනකි.

මෙවන් තත්වයක් තුළ මිනිසුන් තම ආහාර පාන,වස්ත්‍රාභරණ,ක්‍රීඩා-විනෝදාංශ සහ පර්යේෂණ සඳහා සත්ව ජීවිත යොදා ගැනීම ස්වභාවික යුක්තියට ඉඳුරාම පටහැනි බව මානව සංහතියේ බුද්ධි පරිනාමයත් සමඟ මිනිසා මඳින් මඳ වටහා ගනු ඇත.

මෙවන් නොදරුවන් ඒ සම්බන්ධයෙන් දරන අතිශ‍ය පවිත්‍ර සත්‍යවාදී අදහස් එම අනාගත හිරු උදාවේ සහන් එළියක් බව ඒකාන්ත වශයෙන්ම කිව හැක්කේ එබැවිනි.

ඒ අනුව වත්මන් ලෝකයේ ජීවත් වෙමින් කුරිරු සාතන ඇතුළු අනේක විධ දුක් පීඩාවන්ට ලක් වන සතුන්ට වඩා අනාගතයේ මෙලොව උපදින සතුන් වාසනාවත්ත වීමේ ද පැහැදිලි ඉඩක් පවතී.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර