ශ්‍රී ලාංකේය ජන සමාජයේ දිගු කාලයක් තිස්සේ පවතින ‘වැසි පිරිත් සජ්ජායනය’නම් උප සංස්කෘතිකාංගය මුල් කොට මේ දිනවල තරමක් පුළුල් සමාජ කතිකාවක් ගොඩනැඟී තිබේ. අප රටේ මධ්‍යම කඳුකරය කේන්ද්‍ර කොට ගත් උඩරට සහ පහතරට තෙත් කලාප හැරුණු කොට වියළි කලාපයට වරින් වර බලපාන දැඩි නියං තත්වයන් මුල් කොට එම ප්‍රදේශවල පාරම්පරික ගොවි ජනතාව විසින් සිදු කරනු ලබන “වැසි යාතු කර්ම“ අතරට දිගු කලක් තිස්සේ මෙම “වැසි පිරිත්“ සජ්ජායනය ද එක් ව තිබේ. ගත වූ දශක කිහිපය පුරාම ද එම ප්‍රදේශවල ජනතාව නියං කාලයන් තුළ පාළු වී ගිය වැව් පිටි ආදිය කේන්ද්‍ර කරගනිමින් මෙම වැසි පිරිත් සජ්ජායනාවන් පැවැත් වුවද උඩවලවේ ජලාශය සිඳී යාම මුල් කොට පැවැති ජල අර්බුදයත් සමඟ උඩවලවේ ජලාශයෙන් දියවර ලබන ගොවීන් පිරිසක් නැවත මෙම සාම්ප්‍රදායික වැසි පිරිත් සජ්ජායනය සඳහා යොමු වූහ.එය ඉන් පෙර නොපැවැති අන්දමින් සමාජ කතිකාවකට තුඩු දුන් බව පෙනේ. ඒ එහිම තවත් ගොවීන් පිරිසක් උඩවලවේ ජලාශය සඳහා ඊට ඉහළින් පිහිටි විදුලි බල උත්පාදනය සඳහා තනා ඇති බෙලිහුල්ඔය, සමනලවැව ජලාශයෙන් උඩවලවේ ජලාශය වෙත දියවර නිකුත් කරන මෙන් උද්ඝෝෂණ පැවැත්වූ පසුබිමක ය. ඒ සඳහා විපක්ෂ දේශපාලන පක්ෂවල මඟපෙන්වීම්;නියාමනය සිදු වූ බවක් ද කියනු ලැබේ.
කෙසේ හෝ ඒ සම්බන්ධ නවතම තත්වය නම් මේ වන විට උඩවලවේ සේම සමනලවැව ජලාශවල ද ජලය ශීඝ්‍ර වශයෙන් සිඳෙමින් තිබීම ය.ඒ අනුව සමනලවැවේ ජල විදුලි උත්පාදනය ද මුළුමනින්ම ඇනහිට තිබේ. එහෙත්, එය යළි යථාවත් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කරනුයේ කා හටද?
මානව ඉතිහාසයේ මුල සිට එම ගුප්ත විශ්වාසයන් හි පිහිටාධාර ලැබීම කෙරෙහි මිනිසා යොමු වී ඇත්තේ යථාර්ථවාදීව විසදුම් නොලද හැකි මෙබඳු අතීරණාත්මක සංසිද්ධීන් මුල් කර ගනිමිනි.මේ වන විට වැසි පිරිත විවේචනයට, අපහාසයට, උපහාසයට ලක් කරන පිරිස් මූලික වශයෙන් කොටස් දෙකකි. ඉන් එක් කොටසක් වනුයේ නියං සමයට වැසි ඉල්ලා හඬා වැටීමෙන්, යාතිකා කන්නලව් කිරීමෙන් හෝ අහසට දෙස් දෙවොල් තැබීමෙන් වැසි ලැබෙන බවක් විශ්වාස කිරීම පරම මිථ්‍යාවක් සේ සළකන පිරිස ය.මෙය හුදු භෞතික චින්තනය මත පදනම් වූවකි. ඒ අතර ශුෂ්ක කාන්තාර ප්‍රදේශ හැරුණු කොට කෘෂිකාර්මික ජනාවාස සහිත අර්ධ ශුෂ්ක සහ වියළි දේශගුණික කලාපයන් වල සියළුම මානව ජනාවාස වල වැසි අපේක්‍ෂාවෙන් සිදු කරන විවිධ යාතුකර්ම අභිචාර විධි පැවැති බව මානව සහ සමාජ විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගෙන තිබේ.
ශිෂ්ටාචාරගත වීමෙන් පසු ස්ථාපිත වූ ප්‍රාථමික හා ග්‍රාමීය සමාජයන් තුළ සිදු කෙරෙන මෙවන් වර්ෂා සම්බන්ධ අභිචාර විධි දහස් ගණනකි.
අප රටේ නුවර කලාවිය හත්කෝරලය ආදී ප්‍රදේශවල කෘෂිකාර්මික ජනාවාස ආශ්‍රිතව වැහිබලිය සහ වැහිබලි යාගය නම් වර්ෂාව සම්බන්ධ යාතු කර්ම දෙකක් තිබිණ.
ඒවා මඟින් සිදු වූයේ වර්ෂාව නම් වන ස්වභාවික සංසිද්ධියට මුල් වන්නේ යැයි කියනු ලබන “වැහි ගම්පල මුත්තා”, නම් දේවතාවාට හෝ අධිමානුෂීය බලවේගයන්ට දෙස් දෙවොල් තැබීමෙන් වැසි ඉල්ලා සිටීම ය.ගමේ සිඳී ගිය වැවක් සමීපයට යන ඒ ගමේ පුරුෂ පක්ෂය කාන්තාවන් ගෙන් මුළුමනින් දුරස්ව නිර්වස්ත්‍රව වැහිබලි යාගය නම් යාතු කර්මය සිදුකොට ඇති බව පැවසෙයි.
ලොව පුරා විවිධ ජන කොටස් විසින් දිගු කාලීන වශයෙන් යොමු වී ඇති ජන සංස්කෘතිකාංග භෞතික නියාමනයන් පෙරදැරි කර ගනිමින් විශ්ලේෂණය කිරීමේදී ඒවායේ ඇති අරුත් සුන් බව වටහා ගත හැකි වන බව ඇත්තකි. නමුදු එමගින් එම ජන සමාජයන් තුළ පවත්නා මානසික ආතතිය ඉහළ නැංවීම තුළින් මතු වන සහ ප්‍රජාමය අර්බුද සහ කලහකාරී තත්වයන් යම් ආකාරයකට සමනය වන බව සමාජ විද්‍යාඥයන් බොහොමයකගේ පොදු නිගමනය වී තිබේ.
“වැසි පිරිත“ යන මූලික බුද්ධ දේශනාවක් නොවන බවත් එය ඉතා මෑතකාලීනව අප ජන සමාජයට අවශෝෂණය වූ මිථ්‍යා සංකල්පයක් මත භාවිතයට ගැනෙන්නක් බවත් පවසමින් වැසි පිරිත මුළුමනින් ප්‍රතික්ෂේප කිරීමේ පිරිසක් ද සමාජයේ සිටිති. ඔවුන් හමුවේ ඉතා පැහැදිලි ලෙසම කිව යුත්තේ වැසි පිරිත් නම් බුද්ධ දේශනාවක් ත්‍රිපිටකයේ කිසිදු තැනක දක්නට නොමැති බවකි.නමුත් වර්ෂාව ලැබීම පිළිබඳ බොහෝ තොරතුරු ත්‍රිපිටක ග්‍රන්ථ වල දක්නට ලැබේ.සංයුක්ත නිකායේ වලාහක සංයුක්තය ඒ අතරින් ප්‍රධාන ය.
වර්තමානයේ අප බුද්ධ ශාසනය යනුවෙන් හඳුන්වනු ලබනුයේ බුදුන් වහන්සේ මුල් කොට ගනිමින් අප සමාජය විසින් සිදු කරනු ලබන ඇදහීම් මත පදනම් වූ වත් පිළිවෙත් ජාලය හා සම්බන්ධ සමාජ සංස්ථා ව්‍යුහයට ය. අදටත් බොහෝ දෙනකු නොදන්නා මුත් බුද්ධ කාලයේ “බෞද්ධ”යනුවෙන් වෙනම ජන කොටසක් නොදක්නා ලදී. බුදුන් වහන්සේ ගේ අනුගාමිකයන් ලෙස උන්වහන්සේ ගේ අනුශාසනය පිළිගත් ගිහි ප්‍රජාව අභ්‍යන්තරික වශයෙන් උපාසක යන නමින් හඳුන්වන ලද අතර බාහිර සමාජය ඔවුන් හඳුන්වා ඇත්තේ “ගෝතම සාවක” යන නමිනි. එකල බුදු දහම මිස අද මෙන් සංස්ථාපිත බුද්ධාගමක් නොවූ බැවින් අනේපිඬු සිටුතුමන් වැනි මුල් පෙළේ බෞද්ධ මහෝපාසකයන් පවා ජෛන ආගමේ ශාස්තෘ විර්ධමාන මහාවීර හෙවත් නිගන්ඨ නාථ පුත්තගේ ද සමීපතමයන් ව සිටි බවට ජෛන මූලාශ්‍ර වල පැහැදිලි තොරතුරු තිබේ.
අද සමාජයේ බහුල ලෙස ව්‍යවහාර වන බුද්ධ ශාසනය යන වදනෙහි වඩාත් නිවැරදි අරුත බුදුන් ගේ අනුශාසනය යන්න ය. එබැවින් වර්තමාන බෞද්ධ ආගමික සංස්ථා ව්‍යුහය හැඳින්වීම පිණිස වඩාත් යෝග්‍ය ශාස්ත්‍රීය වදන වනුයේ බුදු සමය ( Buddhism ) යන්න බව කිව යුතු ය. නමුත් බුදු දහමේ හරය සම්බන්ධයෙන් ගැඹුරින් විමසා බැලීමේ දී එහි හුදෙක් දාර්ශනික පක්ෂයක් මිස ආගමික ලක්ෂණ දක්නට නොමැති තරම් ය. නමුදු හුදෙක් දර්ශනයකට සමාජ සංස්ථාමය පැවැත්මක් නොමැති වීම මත එය පසුකාලීනව කිසියම් ජන කොටසක් අදහන ආගමක් බවට පත් වී තිබේ. ඒ අනුව අද වන විට බුදු දහමේ දාර්ශනික පක්ෂය හා වත්මන් බුද්ධාගමේ ආගමික සංස්කෘතික පක්ෂය එකි’නෙකට වෙන් කොට දැක්වීම ශාස්ත්‍රීය වශයෙන් පවා අපහසු කරුණක්ව පවතී.
වැසි පිරිත කෙසේ වෙතත් පිරිත් යනුවෙන් ජන සම්මත ධර්ම කොටසක් සූත්‍ර පිටකයේ කිසිදු තැනකින් සොයා ගත නොහැක. පිරිත් වශයෙන් අප හඳුන්වන සූත්‍ර බොහොමයක් තුළ ඇත්තේ ද බුදු දහමේ ක්‍රියාකාරී යාන්ත්‍රණය වන චිත්ත දමනය මුල් කොට ගත් ආචාර විද්‍යාත්මක ප්‍රතිපත්ති මාලාවමය. නමුදු ඒ සූත්‍ර වලින් තෝරා ගත් යම් කොටසක් පරිත්ත හෙවත් පිරිත් ලෙසින් වෙන් කොට ගත් අතීත ශ්‍රී ලාංකේය භික්ෂු පරපුර “පරිසමන්ත තායස්සු රක්ඛතීති පරිත්තං” (හාත්පස උවදුරු දුරලන්නේ යමක් වේද? එය පිරිත් නම් වේ) යනුවෙන් දේශීය අර්ථ කථනයක් ලබා දී තිබේ. එහි දී එම පිරිත් අතරේ ප්‍රධාන කොටස් චතුර්භාණවර පාලි හෙවත් සතර බණවර ලෙස දක්වා ඇති අතර ඊට අයත් නොවන තවත් පසුකාලීන රචනයන් රැසක් ද පිරිත් වශයෙන් සම්මත කොට ඊට එක්කොට ඇත. වර්තමාන සමාජයේ පිරුවානා පොත් වහන්සේ නමින් ප්‍රකට පිරිත් සංග්‍රහයට ඒ පිරිත් ද ඇතුලත් කොට ඇති අතර වැසි පිරිත නම් වන ගාථා යුගල ද ඊට එක් කොට ඇත.
වැසි පිරිත, ජය පිරිත, ගිහි පිරිත, ජල නන්දන පිරිත,ජය මංගල ගාථා,මහා ජයමංගල ගාථා ආදී පිරිත් වශයෙන් හඳුන්වන කොටස් ශාස්ත්‍රීය වශයෙන් හැඳින්විය හැක්කේ ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය තුළ පවත්නා ජන ආගමික සම්ප්‍රදායන් ලෙසිනි. එමෙන්ම බුදුන් සමයේ ද මෙබඳු ජන ආගමික ඇදහීම් පැවැති බවත් බුදුන් වහන්සේ ඒවායේ නිසරු බව දැක දැකත් ඒවාට සෘජුව එරෙහි නොවූ බවත් සූත්‍ර පිටකයේ ඇතැම් කොටස් මගින් අපට වටහා ගත හැක.විශේෂයෙන් දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ එන වජ්ජි රජ දරුවන් ගේ පැරණි චෛත්‍යයන්ට පුද පිළිවෙත් කිරීම සම්බන්ධයෙන් බුදුන් වහන්සේ සහ ආනන්ද හිමියන් අතර පැවැති මෙම සංවාදය ඊට කදිම නිදසුනකි.වජ්ජී චෛත්‍ය වන්දනය ද වජ්ජීන් ගේ පැරණි සාම්ප්‍රදායික ඇදහීමක් බව පෙනෙයි.
කින්ති තේ ආනන්ද සුතං: වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචේතියානි අබ්භන්තරානි
චේව බාහිරානි ච, තානි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තේසඤ්ච
දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නෝ පරිහාපෙන්තීති?
කිමෙක්ද? ආනන්දයෙනි, ‘වජ්ජීන්ගේ ඇතුළු නගරයේත් නගරයෙන් පිටතත්, යම් වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, වජ්ජීහු ඒවාට සත්කාර කරති. ගෞරව කරති. බුහුමන් දක්වති.
පුද පූජා පවත්වති. ඒවාට පෙර පටන් දෙන ලද, පෙර පටන් කරන ලද, ඒ දැහැමි පුද පිදවිලි (අදත්) නොපිරිහෙලති’යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?
සුතම්මේතං භන්තේ, වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචේතියානි අබ්භන්තරානි චේව බාහිරානි ච, තානි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තේසඤ්ච දින්නපුබ්බං
කතපුබ්බං ධම්මිකං බලිං නෝ පරිහාපෙන්තීති.
ස්වාමීනී, වජ්ජීන්ගේ ඇතුළු නගරයේත්, නගරයෙන් පිටතත්, යම් ඒ වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, වජ්ජීවරු ඒවාට සත්කාර කරති. ගෞරව කරති. බුහුමන් දක්වති. පුද පූජා පවත්වති. ඒවාට පෙර පටන් දෙන ලද, පෙර පටන් කරන ලද, දැහැමි පුද පිදවිලි (අදත්) නොපිරිහෙලති’යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.
යාවකීවඤ්ච ආනන්ද වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචේතියානි අබ්භන්තරානි චේව
බාහිරානි ච, තානි සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති, තේසඤ්ච
දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නෝ පරිහාපෙස්සන්ති, වුද්ධියේව ආනන්ද වජ්ජීනං
පාටිකංඛා, නෝ පරිහානි.”
ආනන්දයෙනි, යම්තාක් කල් වජ්ජීන්ගේ ඇතුළු නගරයේත්, යම් ඒ වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, වජ්ජීවරු ඒවාට සත්කාර කරත් නම්, ගෞරව කරත් නම්, බුහුමන් දක්වත් නම්, පුද පූජා පවත්වත් නම්, ඒවාට පෙර පටන් දෙන ලද, පෙර පටන් කරන ලද දැහැමි පුද පිදවිලි (අදත්) නොපිරිහෙලත් නම්, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.
ඉහත සඳහන් ගාථා පාඨ මගින් අපට පැහැදිලි වනුයේ යම් කිසි සමාජයක සාම්ප්‍රදායිකත්වයන් සහ සංස්කෘතීන් එක්වරම උල්ලංඝනය කිරීමෙන් ඒ සමාජයට යම් අගතියක් සිදුවිය හැකි බව බුදුන් වහන්සේ ද පිළිගෙන තිබූ බවකි. එහෙත්, බෞද්ධයන් ඒවා පිළිගැනීම මිස ඒවා පරම නිෂ්ඨාව සේ සළකා ඒවායේ සරණ යාම නොකළ යුතු බවට “බහු වේ සරණං යන්තී:” යනුවෙන් සඳහන් ධම්මපදයේ බුද්ධ වග්ගයේ එන මතු දැක්වෙන ගාථා පාඨය සහ ඒ සම්බන්ධ කතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙයි. කොසොල් මහ රජතුමාගේ අනුශාසක හෙවත් පුරෝහිත අග්ගිදත්ත නම් බමුණා මහ රජුගේ අභාවයෙන් පසුව පුත්‍ර රාජකුමාරයාට ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඉතා ධාර්මික ජීවිතයක් ගත කළේය. ක්‍රමයෙන් මහලු වයසට පැමිණි විට රජතුමාගෙන් අවසර ගෙන තාපස පැවිද්දෙකුව ශීල සම්පන්න දිවි පෙවෙතක් ගත කරමින් සහපිරිවරින් ආශ්‍රමයක විසූහ. මගධ හා කූරු රට ආදියේ විශාල පිරිසක් මොහුගේ තවුස් පිළිවෙතට පැහැදී ශ්‍රාවක බවට පත්වූහ.
යමෙකුට රාගාදී කෙලෙස් හැඟීමක් පහළ වූ විට එය සිතින් බැහැර කිරීමට නියමිත ස්ථානයකට වැලි ගොටුවක් එක් කළ යුතු බවත් තමන්ට බියක්, සැකයක්, ත්‍රාසයක් ඇති වූ විට ආරාම, වෘක්ෂ, පර්වත, චෛත්‍ය සරණ යන ලෙසත් අග්ගිදත්ත තාපස තුමන් කළ පැනවීම එවක අතිශය ජනප්‍රිය විය.එය අද ද බොහෝ ජන ආගම් වල දක්නට ලැබෙන භාව විරේචන සහ ආතති මෝචන ක්‍රමෝපායක් බව නිසැක ය. එහෙත්, මෙම අග්ගිදත්ත තවුසාණන් නිවන් මඟ හෙළි කර ගැනීමට තරම් ප්‍රඥා සම්පත්තියක් ඇත්තකු බව වටහා ගත් බුදුන් වහන්සේ
ප්‍රථමයෙන් මුගලන් මහරහතන් වහන්සේ එහි යවා පසුව තමන් වහන්සේ වැඩි සේක.
බොහෝ දෙනාගේ සැලකිල්ලට මෙන්ම භීතියට පත් කර ගනිමින් එම වැලි ගොඩට අරක් ගෙන සිටි නාගරාජයා දමනය කළ මුගලන් රහතන් වහන්සේ එම වැලිගොඩ මතම වැඩ සිට එම නා රජුගෙන් ගරු බුහුමන් ලැබූහ.අනතුරුව බුදුන් වහන්සේ ඒම ස්ථානයට වැඩ කොට මතු දැක්වෙන පැහැදිලි කිරීම කළහ.
බහුං වේ සරණං යන්ති – පබ්බතානි වනානි ච
ආරාමරුක්ඛචේත්‍යානි – මනුස්සා භයතජ්ජිතා
බියෙන් තැති ගත බොහෝ මිනිස්සු පිහිටක් හොයාගෙන පර්වත සරණ යති.වනාන්තර සරණ යති. දේවාල සරණ යති.විසල් රුක් සරණ සරණ යති
නේතං ඛෝ සරණං ඛේමං – නේතං සරණමුත්තමං
නේතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති.
නමුත් ඒවායින් සැනසුමක් අත් නොවේ.එය උතුම් සරණ යාමක් ද නොවේ.ඔවැනි සරණ යාම් වලින් දුක් කෙළවර කළ නොහැක.
යෝ ච බුද්ධඤ්ච ධම්මඤ්ච – සංඝංච සරණං ගතෝ
චත්තාරී අරියසච්චානි – සම්මප්පඤ්ඤාය පස්සති
යම් කෙනෙක් අවබෝධයෙන් යුක්තව බුදු දහම් සඟුන් සරණ යන්නේ නම් ඔහුට ප්‍රඥාව දියුණු කරගෙන, චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත හැක.
දුක්ඛං දුක්ඛසමුප්පාදං – දුක්ඛස්ස ච අතික්කමං
අරිඤ්චට්ඨංගික මග්ගං – දුක්ඛූපසමගාමිනං
දුක යනු(තථාගතයන් විසින් ලොවට පහදා දුන්) ආර්ය සත්‍යයකි. දුක හට ගැනීමත්( එවැනි ) ආර්ය සත්‍යයකි. දුක ඉක්මවා ගොස් නිවන අවබෝධ කර ගැනීමත් (එවැනිම ) ආර්ය සත්‍යයකි( ඒ අනුව ). දුක් සංසිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ආර්ය සත්‍යයක්( මය )
ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණ මුත්තමං
ඒතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති.
තිසරණ සරණ එකම ආරක්ෂාව හා උතුම්ම සරණ වන අතර නිර්මාණාවබෝධයට පවා එය ඉවහල් වෙයි.
ඉහත සඳහන් කරුණු විශ්ලේෂණය කිරීමෙන් ඉතා පැහැදිලිව කිව යුත්තේ මෙහි මාතෘකාව පාදක වන වැසි පිරිත වැනි ජන සංස්කෘතිකාංග කෙරෙහි දැඩි ප්‍රතිරෝධයක් එල්ල නොකොට ඒවා සම්බන්ධ යම් සහනශීලීත්වයක් පළ කිරීම තුළින් ඔවුන් සම්‍යද්‍රෂ්ඨියට යොමු කර ගැනීම යෝග්‍ය බව ය. තත්වය මෙසේ තිබිය දී ආශිර්වාද පූජා, අධිෂ්ඨාන පූජා ආදී මූලික බුදු සමය හා කිසිඳු සබැඳියාවක් නොමැති ලෞකිකත්වය තෘෂ්ණාව ප්‍රවර්ධනය කෙරෙන නවීන ශාන්ති කර්ම විශේෂයක් කෙරෙහි මේ වන විට අප රටේ මධ්‍යම පාන්තික සමාජය ලොබ බැඳ තිබේ. එමෙන්ම පැරණි දාගැබ් වලට ආහාර පාන පළතුරු ඔසු ශාක ටොන් ගණන් පූජා කිරීමේ නරුම සම්ප්‍රදායන් ද මේ වන විට ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වෙමින් පවතී. හුදෙක් ලෝබ, දෝෂ, මෝහ යන අකුසල් වලින් අත්මිදීම කුසල යනුවෙන් අර්ථ කථනය කොට ඇති බුදු දහමට අනුව තෘෂ්ණාව මුල් කොට ගත් ලෞකිකත්වය තහවුරු කර ගැනීම පිණිස සිදු කෙරෙන මෙම යාතු කර්ම අකුසල් වඩවන ක්‍රියාදාමයන් සේ හඳුන්වා දීමට මෙරට භික්ෂු ප්‍රජාව අසමත් වීම බරපතල ශාසනික ඛේදවාචකයකි.
මේ අතර පැරණි දාගැබ් වටා රෙදි පිළි එතීමේ නරුම චාරිත්‍රයක් ද මේ වන විට රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර එය හදුන්වනු ලබනුයේ “කප් රුක් පූජා” යනුවෙනි. නමුදු එම පූජාව තුළ කප් රුකක සංකේතයක් වත් දක්නා නොලැබේ. ඊට හේතු වශයෙන් ඒවා සංවිධානය කරන භික්ෂුන් පවසනුයේ අපූරු කතාවකි.එනම් ඒ කප් රුක් පූජාවේ යෙදෙන්නවුන්ට කල්ප වෘක්ෂයක් පහළ වූවක් මෙන් සියලු සැප සම්පත් පහළ වන නිසා ඊට ඒ නම යෙදෙන බවකි.බටහිර පිරුළකට අනුව මෙය සමාන කළ හැක්කේ බූරුවකු ගේ නළලට ඉදිරියෙන් එල්ලූ කැරට් අලයකට ය. සොර මැරකම් වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ විවෘත සමාජ කතිකාවක් පවතී. එහෙත් එහි යම් අඩුවක් පවතින බව ද කිව යුතු ය. එනම් ඒ සම්බන්ධයෙන් ගිහි සමාජය වෙත යොමු කරන විමසුම් ගෙන වත්මන් භික්ෂු ප්‍රජාව වෙත යොමු නොකිරීම ය.යමකු විධිමත් අයුරින් ඒ කාරියට මුල් පුරන්නේ නම් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නොකිය වූ අඳුරු පරිච්ඡේද රැසක් වත්මන් සමාජය හමුවේ විවර කර දීමට ඔවුනට හැකි වනු නියත ය.
කදුරුපොකුණේ සුමංගල හිමි