සති,මාස ගණනාවක පටන් අපේ රටේ බොහෝ ප්‍රදේශ වලට දිගින් දිගටම වැසි වසිමින් පවතී. මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා ම විවිධාකාර වූ ස්වභාවික ආපදා ඇතිවෙයි.වර්ෂාව නිසා ඇතිවන ගංවතුර, නායයාම්, සුළි කුණාටු වැනි දෑ නිසා දේපළ හානි, අකුණු අනතුරු, අනාරක්ෂිත වතුර වළවල් නිසා ඇති වන විපත්, සැඩ පහරට ගසා ගෙන යෑම් මේ සියල්ල නිසා සිදුවිය හැකි ජීවිත හානි යන මේවා, මෙවැනි කාලගුණික තත්ත්වයන්වලදී අප නිතර අසන දකින ඒවා ය.
නමුත් අප මේ කතා කරන්නේ එවැනි අනතුරක් ගැන නොවේ. නමුත් බොහෝ විට සිදු වන, අප වැඩි තැකීමක් නොකරන ඇතැම් විට මාරාන්තික ප්‍රතිඵල පවා අත් විය හැකි ස්වභාවික අනතුරක් පිළිබඳව ය. එනම් ලිස්සා වැටීම ය. මෙවැනි ලිස්සා වැටීම් නිසා සිදුවන අනතුරු වැසි සහිත කාලගුණ වලදී ඕනෑ තරම් දැකගත හැකි ය. නමුත් මේ ගැන අප සැලකිලිමත් වන්නේ නැති තරම් ය.
දිගින් දිගටම නොකඩවා වසින විට, හිරු එළිය ප්‍රමාණවත් තරමට මහ පොළොවට නොලැබෙන නිසා පොළොවේ ඇතැම් ස්ථානවල ඇල්ගී, පුස් ආදිය හටගැනීම ස්වභාවයකි. දියසෙවල ලෙස අප දකින්නේ මෙසේ වර්ධනය වූ පුස් ය. නමුත් එලෙස වර්ධනය වීමට පෙර මේවා මහ පොළොවේ තට්ටුවක් මෙන් බැඳී තිබෙන්නේ අපගේ සාමාන්‍ය ඇසට නො පෙනෙන පරිද්දෙනි. හිරු එළිය නිසි ලෙස ලැබෙන විට මෙම පුස් බැඳීමේ ක්‍රියාවලිය නතර වෙයි.
මේවා මත නොදැනුවත්වම ලිස්සා වැටීමෙන් සුළු අනතුරු මෙන්ම බරපතළ අනතුරු වුව ද හට ගත හැකිය. දණහිස වැලමිට ආදිය තුවාල වීම, කොන්ද රිදීම වැනි සුළු අනතුරු බොහොමයකදී ප්‍රතිකාර සඳහා යොමු වීමක් සිදු නොවේ. නමුත් උකුල් ඇටය බිඳීමක්, කශේරුකාවට හානි වීමක් ශරීරයේ කුමන ස්ථානයක හෝ ඇටකටු බිඳීයාමක්, හිස කුමක් හෝ රළු ස්ථානයක වැදී තුවාල වීම හෝ දැඩි වේදනාවක් ඇතිවීම වැනි තත්ත්වයක් හට ගත්තොත් රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම සාමාන්‍යයෙන් දැකිය හැකි තත්ත්වයකි.
ඇතැම් විට මෙවැනි අනතුරු නිසා රෝහල් ගත වීමටත් පෙර ක්ෂණික මරණයක් වුව ද ඇති විය හැකිය. එසේම රෝහල් ගතවී දිනක්, දින කීපයක් වැනි කාල සීමාවක් තුළ දී රෝගියා මරණයට පත්වන අවස්ථා ද තිබේ.මෙම අනතුරු තම නිවසේ දී සේම ඉන් බැහැරවද සිදු වෙයි.
ස්වභාවික ආපදා ලෝකයේ ඕනෑම තැනක, ඕනෑම මොහොතක සිදුවිය හැකි ය .
එවැනි ආපදා බහුල ප්‍රදේශවල වෙසෙන ජනතාව නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටින අතර ස්වභාවික ආරක්ෂණ ක්රමෝපායන් ඊට සරිලන ආකාරයෙන් ඔවුහු සකස් කරගෙන සිටිති. ලොව වැඩිම වර්ෂාපතනයක් සිදුවන නැගෙනහිර ඉන්දියාවේ මෙඝාලයා දිස්ත්‍රික්කයේ චෙරාපුංජි ප්‍රදේශයේ ජීවත් වන ජනතාව මීට පහසුම උදාහරණයකි. එසේම අපේ රටට ආසන්න බංග්ලාදේශය ද ස්වභාවික ආපදාවන්වලට නිරන්තරයෙන් මුහුණ දෙන රටකි.
එනිසා ඒවායේ ජනතාව එවැනි දේවල් වලට මුහුණ දීමත් , එයින් ජීවිත ආරක්ෂාව සලසා ගන්නා ආකාරයත් පිළිබඳව ඉබේම වාගේ දැනුවත් ය. නමුත් අපේ රටේ ජනතාවට මෙවැනි දේ සම්බන්ධ දැනීම මඳ ය.ඒ නිසා වැඩිපුර ස්වාභාවික විපත් සිදුවන එම රටවල සහ ප්‍රදේශවල ජනතාව ඊට සාපේක්ෂව මුහුණ දෙන අනතුරු ප්‍රමාණය අඩු ය.
නමුදු අප නිතර ස්වාභාවික විපත් සිදු නොවන අප රටේ ඒවාට ලක් වන පිරිස් එම විපත් වලට සාපේක්ෂව වැඩි අගයක් ගනී.කලින් කලට රට තුළ දේශගුණික විපර්යාස නිසා සිදුවන විපත්වලදී ඊට මුහුණ දී ඉන් ආරක්ෂා විය හැකි ක්රමෝපායන් සම්බන්ධ පූර්ව සැලසුම් යොදා ගැනීමක්ද සිදු නොවීම ඊට හේතුවය.
වැසි සහිත කාලවලදී ඇවිද යන විට උස් අඩි පාවහන් පැළඳීම අනතුරුදායක ය. එසේම ලෙදර් අඩිය සහිත පාවහන්, පතුල සුමට පාවහන් පැළඳ යාමේදී ද අනතුරු සිදුවීමේ හැකියාව වැඩි ය. කෙසෙල් ගෙඩියක් කෑමෙන් පසු එහි ලෙල්ල තැන තැන නොදමන්නේ එය පතුලේ වැදුණොත් අපව ලිස්සා වැටීමට හැකියාවක් ඇති බව කුඩා කල සිටම ඉගෙන ගෙන තිබෙන නිසා ය.
එලෙසින් වැසි කාලවලදී ඔබේ ගෙවත්තේ මෙන්ම මහපාරේ ද ඇවිද යන විට මහපොළොව ගැන සේම ඔබේ පාවහන් ගැනද සැලකිලිමත් විය යුතු ය. තදින් දියසෙවෙල බැඳී ඇති තැන් අපට හොඳින් පෙනෙන නිසා මඟ හැරීම අපහසු නැත.
නමුත් යන්තම් දියසෙවෙල බැඳී ඇති සේම වර්ණයක් නොදක්වන පුස්, ඇල්ගී වර්ග පොළොවේ මෙන්ම කොන්ක්‍රීට් වැනි රළු මතුපිටවල් වලද බැඳී පවතින්නේ පියවි ඇසට හඳුනාගත නොහැකි ආකාරයෙනි.
එබැවින් වැසි සහිත කාලගුණ තත්ත්වයන් වලදී ඔබ නොසිතන තැනක ලිස්සා වැටී කිනම් හෝ අනතුරක් සිදුවීමට අවකාශයක් ඇති බව මතකයේ තබාගෙන ඊට සරිලන අයුරින් කටයුතු කිරීම ඔබේ ආරක්ෂාව පිණිස වෙයි.
පේරාදෙණිය ,ශික්ෂණ රෝහලේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුගත් විජේවර්ධන
ඉන්දු පෙරේරා