විදුලිබල මණ්ඩලය ජනතාවට බොන්න තියන වතුරිනුත් ජල විදුලිය නිපදවලාද?

විදුලි අර්බුදය මේ වන විට ආණ්ඩුව විසින් ජලයේ යට ඔබාගෙන සිටින බෝලයකට සමාන ය. එය අත හැරි සැනින් ජලයෙන් ඉහළට ඉලිප්පී පෙනෙන්නට සුදානමින් තිබේ. මේ අර්බුද සියල්ල හමුවේ විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ප්‍රදිනාන්දු ද පෙබරවාරි 01 දා සිට බලපැවැත්වෙන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ. ඔහු ඉල්ලා අස්වීමට පෙර විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සමග ගැටුමක් ඇතිකර ගත්තේය. ඒ සාමාන්‍යාධිකාරිවරයා පත්කිරීම සම්බන්ධයෙනි.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිව සිටි. ආර්.එම් රණතුංග ඉකුත් 12 දා සිට විශ්‍රම ගියේ අවුරුදු 60 සම්පූර්ණවීම නිසාවෙනි. ඊට පෙර ඔහු අධිකරණය හමුවට ගියේ විදුලිබල අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයක් හේතුවෙනි. එම චක්‍රලේඛය අනුව විදුලි ඉංජිනේරුවෙකුගේ සේවය අවුරුදු 62 දක්වා දීර්ඝ කර තිබේ.

එහෙත්, විදුලි බල පනත අනුව සාමාන්‍යාධිකාරිවරයා අවුරුදු 60 න් විශ්‍රාම යා යුතු ය. විදුලි ඉංජිනේරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 ක් කළ ද සාමාන්‍යාධිකාරිවරයාගේ විශ්‍රාම වයස අවරුදු 62 ක් නොකිරීම නිසා රණතුංග මහතාට අවුරුදු 60 න් විශ්‍රාම ගැනීමට සිදුවිය. එම නිසා ඔහු අධිකරණය ඉදිරියට ගියේ තමන්ට අසාධාරණයක් වී ඇති බව දැනුම් දෙමිනි. තමන්ට ද වයස අවුරුදු 62 දක්වා සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.

තවම නඩුව විභාග වන බැවින් ස්ථිර සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. විදුලි ඉංජිනේරුවන් සභාපතිවරයා සමඟ ගැටුම ඇති කරගන්නේ ඒත් සමගය. ඔවුන් වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයා ලෙස ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටින ආචාර්ය රොහාන්ත අබේගුණරත්න පත්කරන ලෙස ඉල්ලා සිටිය ද සභාපතිවරයා පත් කරන්නේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුසන්ත පෙරේරාව ය.

එම ගැටුම කෙලවර වන්නේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ ය. පෙබරවාරි මාසයේ සිට විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙකු පත්වීමට නියමිත ය. එය කෙසේ වෙතත් නව සාමාන්‍යාධිකාරිවරයාට හෝ නව සභාපතිවරයාට පවතින අර්බුදය විසඳුය හැකි බවට සහතියක් දිය නොහැකිය. ඒ මන්ද රටේ විදුලිය ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ලබාදිය නොහැකි බැවිනි.

රටේ මේ වන විට විදුලිය අවශ්‍යතාවය මෙගවොට් 2200 කි. පවතින අවශ්‍යතාවය සරිලන ලෙස විදුලිය සැපයුමට අවශ්‍ය විදුලි උත්පාදනයක් රට තුළ සිදුවන්නේ නැත. ඊට හේතු වූ කාරණා කිහිපයක් ඇත. ඉන් ප්‍රධානතම කාරණය වන්නේ විදුලිබලාගාර ජනනය කිරීමට අවශ්‍ය ගල් අගුරු සහ ඉන්ධන ගෙන්වීමට ඩොලර් නොමැතිවීම ය.

අනෙක ඩොලර් සහ ඉන්ධන තිබුණ ද රටේ අවශ්‍යතාවයට සරිලන ලෙස විදුලිය උත්පාදනය කිරීමට බලාගාර ඉදිකර නොමැතිවීම ය. 2014 න් පසු රට තුළ නව බලාගාරයක් ඉදිවී නොමැත. නොයෙක් හේතූන් මත විදුලි බලාගාර ඉදිවීම ප්‍රමාද වීමය. විදුලි ඉංජිනේරුවන් සඳහන් කරනුයේ වෙනත් රජයන්ට සාපේක්ෂව වත්මන් ජනාධිපතිවරයාගේ විදුලි ප්‍රතිපත්තිය මාරුවීම මාස කිහිපයෙන් කිහිපයට සිදුවන බවකි.

පළමුව රජයේ විදුලි ප්‍රතිපත්තිය ලෙස 70% ක් පුනර්ජනනීය බලාගාර ඉදිවිය යුතු බවට තීන්දුවක් ගෙන තිබුණේ 2019 ජනාධිපතිවරයා පත්වූ මුල් අවදියේය. ඉන් මාස කිහිපයකට පසු ඒය 60% දක්වා අඩු කරනු ලැබූ බව විදුලි ඉංජිනේරුවෝ පවසති. ඉන් පසුව “ක්ලීන් එනජි” එනම් සුපිරිසිදු බලශක්තිය 70% ක් කරන බවට තීන්දු කෙරිණි. නැවත යළිත් 70% ක පුනර්ජනනීය බලශක්තිය බව ප්‍රකාශ කෙරිණි.

මෙලෙස ප්‍රතිපත්තීන් වරින් වර වෙනස්වීම නිසා විදුලි ජනන සැලසුම නිශ්චිත ලෙස සකස් කර ගැනීමට බලාගාර ඉදිවුණේ නැත. බලාගාර ඉදිනොවුණා පමණක් නොව ඊට අදාළව සැලසුමක් හෝ මණ්ඩලයට සකස් කිරීමට නොහැකි විය. අවුල දිග් ගැසී ඇත්තේ විදුලි බල “මණ්ඩලේ කචල්” පැන නැඟී ඇත්තේ මේ සියළු කාරණා පදනම් කර ගනිමිනි.ඒ අනුව ඊට පැහැදිලි පසුබිමක් ඇති බව ද පෙනෙයි.

විදුලිය කප්පාදුවකට යා යුතු බවට විදුලිබල මණ්ඩලය රජයට දැනුම් දුන්නේ බලාගාර නොමැතිවීම හා ඉන්ධන නොමැතිවීම මුල් කර ගනිමිනි,. නමුත් ආණ්ඩුව ඒ වෙනුවෙන් සැලසුමක් සකස් නොකොට විදුලිය කප්පාදු නොකරන ලෙස පමණක් මණ්ඩලයට දැනුම් දුන්නේය. මේ නිසා විදුලිබල මණ්ඩලය රටේ අවශ්‍යතාවයෙන් මෙගාවොට් 1200 ක් ජල විදුලිබලාගාරවලින් නිෂ්පාදනය කිරීමට කටයුතු කළේය.

එම නිසා බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැස්සේය.

ජනවාරි මස මුල් සතිය වන විට 96% ක්ව පැවැති ජල මට්ටම දින 20 ක පමණ කාලයක දී 60% ට අඩුවිය. කෙසේ නමුත් බලාගාරවලට විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලබා දෙන ජල ප්‍රමාණයක් තිබේ. එම ජල ප්‍රමාණයට වඩා ලබා නොදෙන්නේ කෘෂිකාර්මික කටයුතුවලට මෙන්ම පානීය ජල අවශ්‍යතාවන් වෙනුවෙන් ද ජලය තබා ගත යුතු බැවිනි.

වර්ෂාව අඩුවූ පසු සාමාන්‍යයෙන් ජල විදුලිය නිෂ්පාදනය 50% දක්වා අඩු කිරීම මණ්ඩලය මෙතෙක් කාලයක් රැක ගෙන ආ ප්‍රතිපත්තියය. ඒම ප්‍රතිපත්තිය මෙවර වෙනස් කිරීම නිසා ජලාශවල ජල මට්ටම පහළ ගොස් තිබේ.

වෙනදාට මාර්තු මාසය වන විට ජලාශවල දක්නට ලැබෙන පහළ ජල මට්ටම මේ වන විටම දකින්නට ලැබෙන බව වාරි ඉංජිනේරුවරු පවසති.ඒ අනුව මෙවර විදුලි බල මණ්ඩලය ජනතාවට බොන්න තිබේන ජලයෙනුත්විදුලිය නිපදවා තිබේ.

මේ අතර මාර්තු මාසය වන විට යම් වර්ෂාපතනයක් නොලද හොත් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් හා පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් ලබා ගැනීමට පවා ජලය නොමැති වනු ඇතැයි වාරි ඉංජිනේරුවරු සඳහන් කරති.

පවතින තත්ත්වය මේ ආකාරයටම පවත්වාගෙන යාම තුළ මාර්තු අප්‍රේල් වන විට පැය 4 ට වැඩි කාලයක් විදුලිය කපා දැමීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරුවෝ පවසති.

රටක් සංවර්ධනය කිරීම පසෙක තිබිය දී නිවැරදි ආකාරයට නිවැරදි දේශපාලනික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක නොවීම රටක බිඳ වැටීමට හේතු වන බවට මෙය කදිම නිදසුනකි.

එහෙත්,මෙවැනි දේශපාලනික තීන්දු තීරණ වල්මත් බවකින් යුතුව තිබිය දී රාජ්‍ය නායකයන් ජනතා සිත් සතන් පුබුදුවනු පිණිස පන්සල් පල්ලි කෝවිල් ගාණේ යමින් එම ජවනිකා මාධ්‍ය මඟින් ප්‍රචාරය කරවා ගැනීම පමණක් කෙසේ වත් ප්‍රමාණවත් නොවේමය.

ලසන්න වීරකුලසූරිය

එතෙර - මෙතෙර