විරුද්ධ පක්‍ෂ බංග්ලාදේශ මැතිවරණය වර්ජනය කළේ ඇයි? ක්‍රිකට් නායක ෂකීබ් අල් හසනුත් පාර්ලිමේන්තුවට

බෙහෙවින් මතභේදයට ලක් වූ මහා මැතිවරණයකින් පසු ෂෙයික් හසීනා නැවතත් බංග්ලාදේශයේ අගමැති ධුරයට පත් වී තිබේ. ඇය මේ ආකාරයෙන් එරට අගමැති ධුරයට පත් වූයේ පස්වැනි වතාවට වීම විශේෂත්වයකි. හසීනා පළමු වරට අගමැති පුටුවේ වාඩි වූයේ 1996 මැතිවරණයෙන් පසුව යි. එයින් පසු 2008, 2014, 2018 වසරවල පැවැති මැතිවරණවලින් ද ජයගත්තේ ඇයගේ අවාමි ලීග් පක්‍ෂය යි.

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 300 ක් සඳහා ඡන්ද විමසීම් පැවැත්විණි. එයින් ආසන 223 ක් අවාමි ලීගය දිනාගෙන තිබේ. නමුත් මෙම ජයග්‍රහණයට කළු පැල්ලමක් ද එක් වී ඇති බව මෙහි දී අමතක කළ හැකි නොවේ. මන්ද යත් බංග්ලාදේශයේ විරුද්ධ පක්‍ෂ මෙවර මැතිවරණය වර්ජනය කළ බැවිනි. එරට ප්‍රධානම විරුද්ධ පක්‍ෂයක් වන, ඛලිඩා ෂියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂය ද මැතිවරණය වර්ජනය කළ පක්‍ෂ අතර සිටියි. මෙම තත්ත්වය තුළ මෙවර මැතිවරණය අවාමි ලීගය පමණක් තරග කළ මැතිවරණයක් විය. තවත් ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ද තරග කළත් ඒවා ද අවාමි ලීගයටම සම්බන්ධ ඒවා ය.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක සුප්‍රකට ක්‍රීඩක ෂකිබ් අල් හසන් ද මෙවර අවාමි ලීගයෙන් මැතිවරණයට තරග කළ අපේක්‍ෂකයන් අතර විය. ඔහු ඉදිරිපත්ව තිබුණේ මගුරා නැමැති ඡන්ද කොට්ඨාශයකිනි. ඔහුට ඡන්ද 185,388 ක් ලැබී තිබිණි. ඔහුගේ ආසන්නම ප්‍රතිවාදියා වූ කාසි රිසාවුල් හොසේන් නැමැති අපේක්‍ෂකයාට ලැබී තිබුණේ ඡන්ද 45,993 ක් පමණි.

විරුද්ධ පක්‍ෂ ඉදිරිපත් නොවීම තුළ මැතිවරණයේ ප්‍රතිඵලය කලින්ම තීරණය වී තිබූ නිසා ඡන්දය භාවිත කිරීම සඳහා ජනතාව තුළ වැඩි උනන්දුවක් තිබුණේත් නැත. එරට මැතිවරණ කොමිසම පවසන ආකාරයට ඡන්දය පාවිච්චි කළ ප්‍රතිශතය සියයට 40 ක් පමණි. නමුත් මෙය පවා ව්‍යාජ ඉලක්කමක් විය හැකි බව විරුද්ධ පක්‍ෂවල අදහස යි. ඡන්ද විමසීම අවසන් වීමට පැයක් පමණ තිබිය දී මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබුණේ එම ප්‍රතිශතය සියයට 28 ක් බවයි.

විරුද්ධ පක්‍ෂ මැතිවරණය වර්ජනය කළේ ඔවුන් කළ ඉල්ලීමක් ආණ්ඩුව ප්‍රතික්‍ෂේප කිරීම නිසා ය. ඔවුන් පසුගිය වසරේ ඉල්ලා සිටියේ ෂෙයික් හසීනාගේ ආණ්ඩුව විසුරුවා හැර ස්වාධීන භාරකාර ආණ්ඩුවක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු බවයි. නමුත් ආණ්ඩුව එම ඉල්ලීමට කන් දුන්නේ නැත. ඒ අතර සාධාරණ සහ නිදහස් මැතිවරණයක් ඉල්ලා අරගල කළ සිය ප්‍රතිවාදීන් මත දැඩි මර්ධනයක් මුදා හැරීමට ද හසීනාගේ ආණ්ඩුව කටයුතු කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති විරෝධතා රැළියක් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගනිද්දී 10,000 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබිණි මෙම සිදුවීම අතර 16 දෙනෙකු- මරණයට පත් විය. 5,500 කට කිට්ටු සංඛ්‍යාවක් තුවාල ලැබූහ. හසීනාගේ ආණ්ඩුව සිය ප්‍රතිවාදීන්ගෙන් සිර ගෙවල් පුරවමින් සිටින බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය එම අවස්ථාවේ චෝදනා කළේය. බංග්ලාදේශයේ ඇතැම් පාර්ශ්ව හසීනා හඳුන්වන්නේ ඒකාධිපති නායිකාවක ලෙසිනි.

හසීනාගේ ප්‍රධානම දේශපාලන විරුද්ධවාදිනිය වන ඛලිඩා ෂියා ද මේ වනවිට සිටින්නේ නිවාස අඩස්සියේ යි. 2018 වසරේ වංචා දූෂණ චෝදනා කිහිපයක් යටතේ ඇයට වසර 17 ක සිර දඬුවමක් නියම කරන ලදී. නමුත් මෙම තීන්දුව සම්බන්ධයෙන් විවිධ මතභේද පැවතිණි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වරක් සඳහන් කළේ මෙම තීන්දුව සාධාරණීකරණය කිරීමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි නොවූ බව යි. මේ නිසා මෙය ඛලීඩා ෂියා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා කළ දෙයක් බව පෙනී යන්නේ යයි ද එම දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන් විය. ඛලීඩා ෂියා මේ වනවිට සිටින්නේ අසනීප තත්ත්වයෙනි. මේ නිසා ඇය බන්ධනාගාරයෙන් ඉවත් කර නිවාස අඩස්සියට පත් කරනු ලැබිණි.

ෂෙයික් හසීනාගේ පාලනයට මේ වනවිට ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් දැඩි පීඩනයක් එල්ල වෙයි. ඒ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීමට සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ය. නමුත් ඉන්දියාවෙන් හසීනාට විශාල සහයෝගයක් ලැබේ.

ෂෙයික් හසීනා බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහ්මන්ගේ දියණියකි. ඇයගේ පාලනය යටතේ බංග්ලාදේශය ආර්ථික වශයෙන් විශාල ප්‍රගතියක් ලැබූ බව ද අමතක කළ හැකි නොවේ. බංග්ලාදේශය මෙම කලාපය තුළ වේගවත්ම ආර්ථික වර්ධනයක් පෙන්වන රටක් වන අතර ඒ අතින් පසුගිය කාලයේ ඔවුන් ඉන්දියාව පවා පසු කර ගොස් තිබිණි. පසුගිය දශකය තුළ එරට ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වී තිබිණි. ගෙවී ගිය වසර 20 තුළ බංග්ලාදේශයේ මිලියන 25 කට ආසන්න ජනතාවක් දිළිඳුභාවයෙන් මිදී ඇති බව ලෝක බැංකුව පවසයි.

මෙවර හසීනාගේ ධුර කාලය අවසන් වනවිට ඇයගේ වයස අවුරුදු 81 ක් වනු ඇත. මෙම පසුබිම තුළ අවාමි ලීගයේ නායකත්වය සම්බන්ධයෙන් මෙන්ම රටේ නායකත්වය සම්බන්ධයෙන් ද ඇයගෙන් පසු යම් හිදැසක් නිර්මාණය වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර