විරෝධතාකරුවෝ සිය ගණනක් ඉරාක පාර්ලිමේන්තුවට කඩා වදිති

iraka

ඉරාකයේත් විරෝධතාකරුවන් පිරිසක් ඔන්න පාර්ලිමේන්තුවට කඩා වැදිලා. ඔවුන් මේ ආකාරයෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එය අත්පත් කරගෙන තිබුණේ එරට අගමැති ධුරය සඳහා යෝජනා කර ඇති පුද්ගලයකු සම්බන්ධයෙන් විරෝධය දැක්වීමටයි. ඔහු දූෂිත දේශපාලනඥයකු හැටියටත් විරෝධතාකරුවන් චෝදනා එල්ල කර තිබුණා. මෙම සිදුවීම් දාමය සහ ලංකාවේ සිදු වූ සිදුවීම් අතර තරමක සමානකමකුත් තියෙනවා.

ඉරාකයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ එරට අගනුවර වන බැග්ඩෑඩ් නගරයේ යි. එහි හරිත කලාපය (Green Zone) යනුවෙන් හැඳින්වෙන විශේෂ ආරක්‍ෂිත කලාපයකයි එය පිහිටා ඇත්තේ. විදෙස් තානාපති කාර්යාල ඇතුළු වැදගත් රජයේ ආයතන රැසක් මෙම කලාපය තුළ පිහිටා තිබෙන නිසා මෙහි දැඩි ආරක්‍ෂක විධිවිධාන ක්‍රියාත්මකයි. නමුත් විරෝධතාකරුවන්ගේ ආක්‍රමණය වැලැක්වීමට එම මුරකාවල්වලට හැකිව තිබුණේ නැහැ. විරෝධතාකරුවන් වැලැක්වීමට ආරක්‍ෂක අංශ ලොකු උත්සාහයක් නොගත් බවටත් කතාවක් තියෙනවා. නමුත් මුලදී ඔවුන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ආදිය එල්ල කර තිබූ බවත් සඳහන්.

සිය ගණනින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට ඇතුල් වූ විරෝධතාකරුවන් ජාතික කොඩි වනමින්, ගීත ගයමින්, නටමින්, ඡායාරූප ගනිමින් එහි රැඳී සිටින අන්දම දැක්වෙන ඡායාරූප සහ විඩියෝ සමාජ මාධ්‍ය තුළ ද විශාල ආකර්ශණයක් දිනාගෙන තිබුණා. ඇතැමුන් ජයග්‍රාහී අන්දමින් මන්ත්‍රීවරුන්ගේ ආසනවල වාඩි වී ගත් සෙල්ෆි ඡායාරූප ද ඒ අතර දැකිය හැකි වුණා.

මෙම විරෝධතාකරුවන් ඉරාකයේ ඉතා ජනප්‍රිය දේශපාලන සහ ආගමික නායකයකු වන මුක්තාදා අල්-සද්ර් ගේ ආධාරකරුවන් බවයි සඳහන් වන්නේ. පසුගිය ඔක්තෝබර් මාසයේ එරට පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබුණේ ඔහුගේ පක්‍ෂය ඇතුළු කණ්ඩායමක්. නමුත් තනිව ආණඩුවක් පිහිටුවීමට තරම් ආසන සංඛ්‍යාවක් ඔවුන්ට හිමිව තිබුණේ නැහැ. මේ නිසා ඒ සඳහා ඔවුන්ට වෙනත් පක්‍ෂවල සහය ලබා ගැනීමට සිදුව තිබුණා. නමුත් එරට දේශපාලන පක්‍ෂ අතර පවතින විවිධ ගැටුම් නිසා මාස නවයක් ගත වනතුරුත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ලැබුණේ නැහැ. මෙම තත්ත්වය තුළ අල්-සද්ර් දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් වීමට කටයුතු කළා. එමෙන්ම ඔහුගේ කණ්ඩායමට අයත් මන්ත්‍රීවරුන්ටද සිය ධුරවලින් ඉවත්වන ලෙස දැනුම් දුන්නා. ඔහු මෙවැනි පියවරක් ගත්තේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සිය විරුද්ධවාදී පක්‍ෂවලට ඉඩ ලබා දීමට බවයි පැවසුණේ. මෙයින් පසු පාර්ලිමේන්තුවේ බහුතරය හිමි වූයේ Coordination Framework නැමැති කණ්ඩායමකට යි. මෙම කණ්ඩායම පසුගිය දා අගමැති ධුරය සඳහා මොහමඩ් අල්-සුදානි ගේ නම යෝජනා කර තිබුණා. ඔහු කලින් ඇමැතිවරයකු හැටියටත් පළාත් ආණ්ඩුකාරවරයකු හැටියටත් කටයුතු කර ඇති අයෙක්.

අල්-සුදානි සහ අල්-සද්ර් අතර යම් යම් විරසකයන් පවතින බවයි සඳහන් වන්නේ. එමෙන්ම ඔහු දූෂිත දේශපාලනඥයකු බවටත් අල්-සද්ර්ගේ පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙනවා. එම පාර්ශ්වයේ විරෝධතාකරුවන් පසුගිය දා පාර්ලිමේන්තුවට කඩා වැදී එය අත්පත් කරගත්තේ අල්-සුදානි අගමැති ධුරයට පත් කිරීමට යාම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට යි.

පැය දෙකකට ආසන්න කාලයක් ඔවුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ රැඳී සිට තිබුණා. වත්මන් අගමැති මුස්තාෆා අල්-කදේමි ඔවුන්ට වහා ඉවත්වන ලෙස දැනුම් දුන්නත් විරෝධතාකරුවන් ඊට අවනත වූයේ නැහැ. අවසානයේ විරෝධතාකරුවන් විසිර ගොස් තිබුණේ ඔවුන්ගේ නායකයා වන අල්-සද්ර් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමෙන් පසුව යි. ‘ඔබලාගේ පණිවුඩය ඔවුන්ට ඇසුණා. ඔබලා දූෂිතයන්ව භීතියට පත් කළා’ යනුවෙන් සඳහන් කරමින් ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා. අනතුරුව අල්- සද්ර් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා තිබුණේ ආරක්‍ෂිතව තම නිවෙස් කරා යන ලෙසයි. ඔහුගේ මෙම ඉල්ලීමට කන් දෙමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අතහැර ඉන් ඉවත්ව ගොස් තිබුණා.

 

නිහාල් පීරිස්

අරුමැසි පුවත්