විවාහ වෙන්න කලින් දෙන්නෙක් එකට ජීවත් වෙන Living together ක්‍රමයට මම එකඟයි

ශෙහානි කහඳවල පුංචි තිරයේ අප නිතර නිතර දකින නිළියක් නොවෙයි. එසේ වුව ද රඟපෑ අතලොස්සක් චරිත තුළින් “ශෙහානි කහඳවල ” නමැති රංගන ශිල්පිනිය අපේ සිත් තුළ ජීවමාන කරවන්නට ඇයට වාසනාව ලැබුණා. මේ දිනවල “පාර වසා ඇත” ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවට එන ශෙහානි කහඳවල සොයා අප ගියේ ඇගේ අලුත්ම තොරතුරු දැන ගන්නටයි.

* ශෙහානිව බොහෝ රසික පිරිසක් හඳුනා ගත්තේ ගීතවල රූප රචනා තුළින් කියලා මම කිව්වොත් හරි නේද ?

ඇත්තටම ඔව්. ශශිකා නිසංසලාගේ ” මම ඇස්පිය නොහෙලා බැලුවා” ගීතයේ රූප රචනාවට පෙනී සිටීම තුළ මට විශාල ජනප්‍රියත්වයක්, රසික ආකර්ශනයක් හිමි වුණා .

* ඔයා මේ ක්ෂේත්‍රයට ආවෙ රූප රචනා තුළින් ද ?

මම දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදන කටයුතු වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ “ඇසි” ටෙලි නාට්‍යයේ රඟපෑවා. නමුත් වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් අතරට මට යන්න අවස්ථාව ලැබුණේ සුජාතා ටෙලි නාට්‍යයේ මා රඟපෑ “සුජාතා” චරිතය තුළිනුයි.

* ඔයා තිරයේ අපි අඩුවෙන් දකින නිළියක්

ඔයා කියන කතාව හරි. මම වැඩ ගොඩක් එකපාර භාර ගන්න කෙනෙක් නෙවෙයි. ලොකේෂන් එකෙන් ලොකේෂන් එකට මාරු වෙවී තැන් තැන් වල ටික ටික රඟපාමින් ගත කරන කාර්ය බහුල ජීවිතයකට මම කැමැති නෑ .

* ඒ කියන්නේ ශෙහානි එක වතාවකට භාරගන්නේ එක ටෙලි නාට්‍යයක් විතරද ?

එහෙමමත් නෙමෙයි. නමුත් ගොඩක් කාර්යබහුල වෙන්න නම් මං කැමති නෑ. මට ඕන නිදහසේ වැඩ කරන්නයි.

* මේ දවස්වල රඟපාන “පාර වසා ඇත” ටෙලිනාට්‍යය ගැන මොකද හිතෙන්නේ ?

මම හරිම සතුටින් තෘප්තියෙන් රඟපාන චරිතයක් තමයි “පාර වසා ඇත” ටෙලි නාට්‍යයේ නිත්‍යා ගේ චරිතය. එහි අධ්‍යක්ෂ ශිවගුරුනාදන් මහත්මයාගෙන් වගේම පිටපත රචනා කරන සද්ධාමංගල මහත්මයාගෙනුත් මට ලැබෙන ගුරුහරුකම් මගේ රංගන ජීවිතයේ ඉදිරි ගමනට ලැබෙන විශාල පිටිවහලක් කියලා මං විශ්වාස කරනවා.

* ශෙහානිගේ මුහුණට ඉතාම ආකර්ෂණයක් ලැබී තිබෙන අංගයක් තමයි ශෙහානිගේ දෙතොල්. ඒ සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක පවා විශේෂයෙන් ඔයාගෙන් කරුණු විමසා තිබුණා මම දැක්කා

ගොඩක් දෙනෙක් මගෙන් අහනවා මම දෙතොල් Botox ප්‍රතිකාරය මගින් සකස් කර ගත්තද කියලා . ඇත්තටම එහෙම දෙයක් නෑ. මේ මගේ ස්වභාවික පිහිටීම.

* රංගනයට සම්බන්ධ වුණාට පස්සේ නිවේදන කටයුතු වලින් සහ රූප රචනාවල රඟපෑම් කටයුතුවලින් ශෙහානි ඈත් වෙලාද ?

නිවේදන කටයුතුවලට නම් මම අවශ්‍ය පරිදි සහභාගි වෙනවා. නමුත් රූප රචනාවලට නම් සම්බන්ධ වෙන්න අදහසක් නෑ.

* ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවාද?

හොඳ අදහසක් තියෙන සිංදු නම් ප්‍රශ්නයක් නෑ . නමුත් මොනවා හෝ වචන ටිකක් එකතු කරලා ගීත විදිහට හදාගන්න සින්දුවලට නම් මම කැමති නෑ. ඒකයි මං ඈත් වෙලා ඉන්නේ. ඒ කොහොම වුණත් අනාගතයේදී මම ගීත ගායනයට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා. ඒ අනුව මගේම රූප රචනා ඇතුළත් කර ගීතයක් නිකුත් කිරීමේ අදහසක් තියෙනවා.

* ශෙහානිට ගායන හැකියාවකුත් තියෙනව ද ?

ඇත්තටම මට හොඳට සිංදු කියන්න පුළුවන්. මගේ පියා වසන්ත කහඳවල දක්ෂ ගායකයෙක් වගේම වාදකයෙක්. ඔහුට ඔහුගේම සංගීත කණ්ඩායමක් පවා තිබෙනවා. පුංචි කාලේ ඉඳන්ම මම හැදුනේ වැඩුණේ සංගීත පරිසරයක. ගායනය මට පුරුදු වුණේ ඉබේමයි.

* ශෙහානිගේ පවුලේ වෙන කවුද ඉන්නේ?

මමයි අම්මයි තාත්තයි තමයි. මම අපේ පවුලේ එකම දරුවා.

* එකම දරුවා රඟපෑමට යොමු වෙනවට ඔයාගේ අම්මා තාත්තා අකමැති වුණේ නැද්ද ?

නෑ. මගේ දෙමාපියෝ මට එහෙම තහංචි දාන්නේ නෑ. මට මම කැමැති වෘත්තියක යෙදෙන්න මට නිදහස දීලා තියෙනවා.

* ශෙහානි මට පෙම්වතෙක් ඉන්නවද?

නෑ

*විවාහය ගැන මොකද හිතන්නේ ? තව කල් තියෙනවා කියලා හිතනවද?

විවාහ වෙන්න මෙන්න මේ වයස සුදුසුයි කියලා සමාජ සම්මතයක් තිබුණාට මම නම් ඒ සම්මතයන් ගැන හිතන කෙනෙක් නෙවෙයි. අපි විවාහ වෙන්න ඕනේ තමන්ට ආදරය කරන බව හොඳටම දැනෙන, තමන්ට හොඳින් රැකවරණය සළසයි කියලා විශ්වාසයක් තියෙන කෙනෙක්ව විතරයි. දරුවන් හදන්න සුදුසු වයස ඉක්මවලා යනවා කියලා කඩිමුඩියෙ කසාද බඳින එක හරිම මෝඩකමක්. දරුවන්ව හදන්නත් ඒ දෙන්නා සතුටින් ජීවත් වෙන්න ඕනනේ.

* ශෙහානිට තවම ඔය කියන විදිහේ ගැළපෙන කෙනෙක් මුණ ගැහිලා නැද්ද?

ඒ ගැන දැන්ම කියන්න තවම කල් මදි කියලා මට හිතෙන්නේ.

* ශෙහානිට ඔය කියන විදියේ කෙනෙක් හමු නොවුණොත් විවාහ වෙන්නේ නැද්ද?

ඔව් එහෙම වෙන්න පුළුවන්.විවාහය ගැන ලොකු විශ්වාසයක් මගේ නෑ.

* අත්දැකීමෙන් ද එහෙම කියන්නේ?

අනේ නැහැ. විවාහ වෙන්නේ නැතුව කොහොමද විවාහය ගැන අත්දැකීම් ලබන්නේ? නමුත් අපි මේ සමාජයේ ජීවත් වෙන අයනේ. මම කියන්නේ අද කසාද බැඳලා හෙට දික්කසාද වෙන්න නම් විවාහ විය යුතු නෑ කියලා.

* නමුත් අර කතාවක් තියෙනවා නේද “මිනිස්සුන්ව කාලා බලලා තෝරගන්න බෑ” කියලා. ඒ අනුව අද අපට ගැළපෙනවා කියලා හිතන කෙනා පසුව අපට කොහෙත්ම නොගැළපෙන්න බැරි කමක් නෑ. ඔය නොගැළපීම් හුඟක් වෙලාවට තේරෙන්නේ විවාහයෙන් වසර ගණනක් ගත වුණාට පසුව නේද?

ඇත්තටම අපේ රටේ සංස්කෘතිය විසින් කොහෙත්ම පිළිගන්නේ නැති වුණත් විවාහ වෙන්න කලින්  දෙන්නෙක් එකට ජීවත් වෙනLiving together ක්‍රමයට මම නම් එකඟයි. ඒකෙ විශාල සත්‍යයක් තිබෙනවා. ඒ කියන්නේ දෙන්නෙක් එකට කාලයක් ජීවත් වෙනවා, ඒ දෙන්නට දෙන්නා හොඳයි කියලා හිතෙනව නම් පසුව ඒගොල්ලො විවාහ වෙලා පවුලක් හැටියට ජීවත් වෙනවා. එහෙම නැත්නම් දෙන්නම කිසිම වෛරයකින් තරහකින් තොරව සමු ගන්නවා. මම හිතන්නේ ඒක තමයි විවාහයට සුදුසුම ක්‍රමය කියලා. දෙදෙනෙක් විවාහ වෙලා දරුවන් හදලා පසුව එකිනෙකාගේ නොගැළපීම් ඇති වෙනකොට දරුවනුත් අනාථ වෙන්න හැරලා වෙන් වෙනවට වැඩිය ඔය විදිහට කලක් එකට ජීවත් වෙලා එකිනෙකා ගැළපෙනවා නම් විවාහ වී දරුවන් හදාගෙන මියෙන තුරු එකට සිටීම සුදුසුයි කියන අදහසට මමත් එකඟයි.

* ශෙහානි හිතාගෙන ඉන්නේ ඒ ක්‍රමය අනුගමනය කරන්න ද?

තවම නම් එහෙම මොකුත් තීරණයක් අරගෙන නෑ. නමුත් බොහෝ විට මම මගේ අම්මයි තාත්තයි එක්ක අනාගතයේදී පිට රටකට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එහේ ගිහින් මට රංගන කටයුතු කරන්නට නොලැබුණත් ගායනය පැත්තෙන් ඉදිරියට යාමේ අපේක්ෂාවක් තියෙනවා. මගේ අවසාන අරමුණ ඒක තමයි.

ඉන්දු පෙරේරා

රසගඟුල