වී අලෙවි මණ්ඩලය රුපියල් 120 ත් 130 ත් අතර මිලකට වී ගැනීමට පොහොට්ටුව අකුල් හෙලන්නේ ඇයි?

මෙවර යළ කන්නයේ වී අස්වැන්න මේ වන විට අලෙවි වෙමින් තිබේ. බොහෝ දුෂ්කරතා මැද ආරම්භ වූ යළ කන්නය හොඳ අස්වැන්නකින් අවසන් වී තිබීම සතුටු විය හැකි කාරණයකි. රසායනික පොහොර තහනම හේතුවෙන් ගොවීන් වී වගාවෙන් ඈත් වී සිටි කාලයක, ඉදිරියේදී සාගතයක් ඇති වෙනු ඇතැයි පුරෝකතනය කළ කාලයක යළ කන්නය සාර්ථක වීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයකි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රසායනික පොහොර ගෙනවිත් දෙන බවට වූ පොරොන්දුව මත හා ඉදිරියේදී සාගතයක් ඇති විය හැකි බවට වූ ප්‍රචාරණයත් සමඟ ගොවීහු නැවතත් වී වගාවට පැමිණියහ. ගොවීන් පැල සිටුවා වගා කටයුතු ආරම්භ කළාටත් පසුව ආණ්ඩුව යූරියා පොහොර ලබා දුන් අතර එම කාලය තුළ ඉතා අපහසුවෙන් රසායනික පොහොර යොදා අස්වැන්න සරි කර ගැනීම ගොවීහු වෙහෙස මහන්සි වූහ.

ඔවුන්ගේ මහන්සිය අපතේ නොගිය අතර බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි අස්වැන්නකින් එම කාර්ය අවසන් ව තිබේ. දැන් පැමිණ ඇත්තේ අස්වැන්න අලෙවි කර ගැනීමේ කාලයයි. වී මෝල් හිමියන් කමතටම පැමිණ රුපියල් 18 ත් 100 ත් අතර මිලකට වී මිලදී ගනිද්දී ගොවීන් නැගු මැසිවිල්ල කරන කොට ගෙන වී අලෙවි මණ්ඩලය රුපියල් 120 ත් 130 ත් අතර සහතික මිලක් වී වෙනුවෙන් තීන්දු කළේය.

එයින් පසු ගොවි සමිති නැවත කියන්නට පටන් ගෙන ඇත්තේ එම මිල ද ප්‍රමාණවත් නොවන බවය. ඔවුන් ඉල්ලා සිටින්නේ රුපියල් 150 ක සහතික මිලක් අවශ්‍ය බව ය. වී අලෙවි මණ්ඩලය කියන්නේ එම මිලට වී මිලදී ගත හොත් සහල් කිලෝවක් රුපියල් 300 ක් පමණ වනු ඇති බව ය. ගොවීන් වෙනුවෙන් මෙවර කරලියට පැමිණ ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමීන් හා පොදු ජන එක්සත් පෙරමුණ ය.ජ.වි.පෙ හා පෙරටුගාමීන් විපක්ෂය නියෝජනය කරන නිසා ගැටළුවක් නොවුව ද පොහොට්ටුව පැමිණිම ගැටළු සහගත ය. මන්ද ඔවුන් දැනට ආණ්ඩුව නියෝජනය කරන පිරිසක් වීම නිසාවෙනි. එහි දේශපාලන යටි අරුතක් ඇති බව පැහැදිලි ය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කර ඇමතිවරයෙකි. පහුගිය කාලය පුරාම ඔහු සෙසු ඇමති වරුන්ට සාපේක්ෂව යම් තාක් දුරට සාර්ථක වූ ඇමතිවරයෙකි. පොහොට්ටුව නියෝජනය කරමින් පත් වූ සියලු කෘෂිකර්ම ඇමතිවරු අසාර්ථක වෙද්දී මොහු තරමක් දුරට හෝ සාර්ථක වී ඇත.

යුරියා ලබා දුන්නා සේම මෙවර යළ කන්නය සාර්ථක කර ගැනීමට ගොවීන් පෙළඹවීමට පවා ඔහුට හැකියාව ලැබිණි. එසේම ගොවීන් සිය අස්වැන්න අඩු මිලකට දෙද්දී වැඩි මිලක සහතික මිලක් පිරිනැමීමට ද ඔහුට හැකි විය. එසේම වී අලෙවි මණ්ඩලය වැඩි ගබඩා ප්‍රමාණයක් මෙවර ලබා ගෙන තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී ගබඩා කිරීමට ගබඩා පහසුකම් නොමැතිවීමෙන් තවත් ගබඩා ලබා ගැනීමට ඔවුන්ට සිදුව ඇත.

තත්ත්වය යහපත් වෙද්දී තවත් පිරිසක් ගොවීන් උසි ගැන්වීමට කටයුතු කරමින් සිටිති. විපක්ෂයේ වර්තමාන කාර්ය එය ලෙස සැලකුව ද ආණ්ඩුවේම පාර්ශව වී වෙනුවෙන් නියම කළ සහතික මිල ප්‍රමාණවත් නැතැයි කීම ගැටළු සහගත ය. රටේ ආර්ථිකය විනාශ කිරීමට උඩ ගෙඩි දුන් පොහොට්ටු පාර්ශවයම එය කිරීම ජුගුප්සා ජනක ය. ආර්ථිකය යම් යම් ප්‍රමාණයන්ගෙන් යහපත් වීම නිසා වී වෙනුවෙන් සහතික මිලක් නියම කිරීමට වී අලෙවි මණ්ඩලය වෙත මහා භාණ්ඩාගාරය සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් පිරිනමා තිබේ

එම මුදල ද වෙන් කර ඇත්තේ ද තවත් ආයතන වෙත වෙන් කරනු ලැබූ මුදල් නවතා ගෙන ය. පවතින ආර්ථික අපහසුතාවය ගොවීන්ටත් වඩා පොහොට්ටු පාර්ශවය දනියි. විපක්ෂයටත් වඩා දනියි. එසේ නම් ඔවුන් රාජපක්ෂවරුන්ගේ පැවැත්ම වෙනුවෙන් යම් ව්‍යාපෘතියක් කරන බව පැහැදිලි ය. ගෝල්ෆේස් අරගලකරුවන්ගෙන් කොටසක් වන “බ්ලැක් කැප් මූව්මන්ට්“ සංවිධානය කියන්නේ නාමල් රාජපක්ෂ භූ විද්‍යා හා පතල් කාර්යාංශයට පත් කළ යුතු නිලධාරීන් කවුදැයි යන්න පවා ඇමතිවරයාට නිර්දේශ කර ඇති බව ය.නමුදු එයට ඇමතිවරයා එකඟ වී නැති බව වාර්තා වේ. ඒ ඇමතිවරයා වෙන කිසිවෙකු නොව කෘෂිකර්ම, වනජිවි හා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ය. එම නිසා වී මිල යොදා ගනිමින් ඔහුට එරෙහිව ගොවීන් උසිගැන්වීමට කටයුතු කරන බව පැහැදිලි ය. මහින්ද අමරවීර ඔවුනට හොඳ ද නරක ද යන්න අප දන්නේ නැත. එහෙත් ඔහු ට විරුද්ධව පොහොට්ටුව හඩ නගන්නේ නාමල්ගේ අණ පිළි නොපැදීම නිසාවෙන් බව පොහොට්ටුවේ නැගිටීම මත පැහැදිලි වේ. පොහොට්ටුව තවමත් කටයුතු කරන්නේ රාජපක්ෂවරුන්ගේ අණ මත බව ඉන් පැහැදිලි ය.පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂගේ නම යෝජනා වීමෙන් එය වඩාත් තහවුරු වෙයි.

රාජපක්ෂ බලය තවමත් රට තුළ පවතියි. ඔවුන්ට රට ඉදිරියට ගිය පසු පසට ගියත් වැදගත් නැත. ඔවුන්ට වැදගත් රාජපක්ෂවරුන් සිටීම පමණකි. කෙසේ නමුත් පොහොට්ටුව හා විපක්ෂ කණ්ඩායම් සහතික වී මිල වැඩි කිරීමට ඉල්ලා සිටීමේ වාසිය අවසානයේ යන්නේ මෝල් හිමියන්ට ය. එම නිසා මෝල් හිමියෝ මේ කණ්ඩායම් පිටුපස සිටිති. ගොවීන් වී අලෙවි මණ්ඩලය වෙත මිල වැඩි කරන තුරු වී ලබා නොදුනහොත් අවසානයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අඩපණ වනු ඇත.

එවිට වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමෙන් ඈත්වීමේ පසුබිම සැකසේ. මන්ද ඔවුන්ට මුදල් වෙන් වන්නේ යම් කිසි කාලයකට පමණකි. ඉන් පසු එම මුදල් නැවත මහා භාණ්ඩාගාරය වෙත යොමු වේ. එසේ වූ විට යළිත් මෝල් හිමියන්ට රුපියල් 80 ත් 100 ත් අතර මිලකට වී මිලදී ගැනීමට හැකියාව ලැබේ.

මේ කාරණය තේරුම්ගත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් පමණක් යම් වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී මුදල් කර ගන්නා ලෙස ය. අනෙක් තොග වැඩි මිලට මෝල් හිමියන්ට අලෙවි කරන ලෙස ඔහු ඉල්ලා සිටියි. ඒ මන්ද සහතික මිලට පහලින් වී මිලදී ගැනීමට මෝල් හිමියන්ට නොහැකි වන බැවිනි. එය ඇත්තේ ගොවියාගේ දෑතේය. ඔවුන් සිහි නුවණින් කටයුතු කළහොත් එය කර ගැනීම පහසු ය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර