අපේ රටේ මධ්‍යම,සබරගමුව,ඌව පළාත් වලට සාපේක්ෂව බස්නාහිර පළාතේ දිය ඇලි වල අඩුවක් දක්වට තියනවා.නමුත් අදටත් බොහෝ දෙනෙක් නොදත් සැබෑ සොඳුරු දිය ඇලි බස්නාහිර පළාතේ නැතුවාමත් නොවෙයි.2006 වසරේදී ආසියාතික පාරිසරික ස්වභාවික දිය ඇලි සංසදයේ ඉතිහාස ග්‍රන්ථයට ඇතුළු වූ දිය ඇල්ලක් ගැනයි මේ කතා කරන්නේ.
මේ බස්නාහිර පළාතේ,කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පස්දුන් කෝරලයට සහ කුකුළු කෝරලයට මායිම්ව කළුවල තැන්න ගම්මානයේ සුන්දර වන පෙතක පිහිටි මාකෙළිය දිය ඇල්ලයි. මාකෙළි ඇල්ල නමිනුත් හඳුන්වන මෙය සිංහරාජ වන රක්ෂිතය තුළින් පෝෂණය වන ස්වභාවික දිය ඇල්ලක්.මෙම දිය ඇල්ල කෝට්ටේ යුගයේ යුද වීරයකු වූ වීදිය බණ්ඩාර සැඟවී සිටි ස්ථානයක් සේ සැළකෙනවා. ඒ හා සබැඳි ජනප්‍රවාද හේතුවෙන් මෙම දිය ඇල්ල ප්‍රසිද්ධියක් උසුලනවා. කාලයක් මේ දිය ඇල්ල ආසන්නයේ සැඟවී සටන් පුහුණු වල යෙදුණු වීදිය බණ්ඩාර මරණයෙන් පසු මෙහිම යක්ෂාත්මයක් ලැබූ බව ඒ ජන ප්‍රවාදවල සඳහන්.
ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම දිය ඇල්ල ඉහළ සිට බැලූ කල මනාලියකගේ සේලයේ හැඩයක් ගන්නවා. ඩ්‍රෝන කැමරා මඟින් ඉහළ සිට ලබාගත් ගුවන් ඡායාරූප මගින් එය වඩාත් සනාථ කර ගත හැකියි. දිය ඇල්ල අද්දර පිහිටි නැරඹුම් වේදිකාව මතට ගොඩ වූ ඕනෑම අයෙකුට මෙහි සමීප දසුන් නැරඹිය හැකියි.
මාකෙළිය ඇල්ල මීටර් විස්සක උසකින් යුක්තයි. දියඇල්ල පාමුල ඇති ජල තටාකය අඩි හයක පමණ ගැඹුරකින් යුතු බව පැවසෙනවා. දිය ඇල්ල ඉහළ කොටසේ ද මෙවැනි ජල තටාකයක් දකින්න පුළුවන්.කුකුළේගම ජල විදුලි බලාගාරය පිහිටා තිබෙන්නේ දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයේයි.
මාකෙළිය දිය ඇල්ල අවට රක්ෂිත වන ප්‍රදේශ තුළ තවත් දිය ඇලි කිහිපයක් පිළිබඳව වාර්තා වෙනවා. නෙළුකැටිය රක්ෂිතයේ කහපත් දියඇල්ල සහ දිය පොකුණු ඇල්ල, ඕලියාමල ඇල්ල, නවදංගල රක්ෂිතයේ කටුමොද ඇල්ල , සතුන් වැටෙන ඇල්ල සහ තවත් කුඩා දියඇලි කිහිපයක් මෙයට අයත්.මෙම රක්ෂිතයන් තුළ මිල්ල වර්ග, දවට,පෙලෙන්, වෙල් කදුරු, දිය කදුරු, දිවි කදුරු, කුඹුක්, හොර, කටුමොද, බෙරලිය, තොලොල්, මොර, අලුබෝ, ගිනිසිරියා, දියපොර, ගොඩපොර වැනි ශාක වර්ග බහුල යි.
වටිනා ඖෂධ වර්ග වන කොතලහිඹුටු, කොටකිඹුල, කුඩුමිරිස්ස, හාතවාරිය, නවහංදි, ඉරරාජ, ගුරුරාජ, මගුල් කරඳ, ඇහැල, එනසාල්, නියඟලා, කොකුම්, අංකෙන්ද, අරත්ත මේ වනාන්තර තුළ සුලබව දැකිය හැකියි.මේ හැරුණු විට අලංකාර මල් වර්ග රාශියක් මෙම රක්ෂිතයන් තුළ පවතිනවා.
උඩවැඩියා , කුඩා හැඩයා, මහ හැඩයා ඇතුළු ඕකිඩ් වර්ග, කඩුපුල් මල් මේ අතරින් ප්‍රධානයි.ක්ෂීරපායින් විශේෂ 30ක්, පක්ෂි විශේෂ 140ක්, උරග විශේෂ 35ක්, උභයජීවීන් 15ක් පමණද, ලංකාවට ආවේණික මත්ස්‍ය වර්ග 40 කට වැඩි ප්‍රමාණයක් ද අපේ රටේ ජාතික පක්ෂයා වන වලි කුකුළා ද හබන් කුකුළා ද මෙහි දැකිය හැකි ජීවීන් අතර විශේෂයි.
මාකෙළිය දිය ඇල්ල අවට රක්ෂිත වනාන්තර තුළ මැහෝගනී, පයිනස් වගාවන් අතරේ වේවැල් වගාවද බහුලව පවතිනවා.නමුත් මේ ඇල්ල සම්බන්ධයෙන් කිව යුතු විශේෂතම දෙයක් වන්නේ අපේ රටේ දිය අනතුරු වලින් වැඩිම ගණනක් මේ මාකෙළිය දිය ඇල්ල මුල් කොට සිදු වී තිබීමයි.මෙහි පැරණි ගැමියන්ගේ මතය අනුව වීදිය බණ්ඩාර ගේ යක්ෂාත්මය මෙම පරිසරයට හානි කරන්නවුන්ට විපත් පමුණුවනවා.
ඒ කෙසේ හෝ මෙම මාකෙළිය දිය ඇල්ල ආශ්‍රිත දිය අනතුරු වලින් වැළකීමත් මෙම අගනා පරිසර පද්ධතියට හානි නොකිරීමත් එහි යන ඔබගේ අනිවාර්ය යුතුකම් හා වගකීම් බව කිව යුතුයි.
ඉන්දු පෙරේරා