වෙඩි වැදීමෙන් පසු ඉම්රාන් රෝහලේ සිට කී කතාව

imran

පාකිස්තානයේ සුප්‍රකට අගමැතිනියක වූ බෙනාසීර් භූතෝ ඝාතනය කර වසර 15 කට පසු නැවතත් එරට නායකයකු ඝාතනය කිරීමේ උත්සාහයක් දරනු ලැබිණි. ඒ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඝාතනය කිරීමට ය.

පසුගිය බ්‍රහස්පතින්දා මේ ආකාරයෙන් ඉම්රාන් ඝාතනය කිරීමට තැත් කළේ ඔහු දැවැන්ත විරෝධතා පෙළපාලියකට සහභාගි වෙමින් සිටියදී යි. ඔහුගේ පක්‍ෂය විසින් සංවිධානය කරන ලද මෙම පෙළපාලිය ආරම්භ වූයේ ඔක්තෝබර් 28 වැනි දින ලාහෝර් නගරයෙනි. එහි ගමනාන්තය වූයේ පාකිස්තානයේ අගනුවර වන ඉස්ලමාබාද් නගරය යි. ලබන 8 වැනි දින එය ඉස්ලමාබාද් වෙත ළඟා වීමට නියමිතව තිබිණි. ඉම්රාන්ගේ ආධාරකරුවෝ දස දහස් ගණනින් ඊට සහභාගි වෙමින් සිටියෝය.

පෙළපාලිය එරට වසීරාබාද් නැමැති නගරය වෙත සේන්දු වූ අවස්ථාවේ සිදු වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ වනවිට ඉම්රාන් පෙළපාලිය ඉදිරියෙන් ගමන් කරමින් සිටියේ ලොරියක් විසින් ඇදගෙන යන ලද කන්ටේනරයක් මත නැගී ය. ඔහුගේ දේශපාලන සගයන් කිහිප දෙනෙක් ද ඔහු අසළ සිටියෝය. ඒ වනවිට ඒ අවට පැවතියේ හිස් ගොඩක් ලෙසිනි. බැලූ බැලූ අත විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් ගමන් කරමින් සිටිනු දැකිය හැකි විය.

සියලු දෙනා කම්පනයටත්, තිගැස්මටත් පත් කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වන්නට පටන් ගත්තේ එම අවස්ථාවේ ය. තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම ප්‍රහාරයට සම්බන්ධ බවක් සිකුරාදා වනවිට ප්‍රකාශ වී තිබිණි.

හිටපු අගමැතිවරයා ඝාතනය කිරීම තුවක්කුකරුවන්ගේ අරමුණ වූ බව පෙනිණි. කෙසේ හෝ වේවා, ඔවුන්ගේ එම බලාපොරොත්තුව සඵල වූයේ නැත. වෙඩි පහර වැදුණේ ඉම්රාන්ගේ කකුලක පහළ කොටසටයි. වෙඩි පහර දෙකක් වැදී ඇති බවක් ද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

වෙඩි වැදීමත් සමග ඉම්රාන් පහතට නැවෙන ආකාරයත්, ඔහු අසළ සිටියවුන් ඉම්රාන් ආරක්‍ෂා කිරීම සඳහා ඔහු වට කරගන්නා අන්දමත් දැක්වෙන විඩියෝවක් මාධ්‍ය තුළ පළ වී තිබිණි.

සිද්ධිය ඇසින් දුටුවකු පවසා තිබුණේ එක් තුවක්කුකරුවකු පතරොම් මැගසිනයක් අවසන් වන තෙක් වෙඩි තැබූ බවයි. වෙඩි ප්‍රහාරයෙන් ඉම්රාන්ට අමතරව තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ. එක් අයකු මරණයට ද පත් විය. මේ වනවිට සඳහන් වන්නේ 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එක් මැගසිනයක් අවසන් වනතුරු වෙඩි තැබූ තුවක්කුකරු පසුව තවත් පතරොම් මැගසිනයක් සිය ගිනි අවියට සවි කිරීමට සූදානම් වූ බව ද ඉහත කී පුද්ගලයා පවසා තිබිණි. ඒ අනුව පෙනෙන්නේ ඔහු නැවත වෙඩි තබන්නට සැරසුණු බවකි. එසේ වූවානම් විශාල ඛේදවාචකයක් සිදු වීමට බොහෝ දුරට ඉඩ තිබිණි. නමුත් වාසනාවකට මෙන් ඔහු පිටුපස සිටි තරුණයකු තුවක්කුකරු වෙත පැන ඔහු අල්ලා ගෙන තිබිණි. එයින් ඔහුගේ තැත වැරදී ගිය ආකාරයක් පෙනේ.

ඉම්රාන් වහාම වෙඩි නොවදින රථයකට නංවා ගන්නා ලද අතර ලාහෝරයේ ෂෝකත් ඛානම් රෝහල වෙත ගෙන යනු ලැබිණි. පසුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි. බ්‍රහස්පතින්දා සවස වෛද්‍යවරුන් ඔහුට සැත්කමක් ද කර තිබිණි.

කෙසේ හෝ වේවා, සිකුරාදා සවස ඉම්රාන් රෝහලේ සිටිමින්ම මාධ්‍ය හමුවක් ද පැවැත්වූයේය. ‘මට ප්‍රහාරයක් එල්ල විය හැකි බව පෙළපාලිය පටන් ගන්නත් කලින්ම මම දැනගෙන හිටියා’ යයි ඔහු එහි දී පැවසුවේය. ‘මා ඝාතනය කිරීම සඳහා වෙඩි පහර හතරක් එල්ල කර තිබුණා’ යයි ද ඔහු ප්‍රකාශ කළේය. ඉම්රාන් පවසන්නේ තමා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ සිව් දෙනෙකු ගැන තමා දන්නා බවයි. එම කුමන්ත්‍රණය අඩංගු විඩියෝවක් තමා ළඟ ඇති බවක් ද ඔහු පැවසුවේය. යම් හෙයකින් තමාගේ ජීවිතයට අනතුරක් වුවහොත් එම විඩියෝව ප්‍රසිද්ධියට පත් කෙරෙනු ඇති බව ද ඔහු සඳහන් කර තිබිණි. වත්මන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන්ට සහ හමුදාවේ සමහර ඉහළ නිලධාරීන්ට එරෙහිව ඔහු ඊට කලින් චෝදනා කර තිබිණි.

කෙසේ නමුත්, වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් ඇතුළු ඉම්රාන් ගේ දේශපාලන විරුද්ධවාදීන් රැසක් මෙම වෙඩි තැබීම හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන මෙන් අගමැතිවරයා නියෝග කර තිබේ.

වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පොලිසිය එක් සැකකරුවකු අත්අඩංගුවට ගත්තේය. ඔහු කළ බව පැවසුණු පාපොච්චාරණයක් අඩංගු විඩියෝවක් ද මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබිණි. තමා ඉම්රාන් ඝාතනය කිරීමට උත්සාහ කළේ ඔහු ජනතාව නොමග යවමින් සිටින නිසා බවක් සැකකරු යයි පැවසෙන පුද්ගලයා එහි සඳහන් කරයි.

ඉම්රාන් සහභාගි වූ දැවැන්ත විරෝධතා පෙළපාලිය කාලයක සිටම ඔහු පවත්වමින් සිටින පෙළපාලි සහ දේශපාලන රැස්වීම් මාලාවක අලුත්ම පියවර යි. මෙවැනි පෙළපාලි සහ රැළි පවත්වමින් ඔහු රජයට බල කරන්නේ වහාම මහා මැතිවරණයක් පවත්වන ලෙසය. එවැනි මැතිවරණයක් පැවැත්වුවහොත් තමාට නැවත බලයට පැමිණීමට හැකි බව ඉම්රාන්ගේ විශ්වාසය වී තිබේ.

2018 වසරේ අගමැති ධුරයට පත් වූ ඔහුට පසුගිය අප්‍රේල් මාසයේ එම ධුරය අහිමි වූයේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවක් නිසා ය. නමුත් ජනතාව අතර තවමත් ඉම්රාන් බෙහෙවින් ජනප්‍රිය නායකයකු බව පෙනේ. ඔහු විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සහ පෙළපාලිවලට දස දහස් ගණනින් ජනතාව රැස්වන ආකාරය දැකිය හැකි වේ. ඉම්රාන් පවසන්නේ තමාට අගමැති ධුරය අහිමි වූයේ ඇමරිකාව සහ දේශීය බලවේග එක්ව ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් නිසා බවයි. ඇමරිකාව එවැනි කුමන්ත්‍රණයක් දියත් කළේ තමා චීනය වැනි රටවල් සමග පවත්වන සමීප සබඳතා නිසා බව ද ඔහු පවසයි.

පාකිස්තානය තුළ දේශපාලන නායකයකු ඝාතනය කිරීමට උත්සාහ කළ පළමු අවස්ථාව මෙය නොවේ. මෙයට පෙර ද එවැනි උත්සාහයන් කිහිපයක්ම දරා ඇති අතර ඇතැම් උත්සාහයන් සාර්ථක විය. 2007 වසරේ සිදු වූ බෙනසිර් භූතෝ ඝාතනය ඒ අතරින් වඩාත් කැපී පෙනුණු සිද්ධියකි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර