වෛද්‍ය වරුන් ලවා නැකතකට දරුවකු ප්‍රසූත කරවා ගැනීම රන් බිත්තර දමන කිකිළියගේ බඩ පැලීමක්!

ගෘහස්ථ සහ සමාජගත වශයෙන් වැදගත් යැයි සැලකෙන කටයුතු සඳහා ශුභ නැකැත් සකසා දීම අප සමාජයේ ජ්‍යොතිර්වේදීන් වෙත පැවරුණු සාම්ප්‍රදායික වගකීමකි. ඒ අතුරින් අතීතයේ ජ්‍යොතිර්වේදීන් වෙත නොපැවරුණු නව මාදිලියේ කටයුතු උදෙසා ශුභ නැකැත් පිළියෙල කොට දීමට ද වත්මන් ජ්‍යොතිර්වේදීන්ට සිදුව තිබේ. දරුවන්ගේ උපතට පෙර ඔවුන් සඳහා වන ජන්ම පත්‍රවලට මූලික වන ජන්ම වේලාව සාදා දීම ඉන් එකකි.අතීත ජන සමාජයට සාපේක්ෂව නූතන සමාජය බහු විධ අවශ්‍යතා,අරමුණු සහ ආශාවන් ගෙන් යුක්තය ය.එමෙන්ම ඒ අවශ්‍යතා අරමුණු සහ ආශාවන් කෙසේ හෝ ඉටු කර ගැනීමේ අති මහත් උනන්දුවකින් නූතන සමාජය වෙළී තිබේ.ඉහත සඳහන් සමාජ උන්මාදය එහි එක් ප්‍රතිඵලයකි. ‘නූපන් දරුවන්ට කේන්දර හදනවා වගේ’ යන්න නිරර්ථක යමක් සිදු කිරීම සම්බන්ධ අප සමාජයේ එදා මෙදා තුර පවතින පිරුළකි. එමෙන්ම පදනම් විරහිත කාරියක් කිරීම සම්බන්ධයෙන් ද මෙම පිරුළ යොදා ගැනෙයි. එහෙත්, වත්මන් සමාජයේ විද්‍යා තාක්ෂණික දියුණුව සහ ආකල්ප වෙනස් වීම මත එසේ යමකුගේ කේන්දරයක් සඳහා මූලෝත්පාදක වන ජන්ම වේලාව සකස් කිරීම වත්මන් ජ්‍යොතිර්වේදීන්ගේ ප්‍රායෝගික කාර්ය භාරයන් අතරට එක්ව තිබේ.

මෙම සංසිද්ධිය කෙටියෙන් විස්තර කළහොත් මෙසේ දැක්විය හැකිය.

රජයේ නොව පෞද්ගලික රෝහල්වල දී දරු ප්‍රසුතිය සිදු කරන මව්වරුන්ට එය සිදු විය යුත්තේ සාමාන්‍ය ක්‍රමයට ද, නැතහොත් සිසේරියන් සැත්කමක් මගින් ද යන්න තීරණය කිරීමේ අවස්ථාව හිමි වෙයි. සාමාන්‍ය දරු ප්‍රසූතියකට සාපේක්‍ෂව සිසේරියන් සැත්කමක් සිදු කිරීම මගින් වෛද්‍ය සහ රෝහල් ගාස්තු වැඩිපුර ගෙවීමට සිදු වුවද වෛද්‍ය නිගමනයන්ට අමතරව සිසේරියන් සැත්කම් මගින් දරුවෙකු ප්‍රසූත කිරීමට බොහෝ නාගරික මධ්‍යම පාන්තික මව්වරු කැමැති වෙති.
’ප්‍රසූත’ යන්න සංස්කෘත භාෂාවේ එන වදනකි. දරුවන් ලැබීම හඟවන මෙම වදන ‘මල් පිදීම’ සඳහා ද සංස්කෘතයෙහි යෙදෙනු අපි දැක ඇත්තෙමු. ඒ අනුව සිසේරියන් සැත්කමක් මගින් දරු ප්‍රසූතියක් සිදු කරවා ගැනීම පිපීමට සූදානම් මලක පෙති කෘත්‍රිමව කල් ඇතිව පුබුදුවා ගැනීමක් යැයි ද යමකුට සිතෙන්නට පුළුවන.

මෙලෙස සිසේරියන් සැත්කමක් මගින් දරුවකු ප්‍රසූත කර ගැනීමට කැමැති මව්වරුන් ඒ සඳහා වන වේලාව ලෙස ජ්‍යොතිෂයට අනුව ශුභ නැකතක් යොදා ගැනීමට අපේක්ෂා කරනුයේ එමගින් දරුවාගේ ජන්ම කේන්දරය බලවත් වන බැවිනි. ඒ අනුව එම දරු ප්‍රසූතිය භාරව කටයුතු කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත එම සිසේරියන් සැත්කම සඳහා දින නියම කර ගන්නා අඹු සැමියෝ එම සැත්කම මගින් දරු ප්‍රසූතිය සිදු කර ගැනීමට සුදුසු නැකතක් පිළියෙල කර දෙන ලෙස ජ්‍යොතිර්වේදීන්ගෙන් ඉල්ලා සිටිති. පසුව නැවත එම නැකත පිළිබඳ අදාළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා වෙත දන්වා සිටින එම අඹු සැමියන් එම නැකැත් වේලාව තුළ ඒ සැත්කම සිදු කොට දරු ප්‍රසූතිය සිදු කර දෙන මෙන් ඉල්ලා සිටීම මෙහි සාමාන්‍ය ක්‍රියා පිළිවෙත ය. එහි දී සෑම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුම ඒ සඳහා යහපත් ප්‍රතිචාර දක්වන්නේ ද? යන්න නිශ්චිතව කීමට අපට නුපුළුවන. එහෙත්, එම අඹු සැමියන්ගේ ඉල්ලීම සලකා ඔවුන් පවසන නැකැත් වේලාව අනුවම එම සිසේරියන් සැත්කම සිදු කර දෙන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් යම් ප්‍රමාණයක් හෝ සිටින බව නම් පැහැදිලි ය.

අතීත ඉන්දීය ජ්‍යොතිර්වේදය හුදු නැකත් ශාස්ත්‍රයකි.එය අනාවැකි කීම පිණිස යොදා ගන්නා ලද්දේ ක්‍රිස්තු වර්ෂ පස්වන සිය වසෙන් පසුව බව මානව විද්‍යාඥ මතයයි.එබැවින් මිනිස් ජීවිතයේ විවිධ කටයුතු උදෙසා නැකැත් පිළියෙල කිරීම සම්බන්ධ බොහෝ කරුණු ජ්‍යොතිර්වේදයේ සඳහන් ය. එමෙන්ම ඒ සිදු කරන කාර්යයට අනුව නැකත ද සකස් විය යුතු ය. නිදසුනක් ලෙස වගා ව්‍යාපාරයක් ඇරඹීමට සුදුසු නැකත කර්මාන්ත ශාලාවක් ඇරඹීමට සුදුසු නැත. ඒ අනුව එක් එක් කටයුතු සඳහා වඩාත් සුදුසු නැකැතක් ‘පිරිපහදු කර දීම’ ඒ ජ්‍යොතිර්වේදියාගේ දැනුම, පළපුරුද්ද, අත්දැකීම් ආදිය මත රඳා පවතී. නමුදු ඒ අනුව බලන විට ‘දරුවකුගේ උපත සිදු කිරීමට’ සුදුසු යැයි පැවසෙන නැකැත් පැරණි ජ්‍යොතිර්වේදයේ නොමැති බව අප අමුතුවෙන් කිව යුතු නැත.

තත්වය එසේ වුව ද එලෙස ස්වභාවික ක්‍රමයෙන් පරිබාහිරව සිසේරියන් වැනි සැත්කම් මගින් සිදු කරන ප්‍රසූතියක දී ඒ දරුවාගේ උපන් වේලාව ශුභ නැකතක් අනුව සැකසෙන බැවින් ඒ දරුවාගේ ජන්ම කේන්දරය ප්‍රබල වශයෙන් ඉදිරිපත් කොට දැක්විය හැකි බව සැබෑවකි. එහෙත්, ජන්ම කේන්දරයක් නිවැරදිව සකසා ගැනීමට තුඩු දෙන දරුවාගේ ප්‍රතිසන්ධි මොහොතේ සිට ප්‍රසූති මොහොත තෙක් වන කාල චක්‍රය සිසේරියන් සැත්කමකින් සිදු කෙරෙන දරු උපතකදී කෙසේ බලපවත්නේද? යන්න පිළිබඳ ජ්‍යොතිර්වේදීන් අතර පවා නිශ්චයක් නැත. මන්ද මෙය නූතන විලාසිතාවක් බැවිනි.

සම්භාව්‍ය ජ්‍යොතිර්වේදයට අනුව දරුවකුගේ උපන් වේලාව සඳහන් වනුයේ දරුවාගේ හිස මව් කුසෙන් පිටතට පැමිණෙන අවස්ථාව බව පොදු ජ්‍යොතිෂ මතයයි. එහෙත්, එම වේලාවේ යම් යම් විෂමතා පැවැතිය ද ඒවා දුරුකොට පැහැදිලි කාල රාමුවක් තුළ දරුවාගේ ජන්ම කේන්දරය සකසා දීමට ජ්‍යොතිෂය පිළිබඳ සැබෑ දැනුමක් සහිත අත්දැකීම් සහ පළපුරුදුකම් ඇති ජ්‍යොතිර්වේදීන්ට පුළුවන. සමහරු මේ සඳහා තත් කාලය නම් වන ජ්‍යොතිර්වේදයේ සාධකය ද ඉවහල් කර ගනිති.

කෙසේ නමුදු ස්වභාවික දරු උපතක දී වේවා සිසේරියන් සැත්කමකින් සිදු කරන දරු උපතක දී හෝ වේවා ජන්ම කේන්දරයක් සකසා දීමේ අවකාශය ජ්‍යොතිර්වේදීන් හට හිමි වන මුත් කිසිවකු විසින් කල්වේලා ඇතිව සූදානම් කළ නැකතකට අනුව කෘත්‍රිමව සිදු කරන දරු උපතක් මුල්කොට සකස් කරන ජන්ම කේන්දරයේ සඵලතාව පිළිබඳ බරපතළ ගැටලු පැන නගී.

මෙහි දී බොහෝ විට ජන්මියාගේ කේන්දරය හා ජීවන රටාව පරස්පරතාවලින් යුතු විය හැකි අතර ජන්ම පත්‍රයේ විශිෂ්ට ග්‍රහචාරයන් පෙන්නුම් කරන එතරම් සාර්ථකත්වයක් නොමැති පුද්ගලයන් ද මෙම කටයුත්ත තුළින් දැකිය හැක. මෙය කාටත් වැටහෙන ලෙසින් කිවහොත් රත්‍රන් බිත්තර දමන කිකිළියකගේ රන් බිත්තර සියල්ල එක වර ලබා ගනු පිණිස ඒ කිකිළියගේ බඩ පැලීමක් මෙනි.

ඒ අනුව යම් දරු උපතක් සාමාන්‍ය ලෙස හෝ සිසේරියන් සැත්කමක් මගින් සිදු කළ ද එය නිසි කලට වේලාවට ස්වභාවිකත්වයට මුල් තැන දී සිදු විය යුත්තක් මිස ජ්‍යොතිෂය අවභාවිත කොට තනා ගන්නා නැකැත් මගින් කෘත්‍රිම ලෙස සිදු විය යුත්තක් නොවන බව සොබා දහමට පටහැනි ලෙස කටයුතු කිරීමට පෙළඹෙන නූතන සමාජයේ අඹු සැමියන් හට අවසාන වශයෙන් අවධාරණය කළ යුතුම ය.

හේම ශ්‍රී අමරසිංහ

ඉරා අදුරුපට