වෛද්‍ය විජේවික්‍රමගේ අස්වීම යුද්දෙ අතරේ ෆොන්සේකා අස්වුණා වගේ දෙයක්!

වෛද්‍ය විජේවික්‍රමගේ අස්වීම යුද්දෙ අතරේ ෆොන්සේකා අස්වුණා වගේ දෙයක්!

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා මර්දන කමිටුවෙන් ඉවත්වීම යුද්ධය යන අතරවාරයේදී සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධුරයෙන් ඉවත් වීම සමාන තත්වයකට සමාන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරයි.
අද මේ රටේ වසංගත රෝග අංශයේ ඉන්න අපේ ප්‍රධානියා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම. මේ ක්‍රමය යටතේ තමන්ට තවදුරටත් ඉන්ඩ බෑයි කියලා ඔහු ඉල්ලා අස්වෙලා තියෙනවා. බොහොම නිහතමානී වෛද්‍යවරයෙක්. මීට ක්ලකලින් අර එන්. එම්. ආර්. එකේ සේවය කරපු වැදගත් වෘත්තීයවේදී වෛද්‍යවරු කිහිපදෙනෙක් මහාචාර්ය මලවිගේ ඇතුළු ඉල්ලා අස් වුණා. ඒ වගේම වෛද්‍ය ලක් කුමාර් ඇතුළු පිරිස් ඉවත් කළා. විශේෂඥයෝ ඉවත් කර කර එහි යොදා ගත්තා. නම් පට බැඳිලා තිබුණට අපි දන්නවා වෛද්‍ය විශේෂඥයෝ වෙන්නේ නෑ. ඒගොල්ලෝ එහෙයියෝ. එහෙම එහෙයියො යොදාගෙන මේක කරන්න පටන් ගත්තා. ඇත්තටම විජේවික්‍රම මහත්මයාගේ මේ ඉවත්වීම තීරණාත්මක දෙයක්.”කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍යවරයා එසේ ද කීය.
‘රෝගය අද අතිවිශාල පිරිසකට වැළඳිලා ඉවරයි. ඔය පී. සී. ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණය කරපු නැති අතිවිශාල පිරිසකට මේ රෝගය වැළඳිලා, සමහරු දන්නෙත් නෑ, තමන්ට රෝගය වැළඳිලා සුව වුණා කියලා. මොකද, සීයට හැත්තෑවකට මේ රෝග ලක්ෂණ එන්නේ නෑ. ඒ නිසා රටේ සැලකිය යුතු පිරිසකට මේ රෝගය වැළඳිලා ස්වභාවික ප්‍රතිශක්තිය ඔවුන්ගේ සිරුරු තුළ ඇතිවෙලා තියෙන බව දැන් පැහැදිලියි.මාස ගාණක් යනකම් ඒ ශක්තිය පවතිනවා. තුන්වෙනි කාරණය එන්නත්කරණය රටේ ජනගහනයෙන් සියයට හතළිහකට අධික ප්‍රමාණයකට එන්නත් දෙකම ලබාදීම නිසා කෘත්‍රිම ප්‍රතිශක්තියක් ඇතිවෙලා තියෙනවා. ඒ එන්නත් ලබා දීම ගැන සෞඛ්‍ය බලධාරීන්ට හා ආරක්ෂක අංශවල අයට අපගේ ප්‍රණාමය පිරිනමනවා.”එසේ කී හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම සියළු කාරණා තිබියදී එන්නත්කරණය නිසි ආකාරයෙන් සිදුකළා නම් සිදුවූ මරණ සංඛ්‍යාව ද අවම කරගත හැකිව තිබූ බවකි. දරුවන්ගේ අධ්‍යාපනය ද ශක්තිමත්ව කරගත හැකි ව තිබූ බවකි.බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත, අගුළු දැමීමේ ප්‍රතිඵලයක් හැටියට මේ රෝග ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වූ බව ද ඔහු කීය.
“එන්නත් කරන්න තිබුණේ, 2020 ඔක්තෝබර් මාසේ.නමුත් ආණ්ඩුව ධම්මික පැණියයි, කලුගෙඩි සෙල්ලමයි දදා අපේ ජනතාව මේ මරණය කරා දැක්කුවා. මේ සිදුවුණේ ඝාතන, ඝාතන දහදාහක් සිදුවුණා. ඒ බව අපි අමතක කළ යුතු නැහැ.ඒ විදිහට බේරාගත හැකිව තිබිච්ච ජීවිත තමයි නැති වුණේ.”යැයි කී හිටපු අමාත්‍යවරයා පස්වෙනි කොරෝනා රැල්ලක් පැමිණීමේ අවදානමක් ද පවතින බව පෙන්වා දිය හැකි බවත් ඊට මුහුණ දිය හැක්කේ, විශේෂඥයින්ගේ සහයෙන් මිසක, ආඩම්බරකාර මුග්ධ, උද්දච්ච, එවගේම එන්නතනුත් ගසා කන එවැනි දේශපාලන ක්‍රියාදාමයකින් නොවන බවත් අවධාරණය කළේය.

කාලීන පුවත්