ශ්‍රී ලංකාව සිදුකරගෙන යන වැඩපිළිවෙලට ජාත්‍යන්තරය සහය දිය යුතුයි – එරික් සෝල්හයිම්

ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට සහාය ලබාදිය යුතු බව නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා හිටපු දේශපාලනඥයෙකු වන එරික් සෝල්හයිම් මහතා සඳහන් කරයි.

එරික් සෝල්හයිම් මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇත්තේ සති දෙකක පමණ කාලයක් පමණක් බවයි.

ප්‍රථමයෙන් ජනාධිපතිවරයා තම රාජ්‍ය තාන්ත්‍රික භාවය මනාව පිළිබිඹු කරමින් ඉන්දීය , චීන ,රුසියා ඇතුළු රටවල් රැසක තානාපතිවරුන් මුණ ගැසුණි .

ඒ හරහා අනුර කුමාර දිසානායක මහතාගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැහැදිලි සංඥාවක් ලබාදී ඇති බවයි එරික් සෝල්හයිම් මහතා එක්ස් පණිවුඩයේ සඳහන් කර ඇත.

එමෙන්ම ආගමික නායකයන්ගේ ආශිර්වාද ලබාගනිමින් සියළු වාර්ගික ප්‍රජාවන් සඳහා ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන ආකාරය පිළිබිඹු කර ඇති බවද එහි සඳහන්.

අධ්‍යාපනය සෞඛ්‍ය හා දුප්පතුන්ගේ තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය සම්පත් ගෙන ඒමට හා සමෘද්ධිමත් ලංකාවක් බිහිකළ හැක්කේ ව්‍යාපාර සමඟ සමීපව කටයුතු කිරීමෙන් පමණක් වන බව ව්‍යාපාරික ප්‍රජාවට ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවයි එරික් සෝල්හයිම් එක්ස් පණිවුඩයේ සඳහන් කර ඇත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රාජ්‍ය බලයට දූෂිත නොවන හරයක් එක්කර ඇති බවද එහි සඳහන්.

එමෙන්ම දේශපාලනඥයින්ට ලබා දෙන දීමනා පහළ දැමීම හරහා නායකයෙකුට අවශ්‍ය නිහතමානී ජීවන රටාව පෙන්නුම් කර ඇති බවද සෝල්හයිම් තම එක්ස් පණිවුඩයේ සටහන් කර තිබේ.

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය හරහා ඔහු හොද ආරම්භයක් ගෙන ඇති අතර සාමකාමී බහුවාර්ගික හරිත හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අවශ්‍ය සහාය ලබාදිය යුතු බවට එම එක්ස් පණිවුඩයේ සඳහන්.

කාලීන පුවත්