මේ දිනවල ශ්‍රී ලංකාවේ වායු දූෂණයේ යම් ඉහළ යාමක් පෙන්නුම් කරන බව පුවත් වාර්තා වී තිබේ. වාහනවල වායු විමෝචන භාරකාර අරමුදල සඳහන් කර සිටියේ පසුගිය කාලයට සාපේක්ෂව මේ දින කිහිපය තුළ වායු ගුණත්වය යම් අයහපත් තත්ත්වයකට පත්ව ඇති බවය. වායු ගුණත්ව දර්ශකයට (Air Quality Index – AQI) අනුව යහපත් මට්ටම ලෙස සැලකෙන්නේ 0 – 50 දක්වා වුව ද ලැබී ඇති වාර්තාවලට අනුව කොළඹ, යාපනය, වව්නියාව, මහනුවර, ගාල්ල, හම්බන්තොට සහ මොනරාගල ඇතුළු නගර 15 ක වායු ගුණත්ව දර්ශකයේ අගය 101 – 150 අතර තත්ත්වයක පැවතී තිබේ. මේ තත්ත්වය වායු දූෂණයේ සුළු මට්ටමක් වුව ද නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ. පසුගිය දිනවල වායුගෝලයේ කැලඹීම සමග ඇතිවූ කුණාටු තත්ත්වය පහව ගිය ද මීදුම් ස්වභාවයක් තවමත් දක්නට ඇත්තේ සැබවින්ම කාලගුණය කැලඹීමේ තත්ත්වය තවමත් පවතින නිසා නොව මේ වායු දූෂණ තත්ත්වය නිසා බව පෙනෙන්නට තිබේ.
යම් කිසි ස්ථානයට වායු දූෂණ කෙතරම්දැයි මැන බලන දර්ශකය ‘වායු ගුණත්ව දර්ශකය’ (Air Quality Index – AQI) යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහි අගය 0 – 500 අතර පවතින අතර වඩාත් හිතකර, යහපත් වායු තත්ත්වයක් පවතින්නේ නම් 0 – 50 දක්වා විය යුතු වේ. 50 අගය පසු කරද්දී එම ස්ථානය වායු දූෂණයට ලක්වෙමින් පවතින බවට නිගමනය කෙරේ.
ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්වයක් ඇතිවීම කෙරෙහි ඍජුවම බලපාන්නේ අප රටෙහි ඇති රථ වාහනවලින් හෝ කර්මාන්ත ශාලා මගින් වායුගෝලයට මුදා හැරෙන විවිධකාර දුමාරයන් නිසා නොව ඉන්දියාවේ බලපෑම නිසා බව වායුගෝලීය ගුණත්වය සම්බන්ධ ආයතන බොහොමයක් පෙන්වා දී තිබේ. ඉන්දියාවේ වායු දූෂණය ශ්‍රී ලංකාව කෙරෙහි බලපෑම සාපේක්ෂව මෑත කාලයේ සිට වාර්තා වූවක් වන අතර විශේෂයෙන් මෙය ශ්‍රී ලංකාව කෙරෙහි බලපාන්නේ ඉන්දියාවට සීත ඍතුව එළඹෙන මේ සමයේදීය.
වායු ගුණත්ව දර්ශකයට අනුව 0 – 50 දක්වා යහපත් ලෙසින් ද, 50 – 100 දක්වා මධ්‍යස්ථ ලෙසින් ද, 100 – 150 දක්වා සංවේදීත්වයෙන් වැඩි පුද්ගලයන් සඳහා සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටම ලෙසින් ද, 150 – 200 දක්වා සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටම ලෙසින් ද, 200 – 300 අතර නම් අතිශය සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටම ලෙසින් ද, 300 – 500 අතර අතිශය භයානක මට්ටම ලෙසින් ද වර්ග කොට තිබේ. මේ වර්ග කිරීම සිදු කොට ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගිනි. මේ දර්ශකයට අනුව මේ දිනවල ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයකම වායු ගුණත්වය ඇත්තේ අවදානම්කාරී තත්ත්වයකය. නවදිල්ලියේ මෙය 318 ක් ද, දකුණු ඉන්දියාවේ බොහෝ නගරවල 90 – 100 අතර පවතින බව ද වාර්තා වී තිබේ.
වායු දූෂණය මැනීමේ දී වාතය තුළ කෙතරම් අංශුමය ද්‍රව්‍ය (Particulate Matter) අඩංගු ද යන්නත් මැන බැලීමක් සිදු කරයි. එනම් රථවාහන, කර්මාන්ත ශාලා, පරිසරයේ ඇති විවිධ සියුම් අංශු ආදී දේවල්වලින් වාතය කෙතරම් පිරී ඇති ද යන්න මෙහිදී සොයා බැලෙන අතර මෙය PM2. 5 දර්ශකය ලෙස හඳුන්වනු ලබයි. PM යනු ‘අංශුමය ද්‍රව්‍ය’ (Particulate Matter) යන්නය. මෙය 12 μg/m3 මට්ටමට වඩා අඩු නම්, එය ස්වසනය සඳහා හොඳ මට්ටමක් යැයි පැවසේ. මෙය 35 μg/m3 මට්ටම වඩා වැඩි වූ විට අහිතකර තත්ත්වයට පත් වෙයි. මෙහි අගය 0 – 999 අතර පවතින අතර දිල්ලියෙන් මේ අගය වාර්තා වන්නේ 410 වශයෙනි. මේ අනුව බලන විට උතුරු ඉන්දීය නගරයක් වන දිල්ලි නගරයේ වායු දුෂණ තත්ත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය ඉන්දියාවට පමණක් නොව එයට තදාසන්න රටවලට ද දැඩි සේ බලපෑමක් එල්ල කරයි. ශ්‍රී ලංකාවේ වායු දූෂණයට හේතු වී ඇත්තේ මේ තත්ත්වයය.
ඔක්තෝබරයේ සිට දෙසැම්බරය දක්වා පවතින ඊශාන දිග මෝසම් තත්ත්වය නිසා උතුරු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දෙසට දැඩි සුළං ප්‍රවාහයක් ගලා එයි. මේ නිසා ශ්‍රී ලංකාවට දූෂිත වායුව සහිත සුළං වැඩි වශයෙන් හමා එන්නේ ආසන්නයේම පවතින දකුණු ඉන්දියාවෙන් නොව අධික වායු දූෂණයක් සහිත උතුරු ඉන්දියාවට අයත් දිල්ලි වැනි නගර හරහා බව පෙනේ. මේ තත්ත්වය මීට පෙර කොවිඩ් අර්බුදය පැවති සමයේ දී දකින්නට හැකි විය. එය වාර්තා වූයේ වසරේ මේ සමයේදීම වීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. එම සමයේ ප්‍රවාහනය සඳහා අතිශය දැඩි ලෙස සීමා පනවා තිබුණ බැවින් ශ්‍රී ලංකාව තුළ වාහනවලින් වායු විමෝචනයක් සිදු නොවුන ද නගර කිහිපයකින් වායු දූෂණයේ ඉහළ යාමක් පෙන්නුම් කෙරිණි. එයට හේතු වී තිබුණේ ද උතුරු ඉන්දියාවෙන් හමා ආ මෝසම් සුළං ය. මෙවර එය වාර්තා වන්නේ දෙවැනි වරටය. ඉන්දියාවේ පවතින අධික වායු දුෂණය සමග සලකා බලන කල මෙය මෙතැනින් නතර වන බවක් පෙනෙන්නට ද නැත.
මෙතෙක් කලක් ශ්‍රී ලංකාව වායු දූෂණ තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලක් දැක්වූවේ නැති නමුත් එය දැන නො සලකා හැරිය නොහැකි තත්ත්වයක් දක්වා පත්ව තිබේ. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වර්ධනය වනු ඇති අතර කලාපීය වශයෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමෙන් මිසෙක මේ තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මේ සඳහා සෙසු දකුණු ඉන්දීය රාජ්‍යයන්ගේ සහයෝගයෙන් ඉන්දියාවට මේ සම්බන්ධයෙන් බලපෑම් කළ යුතු අතර වායු දූෂණය සම්බන්ධ වඩාත් දියුණු පුරෝකථන තාක්ෂණයකින් යුක්ත උපාංග ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කළ යුතු බව විශේෂඥයෝ පෙන්වා දෙති. එවිට අඩුම තරමේ වායු දුෂණය නවතාලිය නොහැකි වුව ද එයට සූදානම් වන්නට හෝ හැකියාවක් තිබේ. කෙසේ නමුත් අනාගතයේ දී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ වායූ දූෂණ තත්ත්වයෙන් මිදෙන්නට හැකියාවක් නොමැති බව නම් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව වායූ දුෂණයේ තෝතැන්නක් වනු ඇති දැයි පරිසරවේදීන්, පාරිසරික විශේෂඥයින් සැල පහළ කරන්නට පටන් ගෙන තිබේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක