ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගැනීමත් සමග දැන් මෙරට ක්‍රිකට් ලෝලීන් ඇඟිලි ගනිමින් බලා සිටින්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනතුරු ය. තම කණ්ඩායම එම තරගාවලියේදී කවරාකාරයෙන් දස්කම් දක්වනු ඇත්දැයි දැකබලා ගැනීමට ඔවුන් තුළ ඇත්තේ දැඩි කුතුහලයකි. මෙම කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී ද විශේෂ දස්කම් දක්වනු ඇති බවට බොහෝ දෙනා තුළ බලාපොරොත්තුවක් ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවා පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී ද යම් පෙරළියක් කිරීමට ඉඩ ඇති බවයි. කණ්ඩායමේ ක්‍රීඩකයන් පවා පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් ඉතා ධනාත්මකව අදහස් දක්වා තිබෙනු දැකිය හැකි විය.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 16 වැනි දින යි. එය නොවැම්බර් 13 වැනි දින දක්වා, මාසයකට ආසන්න කාලයක් පැවැත්වෙනු ඇති අතර මෙවර සත්කාරක රට වන්නේ ඕස්ටේ්රලියාව යි. කණ්ඩායම් 16 ක් මෙවර තරගාවලියේ දී තරග වැදීමට නියමිතව තිබේ. ඒ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, නැමීබියාව යන රටවල් ය.
තරගාවලියේ Knock out වටයට පෙර වට දෙකක් පැවැත්වේ. ඒ පළමු වටය සහ සුපිරි 12 දෙනාගේ වටය යනුවෙනි. 2021 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා අනුව මේ වනවිටත් කණ්ඩායම් අටක් සුපිරි 12 වටයට සුදුසුකම් ලබා අවසන් ය. ඒ ඕස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, එංගලන්තය, නවසීලන්තය, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් ය. සුපිරි 12 වටයට යන ඉතිරි කණ්ඩායම් 4 තෝරා ගැනෙන්නේ මුලින්ම පැවැත්වෙන පළමු වටය තුළිනි. එහිදී තරග වදින කණ්ඩායම් 8 වන්නේ නෙදර්ලන්තය, නැමීබියාව, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ යන කණ්ඩායම් ය.
මේ වනවිට පළ වී ඇති අනාවැකිවලට අනුව ලෝක කුසලානය දිනා ගැනීමට වඩාත්ම ඉඩ ඇති කණ්ඩායම ලෙස ඉදිරියට පැමිණ සිටින්නේ ඕස්ට්‍රේලියාව යි. පසුගිය තරගාවලියේදී ශූරතාව දිනා ගත්තේ ද ඔවුන් ය. එවර අවසන් තරගය පැවැත්වුණේ ඔවුන් සහ නවසීලන්තය අතර යි.
2022 තරගාවලිය පැවැත්වෙන්නේ ඔවුන්ගේ රටේම වීම ඕස්ට්‍රේලියාවට විශේෂ වාසියක් හිමි කර දී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුන් ක්‍රීඩා කරනු ඇත්තේ ඔවුන්ට ඉතා හුරුපුරුදු තණතිලිවල ය. එරට පවතින තත්ත්වයන් ආසියානු කණ්ඩායම්වලට එතරම් උදව් කරන තත්ත්වයන් නොවන බව සාමාන්‍ය පිලිගැනීම යි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගතහොත් මෙරට කණ්ඩායමේ ප්‍රබලම අංශයක් වන්නේ දඟපන්දු යැවීමේ අංශය බවට පිලිගැනීමක් පවතී. නමුත් ඕස්ට්‍රේලියාව වැනි රටවල තණතිලි දඟපන්දු යවන්නන්ට ලොකු සහයක් ලබා දෙන්නේ නැත. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට තිබෙන අභියෝගයකි. 2006 වසරේ සිට ඕස්ට්‍රේලියාවවේ ටෙස්ට් තරග 45 ක් පවත්වා ඇති අතර ඒවායේදී කඩුළු 1,089 ක් ලබාගෙන ඇත්තේ වේග පන්දු යවන්නන් ය. දඟ පන්දු යවන්නන් ලබාගෙන ඇත්තේ කඩුළු 312 ක් පමණි.
මෙම තත්ත්වය තුළ දඟපන්දු අංශය ගැන වුවමනාවට වඩා බලාපෙරොත්තු තබා නොගෙන පිතිකරණය සහ පන්දු රැකීම යන අංශවලින් විශේෂ දස්කම් දැක්වීමටත්, වේග පන්දු බලඇණිය වඩාත් ශක්තිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවනු ඇත. පසුගිය තරග කිහිපයක දී පිතිකරණයේ යම් පසුබැස්මක් පෙන් වූ චරිත් අසලංක නැවත සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම ද ඉතා වැදගත් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කෙසේ හෝ වේවා, ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකුත් බලාපොරොත්තු නොවන විස්මයජනක පෙරැළි කිරීමට සමත් කණ්ඩායමක් බව ඔවුහු ආසියානු කුසලාන තරගාවලියේ දී පෙන්නුම් කළෝය. ඔවුන් ආසියානු කුසලානය දිනාගනු ඇතැයි එම තරගාවලිය ආරම්භ වන අවස්ථාවේ බොහෝ දෙනෙකු අපේක්ෂා කළේ නැත. එම තරගාවලියේ දී ඔවුන් කළ ආකාරයේ පෙරළියක් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ද කිරීමට ඔවුන්ට හැකියාව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ක්‍රීඩා කරමින් සිටින දක්ෂ සහ අධිෂ්ඨානශීලී ආකාරය නිසා බොහෝ ක්‍රීඩා ලෝලීන් තුළ මෙවැනි අපේක්ෂාවක් මතුව ඇති ආකාරයක් දැකිය හැකි වේ.
ආසියානු කුසලාන තරගාවලියේ දී ඔවුන් දැක් වූ දක්ෂතා ක්‍රිකට් ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ පවා මහත් අගැයීමට ලක්ව තිබෙනු පසුගිය දිනවල දැකිය හැකි විය. අවසන් තරගය ගැන අදහස් දක්වමින් පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි මෙවැනි සටහනක් සිය සමාජ මාධ්‍ය පිටුවක ලියා තිබිණි.
‘තරගයේ මුල් හරිය නරඹද්දී මම හිතුවේ පාකිස්තානය මේ තරගය ඒක පාර්ශ්විය තරගයක් බවට පත් කරගනීවි කියලයි. නමුත් අන්තිමේ දී ශ්‍රී ලංකාවයි එය ඒක පාර්ශ්විය තරගයක් බවට පත් කර ගත්තේ. ඔවුන් මුළු තරගාවලියත්, විශේෂයෙන් අවසන් තරගයත් ක්‍රීඩා කළ ආකාරය අගය කළ යුතුයි. ඔවුන් තමයි කුසලානයට සැබෑ සුදුස්සන්. සුබ පැතුම් !’
තවත් පාකිස්තාන ක්‍රීඩකයකු වන කම්රාන් අක්මාල් සඳහන් කර තිබුණේ එම අවසන් තරගයේ දී ශ්‍රී ලංකා පිල ක්‍රීඩාවේ වෙනම තලයක් පෙන්නුම් කළ බව ය.
නිහාල් පීරිස්