ලෝකයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික අපරාධ චෝදනා එල්ල වී තිබෙන බව අනාවරණය වී තිබේ.මෙය අතිශය බරපතල කරුණකි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46/1 යෝජනාවට පදනම්ව නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් මෙවර වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා රජය රටේ ජනතාවට එරෙහිව සිදු කරනු ලබන ආර්ථික අපරාධ සම්බන්ධයෙනි.කුමන හෝ අපරාධයක් වේතාන්විතව සිදු කරන ඒවා බව අපරාධ විද්‍යා මූල ධර්ම වල සඳහන් වෙයි.
මෙතෙක් කලක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වැඩි අවධානයක් යොමු කර තිබුණේ ශ්‍රී ලංකාවේ යුද සමයේ සහ ඉන් අනතුරුව ඇති වූ මානව හිමිකම් පිළිබඳ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙනි. නමුත් මෙවර ප්‍රථම වරට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳ ප්රශ්නය මතු කර තිබේ. ඒ අනුව රට බංකොලොත් කිරීමට වගකිවයුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට අවශ්‍ය බව මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇය අවධාරණය කළාය.
එම වාර්තාවේ සඳහන් වන අන්දමට ශ්‍රී ලංකාවේ උද්ධමනය 66.7% ක කම්පන සහගත අගයක් දක්වා වර්ධනය වී තිබේ. රටේ ජනතාව ඉන්ධන, විදුලිය, ආහාර, ඖෂධ ඇතුලු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට මුහුණ දී සිටිති. මිලියන 6.3 ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙති. ශ්‍රී ලංකාවේ පවතින මෙම තත්ත්වය හමුවේ ජනතාව ගේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ වැඩ කිරීමේ අයිතිය පවා අඩාල කර ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. මේ තත්ත්වය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් පෙන්වා දෙනු ලබන්නේ ආර්ථික අපරාධයක් ලෙසිනි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්රඥප්තියට ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇත. ඒ අනුව මානව හිමිකම් ප්රකාශනයේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකාවේ ජීවත් වන සෑම පුරවැසියකුටම ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, වෛද්‍ය ප්‍රතිකාර සහ සමාජ සේවා ඇතුළු ඔවුන්ගේ යහපැවැත්ම සඳහා වන සියලු දේවල් සම්බන්ධයෙන් ශුද්ධ වූ අයිතියක් තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ රජය විසින් ජනතාවගේ මෙම අයිතීන් පැහැර ගෙන ඇත. එය ආර්ථික අපරාධයකි. එසේම ජනතාවගේ සුභ සාධනය සඳහා වූ මුදල් සොරා කන්නේ නම් එයද ආර්ථික අපරාධයක් වේ.
මේ අතරම ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් ආදියෙහි දී ජනතාව මිය යාම, ගෑස් උදුන් පුපුරා මිය යාම, රටේ දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීම, ඖෂධ නොමැතිවීම නිසා රෝගීන් මිය යාම. ජනතාවට නිරාහාරව සිටින්නට සිදුවීම ද ආර්ථික අපරාධ වල ප්රතිඵලයන් වේ.
ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් ඉතාමත් බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත්, වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ සාධක හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමත්, ආර්ථිකමය අපරාධ සහ දූෂණය මැඩලීම සඳහා පියවර ගැනීමත් වැදගත් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසයි.නමුත් ශ්‍රී ලංකාවේ රජය ජනතාව මුහුණ දෙන මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් කෙතරම් සංවේදී ද යන්න ගැටලු සහගත ය. ප්‍රශ්න විසඳීම වෙනුවට රජය කරමින් සිටින්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන, රට වෙනුවෙන් හඬක් නඟන පිරිස මර්දනය කිරීම සඳහා පියවර ගැනීම ය.
ඉන්දු පෙරේරා