පාස්කු අපරාධකරුවන් හෙළි කර ගන්නට දෙස් විදෙස් වෑයම් රැසක් දැරූ, කාදිනල් හිමි, ඒවා අසාර්ථකව, වෙහෙසට පත්ව, කෝප ව සිටින බවක් හැඟේ.
මීගොමුවේ පැවති, ඉන්න හිටින්න ගෙයක් දොරක් නැති අයගේ රැස්වීමක් ඇමතූ කාදිනල් හිමි, දබරැඟිල්ල උරුක් කොට, තර්ජනාත්මක යයි හැඟෙන ප්‍රකාශයක් කර තිබේ. එය මුහුණු පොතේ හා යූ ටියුබයේ සඳහන් ය.
” උන්ට ඡන්දය දී, ගෙවල් ඉල්ලාගෙන මා ළඟට එන්න එපා”
ජනාධිපති පාස්කු කොමිසමේ වෙළුම් කීපයක් වසන් කිරීමට රජය කටයුතු කිරීම, ‘නින්දා සහගත යැයි’, නොවැම්බර් 09 දිවයින පත්‍රයට එතුමා පවසා තිබුණි.
” මුනුත් උන් වගේ තමයි…මුන්ගෙනුත් පාස්කු ගැටළුව විසඳෙන්නේ නෑ…අපට ස්කොට්ලන්ඩ් උසාවිය ඕනෑ නෑ. අපි දේවාධිකරණයට යනවා” යන හැඟීම දෙන ප්‍රකාශයක් ද කාදිනල් හිමි, මීගොමු ප්‍රකාශයට පෙර, කර තිබුණි.
මීට පෙර වතාවකත්, කාදිනල් හිමි දේවාධිකරණයට යන කථාව පැවසුවේය.
කාදිනල් හිමි, ගතවූ තුන් හාර මාසයේ හිටියේ රටේ නැති ගාණටය. කලක් පිලිප්පීනයේ වෙරිටාස් කතෝලික ගුවන් විදුලියේ සේවය කළ, සමන් කපිල විජේසූරිය, මෑතක ” කාදිනල් කෝ?” යයි මුහුණු පොත හරහා විමසීමක් කර තිබුණේ එහෙයින් විය යුතු ය.
අපරාධවල සුලමුල සොයන්නට තනිව ක්‍රියා කරන්නන්, නිරාකරණයක් නැති තැන වෙහෙසව, කෝපයට පත්වීම සාමාන්‍යය ය. කෝපය බෙදා ගන්නට, සගයන් නො මැතිවීමත් ඊට හේතුවකි.
වගකිවයුත්තන්, පාස්කු අපරාධයත් වළලනු ඇතැයි, අපි 2022 මුල හෙළිකර සිටියෙමු. පාස්කු අපරාධ නඩු එකක්වත් ඔප්පු කර ගත නො හැකැයි, කාදිනල් තුමා ගේ රාජ නීතිඥ නෙවිල් අබේරත්න, 2022 අගෝස්තු 14 ‘ඥානාර්ථ ප්‍රදීපයට’ හෙළිකර තිබුනේය.
සිද්ධියට දැන් මාස හතළිස් තුනකි.
ඒ කාලය තුළ, කොළඹ කතෝලික සභාවේ රදගුරු, කාදිනල් හිමි, සිද්ධිය නිරාකරණය කර ගැනීමට කළ කී දෑ කොපමණද?යන යන තැන වැඩියෙන්ම කළේ, පාලකයන්ට එරෙහි දේවාචනා ය.මෛත්‍රිපාල සිරිසේනට හා රනිල් වික්‍රමසිංහට චෝදනා කළේය. පසුව තමන් ද ආශිර්වාද කර බලයට පත් කරවූ, ගෝඨාභයට චෝදනා කළේය.(මහින්ද රාජපක්ෂට නම් චෝදනා කළේ නැත!)
පාරට බහිනවායි කීවේය.ඉරිදාවක් කළු කළේය.
අන්‍යාගමික හා පාප් සහය පැතුවේය.ජීනීවා ගියේය.බැචලේ හමුවුනේය.දේශීය හා විදේශීය ප්රවෘත්ති සාකච්ඡා පැවැත්වීය.
සිද්ධිය ගෝල්පේසයට ද ගෙන ගියේය.
පාස්කු අපරාධකරුවන් හෙළිකරවීමට හා වින්දිත පිරිස් වලට යුක්තිය ලබාදීමට ක්‍රියා කරන දෙස් විදෙස් සහයෝගීතා ව්‍යාපාරයක්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවට (එදා සභාපති, වින්ස්ටන් ප්‍රනාන්දු හිමිට) ලිපියක් යැව්වේය. ආණ්ඩු කරන්නන්, කාදිනල් වෑයම් ගණන් නො ගනිමින් හා මඟහරිමින් සිටින නිසා, සකල ශ්‍රී ලාංකික කතෝලික ජනතාවගේ ම නියෝජිත එකතුවක්( ගිහි, පැවදි, පූජක, රදගුරු) කැඳවා, කාරණය පිළිබඳව ආණ්ඩුවේ ඇස් ඇරවීමට බලගතු ලෞකික ක්‍රියා මාර්ගයක් අරඹන ලෙස යෝජනා කරමිනි. පාස්කු අපරාධ තොරතුරු එකතු කර ඒවා පුවත්පත් වලට සපයන හා අපරාධය රටට අමතක නො වන සේ, ක්‍රියා කරන ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවන ලෙස ද යෝජනා කරමිනි.(එහි පිටපතක් කාදිනල් හිමිට ද යැවීය)
රදගුරු සමුළුව ලිපිය ලද බවට ලිපියක් එවීය.
එපමණි.
ලෝකයේම අවධානය යොමු වූ, ජනාපරාධයක් පිළිබඳව ගන්නා ක්‍රියා මාර්ග, සාර්ථක කරදෙන ලෙස, කොළඹ කතෝලික සභාව කරන දේවායාචනා හා ආණ්ඩු වලට කරන බලපෑම්, ගඟට කැපූ ඉණි වන්නේ ඇයි? ඒ ගැන සිතමින් සිටියදී, බොහෝ පරණ මගපෙන්වීමක් අපේ මතකයට ආවේය.
1971 ට පෙර, කොළඹ පදවියේ කතෝලික තරුණ ව්‍යාපාරයේ රැස්විමකදී, එහි උපාධ්ය ධූරය දැරූ, ඔස්කා අබේරත්න හිමි කළ මගපෙන්වීමකි.
” ඔබ, නිරාකරණය කර ගත නො හැකි ගැටළුවකට මැදි වූ විට, බයිබලය අතට ගන්න.
කැමති පිටුවක් පෙරළන්න.එහි තැනක නිසැකවම ඔබේ ගැටළුව නිරාකරණය නොවන හේතු තිබෙනවා”
අප මෙතෙක් බයිබලය අතට ගත්තේ කරුණු තේරුම් ගන්නට ය. අවබෝධ පුළුල් කර ගන්නටය. හැබෑ ක්‍රිස්තු දැක්ම වටහා ගන්නට ය. අන්ධ විශ්වාස තර කර ගන්නට හෝ මිථ්‍යා විශ්වාස කරපින්නා ගන්නට නො වේ.අද, අප, බයිබලය අතට ගත්තේ, ඔස්කා අබේරත්න පිය මගපෙන්වීමට අනුව, 2019 පාස්කු අපරාධය පිළිබඳව කොළඹ කතෝලික සභාව දරන වෑයම්, දෙවියන් පවා පසෙක ලන්නට හේතු, ඇත්තටම එහි ඇත්දැයි සොයා බලන්නට ය. මීට පෙර කිසිදා ඒ අත්හදා බැලීම අප කර නැත.
රටක ආණ්ඩුවක්, රටේ එක් ජනකොටසක ගේ ඉල්ලීම් ගණන් නො ගෙන කරබාගෙන සිටින්නේ, ඒ ජන කොටසට, ඒ රටේ දේශපාලන බලයක් නැති හෙයිනි.
එහෙත් තමන් දේව ජනතාවක් යැයි, තමන්ම හඳුන්වා ගන්නා ජනතාවක ගේ ආයාචනා වලට, ඒ දෙවියන් ම සවන් නො දී සිටින්නේ ඇයි?
අප අතින් පෙරළුණේ බයිබලයේ යෙසායා ගේ පොතේ 815 පිටුව ය. අපේ ඇස ගියේ එහි ඇති ‘වැදගැම්මක් නැති පුද පූජා’ලේඛනයට ය.
දෙවියන් වහන්සේ, එදා, සිය අනුගාමික ජෙරුසලෙම් ජනතාව ගේ ආයාචනා නො පෙනෙන හා නො ඇසෙන සේ, ඇස් කන් වසා ගත් හේතු කීපයක්, එහි හොඳ සිංහලෙන් මෙ සේ සඳහන් වේ.ජෙරුසලෙම් ආගමික ප්‍රධානීන් හා සාමාජිකයන් දරුණු චෝදනා වලට ලක්ව සිටි නිසා ය. සොදොම් ගොමෝරාවේ බඳු පිරිමි පිරිමි ලිංගික අපචාර ඔවුන් අතර පැතිර පැවති නිසා ය. ධර්මිෂ්ඨයන් දස දෙනෙකුවත් ඔවුන`තරින් සොයා ගන්නට නො හැකි වූ නිසා ය.
ඔවුන් නිමක් නැතිව පැවැත්වූයේ, දෙවියන් අගය නො කරන පුද පූජා නිසා ය. ඒ පූජා දෙවියන්ට තිත්තව තිබූ නිසා ය. ඒ පුද පූජා වලට ජනතාව ගෙන ආවේ, දෙවියන්ට අප්‍රිය පඬුරු වූ නිසා ය. ඔවුන් ගේ දුම් පූජා හා ආගමික උත්සව දෙවියන් නො ඉවසූ නිසා ය. වන්දනා ගමන් වැඩියෙන් ම ගියේ පවු වලින් පිරී සිටි ජනයා නිසා ය.
ඒ ජනතාව, අහසට අත් ඔසොවා කළ යැදීම්, තමාට නො පෙනෙන සේ එදා දෙවියන් ඇස් වසා ගෙන සිටි බව බයිබලය හෙළි කර සිටී
ඒ ජනතාව, කෑ මොර දෙමින් කළ යාච්ඥා, තමන්ට නෑසෙන සේ, එදා දෙවියන් කන් වසාගෙන සිටි බව ද, බයිබලය පවසයි.ශ්‍රී ලංකාවේ කොළඹ කතෝලික සභා පාස්කු කන්නලව්, නො අසමින් සිටින්නේත්, එදා සිටි එකම දෙවියන් බව අපට නම් හොඳටම විශ්වාස ය.
ක්‍රිස්තියානියේ දෙවිවරු රැසක් නැති හෙයිනි.
මරා දැනුනේ ගිහියන් ය. එක් පූජක හෝ රදගුරු සිරුරක් ඒ මළමිනී අතර නොවීය. මළවුන් සඳහා ඉදිරිපත්ව ක්‍රියා කරන්නට, කාදිනල්වරයා ගිහියන් ට ඉඩ නො දෙන්නේ, ‘ගිහියන් ගේ ආරක්ෂාවට’ බව, අප හා තවත් ස්වාධීන ගිහි මූලිකයන් හතර දෙනෙකු හා කළ සාකච්ඡාවක දී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියනම පවසා දැන් හත් අට මාසයකට ආසන්නය.( සුනිල් කොස්තා, සාගර විජේසිංහ, එම්මානුවෙල් පියුම්වර්ධන, රවින්ද්‍ර කුරේරා) සිය සියළු තනි වෑයම් ගඟේ බව….
තවමත් කාදිනල් තුමා වටහා ගෙන නැතිකම, එතුමා ගේ අවාසනාවක් නො වේ. රටේ කතෝලික ජනතාව ගේ අවාසනාව ය.
රටේ කතෝලික ජනතාව, ඒ අවාසනාවන්ත තත්ත්වයට පත් කර ඇත්තේ ඇයිදැයි, ලෝකයටම ඇසෙන සේ ප්‍රශ්න කරන්නට, කතෝලික මන්ත්‍රීවරයෙකු, වර්තමාන පාර්ලිමේන්තුවේ නැතිකමේ වාසනාව හිමි, අපරාධකරුවන් ට ය.කතෝලික ජනතාවද ගෙවන බදු මුදලින් නඩත්තු කළ, පාස්කු ජනාධිපති කොමිසමට, එහි වාර්තාවෙන් කොටසක් පමණක් රටට දී අත සෝදා ගත හැකිද? එය පිහිටුවමින් නිකුත් කළ ගැසට් පත්‍රයේ ඇත්තේ, එහි වාර්තාවෙන් කොටසක් පමණක් නිකුත් කළ යුතු බව නො වේ.තම බදු මුදල් වියදම් කර සැකසූ, සම්පූර්ණ කොමිෂන් වාර්තාවම අපට දෙනු යි ඉල්ලා, රටේ කතෝලික ජනතාව, මානව අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ යුතුව තිබේ.
එසේ කළ නො හැකිදැයි, පෙර කී ගිහි මූලික පිරිස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියනමගෙන් විමසූ විට පැවසුණේ, තිස් දෙදෙනෙකුගෙන් යුත් කාදිනල් නීතිඥ පිරිස ඉදිරියේ දී එසේ ක්‍රියා කරන ඉඩ ඇති බව ය.
ඒ පැවසිල්ලට ද මේ වන විට මාස හත අටක් ගෙවී අවසන්ය.
කිතුනුවන් “ලුණු” විය යුතුව තිබේ. විසිකර පා ගා දමන්නට නො වේ. සත්‍ය සඟවන, ව්‍යාජ පාලක විෂ නසන්නට ය.
2019 පාස්කු ප්‍රහාරයේ ඇත්ත සෙවීමට ක්‍රියා කළ ජනාධිපති කොමිසමේ හා රාජ්‍ය කමිටු හතරක වාර්තා ඇතුළත් ‘තිත’ ග්රන්ථයට පණිවුඩයක් සපයා ඇති, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ එදා සභාපති, වින්ස්ටන් ප්‍රනාන්දු හිමි මෙසේ පවසයි.(සංක්ෂේපයෙනි )” 2019 පාස්කු ඉරුදින වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන සෙවීම සෑම පුරවැසියෙකු ගේම පරම යුතුකමය”” නපුරට නපුර නො කළ යුතුය. එහෙත් නපුර ප්‍රශ්න කළ යුතුය. විමර්ශනය කළ යුතුය. යුක්තිය ඉල්ලා සිටිය යුතුය.එ සේ නො කළහොත් නපුර ශක්තිමත්ව සමාජයේ රජ වන්නේය”” සත්‍ය හා යුක්තිය ඉල්ලීම වරදක් නො වේ. එය නපුර පරාජය කිරීමට ගතයුතු අනිවාර්ය පිළිවෙතය”
“අද බොහෝ අයගේ හෘදය සාක්ෂිය මැරී ඇත”කෙතරම් නම් මහරු අදහස් ද? බයිබලයේ, ජෙරමියා දිවැසිවරයා, එදා ද පැවති මළ ඇදහිල්ලක් ගැන කියා ඇත.
සිරිල් එඬේරමුල්ල