ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස ලෝකයේ ප්‍රසිද්ධය. බුදු දහම යනු අවිහිංසාව පෙරදැරි කරගත් දහමකි. අවිහිංසාව යන්න අදාල වනුයේ මිනිසුන්ට පමණක් නොවේ. සියලු සතුන්ටම එය අදාළය. මේ නිසා බොහෝ කාලයක් තිස්සේ සත්ත්ව හිමිකම් පිළිබඳ පණතක් සම්මත කරගත යුතු බව බොහෝ දෙනෙකුගෙන් ඉල්ලීමක් තිබුණත් එවැන්නක් සිදුවූයේ නැත. කෙසේ නමුත් බොහෝ කාලයකට පසු 2022 ජනවාරි 11 වැනිදා එවැනි පණතක් පාර්ලිමේන්තුවේ සම්මත විය. එසේ වුව ද එය තවමත් ක්‍රියාත්මක වන බවක් නම් නොපෙනේ. මන්ද සතුන් කෙරෙහි සිදුවන අකටයුතුකම් තවමත් පරණ පුරුදු ලෙසින්ම ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබීමය. නමුත් සෙසු ලෝකයේ තත්ත්වය එයට වඩා බොහෝ වෙනස් ය.
මිනිස් සමාජයේ වෙසෙන සැලකිය යුතු තරම් පිරිසක් මස් මාළු අනුභවය, සත්ත්ව සමින් කළ ඇඳුම් ඇඳීම, සතුන් රඟදක්වන සර්කස් නරඹන්නට යාම, සත්වෝද්‍යාන කරා චාරිකා යාම සාමාන්‍ය ජීවිතයේ කොටසක් ලෙස සිදුකරති. ඒ පුරුදු සම්බන්ධව නැවත වරක් සිතිය යුතු යැයි හැඟීමක් ඔවුන් තුළ නැත. ඒ තරමටම ඒවා ඔවුන්ගේ ජීවිතවල කොටසක් බවට පත්ව හමාරය. අපි බොහෝ දෙනෙක් සුරතල් සතුන් අළෙවියට තබා ඇති වෙළෙඳසල්වලින් අලංකාර පක්ෂීන් මිලට ගෙනැවිත් කූඩුවල දමා ‘ආදරයෙන්’ රැකබලා ගන්නට පුරුදුව සිටිමු. අපි ලෝම හෝ සේද ඇඳුම් අඳිමු. මස් මාළු පිරුණු බර්ගර් වැනි ආහාර නිතර කෑමට ගන්නෙමු. සවස් කාලයේ විනෝදයට මසුන් අල්ලන්නට පුරුදුව සිටිමු. මේ සියලු ක්‍රියාවන් නිසා, මේවාට සම්බන්ධ වන සතුන් කෙරෙහි මේ පුරුදු කෙතරම් නම් බලපෑමක් එල්ලවන්නේ දැයි අප මොහොතකට හෝ සිතන්නේ නැත. ඔබත් මේ සඳහන් කළ පුරුදු ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත්කරගෙන සිටින්නෙක් නම්, ඊළඟට අසන ප්රශ්නය වන්නේ අන්කිසිවක් නොව, ‘සතුන්ට මොකටද අයිතිවාසිකම්?’ යන්න බව නිසැකය.
පීටර් සිංගර් නම් තැනැත්තා විසින් ලියන ලද ‘ඇනිමල් ලිබරේෂන්’ නම් ග්රන්ථයෙහි සත්ත්ව හිමිකම් හෝ අයිතිවාසිකම් පිළිබඳ සඳහන් කර ඇති පරිදි එය මිනිසා හා සමාන ලෙස සතුන්ට ද සැලකිය යුතුය යන්නට වඩා ඉස්මතු කොට ඇත්තේ ‘මිනිසාට හා සමාන ගෞරවයක් ලබාදිය යුතු බවය. මෙය සත්ත්ව හිමිකම් පිළිබඳ කතා කිරීමේ දී වැදගත් කාරණයකි. සතුන්ට ද අයිතිවාසිකම් තිබිය යුතුදැයි බොහෝ දෙනා අසන පැනයට එකහෙළා දියහැකි පිළිතුර නම් ‘ඔව්’ යන්නය. සතුන්ට ද වේදනාව සහ සූරාකෑමෙන් තොරව නිදහසේ ජීවත්වන්නට අයිතියක් තිබේ.
ධම්ම පදයේ ‘දණ්ඩ වග්ගෝ’ කොටසෙහි මිනිසුන්ට මෙන්ම සතුන්ට ද එක හා සමාන අයිතිවාසිකම් ඇති බව එහි මුල් ගාථා හතරෙහි පැහැදිලිව දේශනා කොට තිබේ. එහි සත්ත්ව හිමිකම් පිළිබඳ ලෝකයේ සියලුදෙනා කතා කරන කාරණා සියල්ල අන්තර්ගත වේ. ධම්ම පද ග්‍රන්ථය රටපුරා පැතිර ගිය දේශයක් වුව ද අප රටේ සත්ත්ව හිමිකම් පිළිබඳ ප්‍රබල කතිකාවන් ඇතිවනු අසන්නට දකින්නට නොලැබෙන තරම් ය. මේවා පිළිබඳ ලෝකයාට ආදර්ශයක් දිය යුත්තේ බෞද්ධයන් අතිමහත් බහුතරයක් වෙසෙන අප රටෙන් වුව ද, අප ද ඒවා පිළිබඳ දැනමුතුකම් ලබාගන්නේ විදෙස් රටවලින් වීම දෛවයේ සරදමක් සේ හැඟේ.
බටහිර රටවල් අප රටට වඩා මහත් ඉහළින් සත්ත්ව හිමිකම් පිළිබඳ කතාබහ කරති. මේ හේතුව නිසා මෑතක සිට උතුරු ඇමරිකාවේ පාසල්වල ‘සත්ත්ව නීතිය’ විෂය නිර්දේශයට ඇතුළත් කොට තිබේ. සතුන් කෙරෙහි සිදුවන අමානුෂික දණ්ඩන් නතර කිරීම පිළිබඳ 2019 නොවැම්බර් මාසයේ දී ලෝකයේ රටවල් 32 ක් ඒකාබද්ධව ඒකමතික තීරණයකට එලැඹ තිබේ. ඕස්ටේ්රලියාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය මේ රටවල් අතරින් කිහිපයකි. සත්ත්ව සුබසාධනය පිළිබඳ විශ්ව ප්රකාශනයක් නුදුරේදී ම එළිදක්වන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් පසු වේ. විකිපීඩියාවට අනුව සත්ත්ව අයිතිවාසිකම් නීත්‍යානුකූලව පිළිගත් ලෝකයේ රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ නම සඳහන්ව නැත. ඒ පිළිබඳ අප සැබවින්ම ලජ්ජා විය යුතු නොවේද?
සතුන් අපයෝජනය හා සර්කස්වල දී හානියට පත්වීමට විරුද්ධව නීති සම්පාදනය කළ ලොව මුල්ම රට ලෙස බොස්නියාව ඉතිහාස ගත වෙයි. එමෙන්ම මාංශ පරිභෝජනය උදෙසා අශ්වයින් මරා දැමීම තහනම් කොට ඇති ලොව එකම රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.
ඉන්දියාව නිරාගමික රාජ්‍යයකි. එසේ වුවත් රාජ්‍ය අනුග්‍රහය ඇති ආගමක් ඇති අප රටට වඩා ඔවුහු සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ සිතා කටයුතු කරති. ජෛන ලබ්ධිකයන්ගේ වන්දනා නගරයක් වූ පයිල්තානා නගරය ලොව ප්‍රථම නීත්‍යානුකූලවම මස් මාංශ අනුභවයෙන් තොර නගරය බවට නම් කොට තිබේ. එහි සත්ත්ව මස් මාංශ අළෙවිය, සතුන් ඇතිදැඩි කිරීම, මසුන් ඇල්ලීම වැනි සත්ත්ව හිංසාවට අදාළ කිසිදු ක්‍රියාවකට අවසරයක් නැත.
අප නොදන්නවා වූවට පක්ෂීන්ගේ හොට කපා දැමීම, කුකුළු පැටවුන්ගෙන් විවිධ ආහාර වර්ග පිළියෙල කිරීම, චාරිත්‍ර සඳහා සත්ත්ව ඝාතනය ආදිය ලෝකයේ බොහෝ රටවල තහනමකට ලක්ව තිබේ.
රූපලාවන්‍ය නිෂ්පාදන පරීක්ෂා කිරීම සඳහා සතුන් යොදා ගැනීම ලෝකයේ බොහෝ දියුණු රටවල් තුළ අවසරයක් නැත.
පෘතුගාලයේ නිතර සිදුවන ගොන් පොර තරග, කුකුළන් කෙටවීම, බලුපොර, සර්කස් සඳහා සතුන් යොදා ගැනීම බොහෝ රටවල තහනම් ය. ගොන් පොර ආදිය සිදුවන්නේ දැඩි නීතිරීතිවලට යටත්වය.
ලෝක සත්ත්ව හිමිකම් දිනයක් සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා පැවැත්වෙන බව ඔබ බොහෝ දෙනෙක් ඇතැම්විට නොදන්නවා විය හැකිය.
ආගම දහම නිතර දෙවේලේ දේශනා කළ ද එයින් ලෝකයාට ප්‍රයෝජනයක් වන්නට නම් එය ප්‍රායෝගික තලයට ගෙන ආ යුතුය. අප රටේ බොහෝ දෙනෙක් තවමත් සිතන්නේ දූපත් මානසිකත්වයෙන් සාම්ප්‍රදායික රාමුවක් තුළ සිරකරුවන් ලෙසිනි. එසේ නොවූවා නම් සත්ත්ව හිමිකම් රැකගැනීම සම්බන්ධව ලෝකයේ රටවල් අතර මේ වන විට අප රටේ නම ඉහළ තැනක රැඳී තිබිය යුතුය. නමුත් එය එසේ සිදු වී නැත. අපට තවමත් අපේ අයිතිවාසිකම් පිළිබඳ හෝ හැඟීමක් නැත. එසේ තිබිය දී සත්ත්ව හිමිකම් පිළිබඳ කවර කතාද?
නිරංජන් චාමින්ද කරුණාතිලක