ශ්‍රී ලාංකිකයන්ට රුපියල් තිස් පන් දහසකට ඉන්දියාවට ගොස් ආපසු ඒමේ වරමක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරායේ සිට දකුණු ඉන්දියාවේ පොන්ඩිචෙරි හි කරයිකල් වරාය දක්වා වන ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය ලබන මස 15 වනදා ආරම්භ කිරීමට නියමිත ය.මෙය විවිධ හේතූන් මත කිහිප වරක් පමා වූ ව්‍යාපෘතියකි.මෙම යාත්‍රාව මඟින් කරයිකල් දක්වා යාමට සදහා පැය 04 ක කාලයක් ගත වන අතර මඟීන්ට අවශ්‍ය ආහාර පාන ආදිය ද එහි දී ලබා ගත හැක. මෙම මගී යාත්‍රා සේවය ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් මඟින් මෙහෙයවන අතර ඒ මඟින් යාමට හා ඒමට අය කරන මුදල ඩොලර් 100කි. එය ශ්‍රී ලංකා මුදලින් රු.35,000ක් පමණ වේ.මෙය ශ්‍රී ලාංකිකයකුට විදේශයක් සඳහා යාමට සහ ඒමට වැය වන අඩුම ගාස්තුව ද වේ
එක් මඟියකුට කිලෝ 100ක ගමන් මළු රැගෙන යා හැකි අතර ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රාවෙන් එක් වරකට මඟීන් 150කට ගමන් පහසුව සැලසේ. අදාල කොන්දේසි සපුරා වීසා පහසුකම් ලබා ගතහොත් ඉන්දියාවේ ඕනෑම තැනක ගමන් කිරිමේ හැකියාව ද හිමි වනු ඇත.
කරයිකල් වරාය KPPL නම් පුද්ගලික සමාගමක් මඟින් පාලනය වන්නකි.KPPL යනු පුදුචෙරි රජය විසින් ප්‍රදානය කරන ලද සහනය අනුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම සහ මාරු කිරීමේ ආකෘතිය මත සංවර්ධනය කරන ලද සර්ව කාලගුණික ගැඹුරු ජල වරායකි. 2009 අප්‍රේල් මාසයේ දී ආරම්භ කරන ලද සහ අක්කර 600 ක භූමි ප්‍රමාණයක සංවර්ධනය කරන ලද කරයිකාල් වරාය ගල් අඟුරු, සීනි, සිමෙන්ති, පොහොර, ව්‍යාපෘති භාණ්ඩ, කෘෂි භාණ්ඩ, දියර භාණ්ඩ සහ බහාලුම් වැනි විවිධ භාණ්ඩ මෙහෙයුම් හසුරුවා ඇත. ඉදිරි වසර කිහිපය තුළ,KPPL  විසින් 2025 වන විට කරෙයිකාල් සුහුරු නගරයක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ.                                                                                යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ වරාය රාජ්‍ය දේපලක් වන අතර වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් එය පාලනය වනු ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කොට ඇති සම්පූර්ණ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 144 කි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු ප්‍රවාහන කටයුතු අපට අලුත් දෙයක් නොවේ.අතීතයේ අප රටේ දුම්‍ රිය ස්ථාන මඟින් ඉන්දියාවේ මදුරාසිය දක්වා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ලදී එම ප්‍රවේශ පත්‍රය ලංකාවේ තලෙයි මන්නාරම් තොට දක්වාත් එතැන් සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වාත් වන මඟී යාත්‍රා සේවය සඳහාත් වලංගු විය.ඒ අනුව අතීතයේ දඹදිව වන්දනා කරුවන් වැඩිම දෙනෙක් මේ මාර්ගය ඔස්සේ ගොස් ඉන්දියාවේ රාමේෂ්වරමේ සිට වැටී ගත් විස්මිත පබ්බන් මුහුදු දුම්රිය පාලම ඔස්සේ උතුරු ඉන්දියාවට සේන්දු වූහ.එහෙත් 1964 මහා සුළි සුළඟින් ධනුෂ්කොඩි සහ පම්බන් දුම්රිය මග හා පම්බාන් දුම්රිය ස්ථානය විනාශ වී එහි තිබූ දුම්රිය පෙට්ටි ද ඇඹරී වී ගිය ද වසර පහක් තුළ දුම්රිය මග යළි තැනීමට ඉන්දිය ඉංජිනේරුවන්ට හැකි විය. පම්බාන් සමුද්‍ර දුම්රිය පාරේ තිබූ සුවිසල් පාලම අලුත්වැඩියා කිරීම දින 46ක් තුළ කළ බව ද කියනු ලැබේ. එසේ වූවත් ඉන් පසු ලංකාව හා ඉන්දියාව අතර තැපැල් දුම්රිය වූ ඉන්දියා කළම්බු එක්ස්ප්‍රස් දුම්රිය මඟින් විනාශ වී ගිය පම්බාන් දුම්රිය ස්ථානය අතහැර රාමේෂ්වරම් දුම්රිය ස්ථානය දක්වා මගීන් හා තැපැල් ප්‍රවාහනය කරන ලදී. මේ නිසා ඉන්දියාව හා ලංකාව අතර ගමන් ගන්නා මගීන්ට දුම්රියෙන් බැස යැත්‍රාවකින් යා යුතු දුර ප්‍රමාණය වැඩි විය.රාමේෂ්වරම දක්වා දුම්රිය තැපෑල යළි ක්‍රියාත්මක වීමෙන් පසුව ඉන්දු ලංකා දුම්රිය සේවය හා බැඳුණු ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය 1985 තෙක් ක්‍රියාත්මක විය. එහෙත්, බෙදුම්වාදී ත්‍රස්තවාදීන් උතුරු ප්‍රදේශය තම ග්‍රහණයට ගනිමින් සිටි අතර 1985 වසර වන විට ඉන්දියාවේ සිට මෙහි එන ජනතාව නතර කිරීමේ වුවමනාව ද ඔවුන් තුළ මතුව තිබිණි.රජයට ද එය මහත් හිසරදයක් විය. එයට හේතුව වූයේ මගීන්ට මුවා වී ත්‍රස්තවාදීන් සහ අවි ගෙන ඒමට ඉඩ තිබීම ය. මේ නිසා වසර 70කට ආසන්න කාලයක් දෙරට යා කළ දුම්රිය ගමන 1985 දී නවතා දැමිණි.
2009 වසරේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු දෙරට අතර පැරණි ප්‍රවාහන සම්බන්ධතාව යළි පණ ගැන්වීමට උත්සාහ දරන ලදී.2011 දී ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය ආරම්භ කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් (MOU) ද අත්සන් කරන ලදී.මේ අතර කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙස වැඩි දියුණු කිරීම සඳහා 2018 දී ඉන්දියාව ඩොලර් මිලියන 45.27 ක් ලබා දුන්නේය. ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය මගින් දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගමන් කිරීම පහසු කරවන අතර, එමගින් ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ප්‍රබෝධයක් සැලසෙනු ඇත. ශ්‍රී ලංකාවට පැමිණෙන විශාලතම සංචාරක ප්‍රභවයක් වන්නේ ඉන්දියානුවන් ය.ඔවුන් භාෂාමය සමානකම් ඇති කලාප දෙක අතර සංස්කෘතික බැඳීම් ද ශක්තිමත් කරනු ඇත.
හින්දු භක්තිකයන් වන ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා බොහෝ විට ආගමික කටයුතු සඳහා ඉන්දියාවට යති. ශ්‍රී ලංකාවේ බහුතර බෞද්ධ ජනගහනය ඉන්දියාවේ බෞද්ධ සංචාරක ස්ථාන වෙත නිතර යති.ඒ හා සමානව බොහෝ දෙමළ ජාතිකයන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ හින්දු පූජනීය ස්ථාන වෙත පැමිණෙති. ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය සේවාව ජාතීන් දෙකෙහිම වන්දනාකරුවන් සඳහා ගමන් පහසු කරනු ඇත. මේ අතර දඹදිව වන්දනා චාරිකා ආයතනයක් වන ගල්ගමුවේ පැතුම් ට්‍රැවල්ස් අධිපති චන්ද්‍රරත්න ඉලංගකෝන් කියා සිටියේ මෙම තත්වය යටතේ ඉදිරියේ දී දඹදිව වන්දනා ගමන් මාර්ග වල ද යම් වෙනසක් කිරීම සම්බන්ධයෙන් නියාමන චාරිකාවක යෙදීමට තමන් ද අදහස් කරන බවකි.                                                                     නමුදු ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය ඔස්සේ මතු විය හැකි අවදානම් තත්වයන් ද නැත්තේම නොවේ.දෙරටක් අතර සංක්‍රමණික ජාල පුළුල් වීමේ දී ඒ හරහා ආරම්භ වන නීති විරෝධී යාන්ත්‍රණයන් මඟින් යම් යම් ආර්ථික,සමාජ,දේශපාලන සේම සෞඛ්‍ය අර්බුදයන් හට ගැනීමෙ පහසු ඉඩකඩක් පවතී.ඒ කෙසේ වුව ශ්‍රී ලාංකිකයන්ට රුපියල් තිස් පන් දහසකට ඉන්දියාවට ගොස් ආපසු ඒමේ වරමක් උදා කෙරෙන ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවයේ නුගුණ හුවා දක්වන්නට තවමත් කල් වේලා වැඩි ය.                                                                                                                                                          දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර