ශේන් වෝන් ගේ මරණය ඝාතනයක් ?

ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් තරුවක් වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ශේන් වෝන් පසුගිය මාර්තු 04 වන දා තායිලන්තයේ කෝ සමුයි දූපතේ නිවාඩු නිකේතනයක් තුළ මරණයට පත් වූ සිදුවීම මේ වන විට රහසක් නොවේ. කෝ සමුයි යනු තායිලන්තයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ දූපතකි. භූගෝලීය වශයෙන් චම්ෆොන් දූපත් සමූහයේ එය සූරත් තානි පළාතේ කොටසකි. වර්ග කිලෝමීටර් 228.7 ක වපසරියකින් යුත් කෝ සමුයි, ෆුකෙට් වලින් පසු තායිලන්තයේ දෙවන විශාලතම දූපත වේ.එය සංචාරක පාරාදීසයක් වශයෙන් ද ප්‍රකට ය. මෙම සිදුවීම පිළිබදව විවිධ නිල නොලත් වෙබ් අඩවි විවිධ ආකාරයට වාර්තා කර තිබිණි. ඔහු එකී නිවාඩු නිකේතනය තුළ සම්බාහන චිකිත්සාවක් අතරතුර මිය ගිය බවත්, එය ස්වභාවික මරණයක් නොවන බවත් ඒවායේ සදහන් වී තිබිණි.

shane0

ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු “ස්වභාවික හේතූන්” මත මිය ගිය බවට නිගමනය කළ බව තායිලන්ත පොලිසිය ප්‍රකාශ කළේය.ඉන් පැවසෙනුයේ ශේන් වෝන් කිසියම් සාපරාධී ක්‍රියාවකට ලක් වී නොමැති බවත් ඉක්බිතිව ඒ සම්බන්ධ අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමට අවශ්‍ය නොවන බවත්ය.

මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරයාගේ මතය වෝන්ගේ පවුලේ අයට සහ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට දන්වා ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය..

“අතුරුදහන් වූ භාණ්ඩ පිළිබඳ වාර්තා තිබුණේ නැහැ අපරාධයකට තුඩු දෙන සලකුණක් තිබුණේත් නැහැ,” එම ප්‍රකාශය නිකුත් කිරීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සහකාර පොලිස් කොමසාරිස් ජනරාල් සූරචේට් හක්පර්න් පැවසීය. රෝහලේ අධ්‍යක්ෂවරයා ද මරණ පරීක්ෂණයෙන් පැවසුවේ ඔහු “ස්වභාවික හේතූන්” මත මිය ගිය බවයි. ඔහුගේ පියා පවසා ඇත්තේ වෝන් ඔහුගේ පපුවේ සිරවීම් ගතියක් ඇති වී තිබූ බවත්, ඔහු නිවාඩුවට ආපසු පැමිණෙන විට වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට පවා සැලසුම් කර ඇති බවත්ය.
කෝ සමුයි
හි තම හෝටල් කාමරයේ රැඳී සිටි වෝන් එදින සවස එහි පැමිණ කතා කළ තම මිතුරන්ට ප්‍රතිචාර නොදැක්වූ බව පැවසුණු අතර ඔහු වහා ප්‍රාදේශීය රෝහලකට ඇතුළු කොට මූලික හා හදිසි ප්‍රතිකාර ලබා දෙන ලදී නමුදු ඔහු ඒ වන විටත් මිය ගොස් සිටි අතර ඔහුගේ දේහය රජයේ රෝහලක නිල මරණ පරීක්ෂණයක් සඳහා මාර්තු 06 වන දා තායිලන්ත ප්‍රධාන ගොඩ බිමට ගෙනෙන ලදී. තායි බලධාරීන්ගේ මූලික විමර්ශන වලින් කියැවුණේ වෝන් හෘදයාබාධයකින් මිය ගිය බවයි.
.

නමුදු ඩේලිමේල් වෙබ් අඩවිය මෙම සිදුවීම වෙනම ආකාරයකට වාර්තා කර තිබිණ.එම නිවාඩු නිකේතනයේ ආරක්ෂිත කැමරා දත්ත, වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරමින් ඔවුන් පෙන්වා දී තිබුණේ දිවා ආහාරයෙන් පසු සවස දෙකට පමණ ශේන් වෝන් වෝන් නතර වී සිටි හෝටල් කාමරයට සම්බාහන චිකිත්සාව සදහා පුහුණුව ලැබූ කාන්තාවන් හතර දෙනෙකු ඇතුළු වූ බවත්, සවස තුනට පමණ ඔවුන්ගෙන් දෙදෙනෙකු පිටව ගිය අතර ඉතිරි දෙදෙනා ශේන් වෝන් සමඟ තවදුරටත් එකී කාමරය තුළ කාලය ගත කර ඇති බවත් ය. සවස පහට පමණ ඔහුගේ මිතුරන් ඔහුව අවදි කිරීමට සූදානම් වන විට ඔහුගේ ශරීරය නිශ්චලව පැවති බව සහ ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව ඩේලිමේල් වැඩිදුරටත් වාර්තා කර තිබිණි. මෙම මරණය සිදු වූ ආකාරය පිළිබදව නිවැරදිව තොරතුරු ලබා ගත හැකි වන්නේ හෝ මේ පිළිබදව ඇත්ත ඇති සැටියෙන්ම දන්නේ සම්බාහනයෙන් පසුවත් වෝන් නතර වී සිටි හෝටල් කාමරයේ තවදුරටත් නතර වී සිටි කාන්තාවන් දෙදෙනා පමණක් බවත් මේ වන විට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරමින් පවතින බවත් නිල නොලත් වෙබ් අඩවි වාර්තා කර තිබිණි.


ශේන් වෝන්ගේ මරණය පිළිබදව කිසිදු සැකයක් නොමැති බව තායිලන්ත සහ ඕස්ට්‍රේලියානු රජයන් පමණක් නොව, වෝන් පවුලේ සාමාජිකයන් පවා මාධ්‍ය වෙත නිවේදන නිකුත් කර තිබියදීත් විවිධ වෙබ් අඩවි මෙම මරණය එකී සම්බාහනයෙන් පසු කාන්තාවන් දෙදෙනා විසින් සිදුකරනු ලැබූ සැළසුම් සගගත මිනීමැරුමක්ය යන්න ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ.මහ ජනතාව තුළ කුතුහලය දනවන පුවත් ලුහු බැඳ ගොස් ඒවායේ අහු මුළු පිරික්සීම එතෙර මෙතෙර මාධ්‍ය කරුවන් ගේ පුරුද්දකි

තායිලන්තය යනු සම්බාහන චිකිත්සාව සදහා පමණක් නොව ලිංගික සම්බාහනය සදහා ද සාධනීය නීති ප්‍රතිපාදන ක්‍රියාත්මක වන රටක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ලෝකයේ සිව් දෙසින් සම්බාහනය සදහාම තායිලන්තයට සංචාරකයන් පැමිණීම අරුමයක් ද නොවේ. සම්බාහන චිකිත්සාවක් සිදුවන අතරතුර හෝ වේවා සම්බාහනයක් අතරතුර හෝ වේවා යමෙකු මියයාම අපරාධයක් හෝ මිනීමැරුක් ලෙස අර්ථ දැක්විය හැකි නොවේ. මන්ද යත් විවිධ පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්වයන් මත හෝ මානසික තත්වයන් මත එකී පුද්ගලයන්ට කොයි ආකාරයක හෝ ශරීර සම්බාහනයක් දරාගත නොහැකි වුවහොත් මරණය සිදුවීම අපරාධයක් ලෙස සැළකිය හැකි නොවන බැවිනි. ඊට හේතුව එම සම්භානනයේ යෙදුණු කාන්තාන් තුළ සාපරාධී චේතනාව(Mens rea)පැවති බව සනාථ කිරීමට සාක්ෂි නොමැති බැවිනි.

ශේන් වෝන් යනු ලාබාල වියේදීම දුම්පානය සදහා ඇබ්බැහි වූ පුද්ගලයෙකි. ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට ඔහු යම් මාසවල ඔහුගේ ප්‍රියතම බෙන්සන් ඇන්ඩ් හේජස් වර්ගයේ දුම්වැටි සඳහා වැයකර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙක ඉක්මවා තිබේ. එවන් තත්වයක දුම් පානයකට ඇබ්බැහි වූවෙකුට අඩු වයසක දී මෙවැනි ස්වභාවික හේතුවක් මත මරණය ළගා කරවීම පුදුමයට කාරණයක් ද නොවේ. ඔහුගේ පියා පවසා ඇති ආකාරයට විටින් විට ඔහු පෙළුණු පපුව හිරවීමේ ස්වභාවය ද දීර්ඝ කාලීන දුම්පානය කරන්නන් තුළ ඇතිවන ස්වභාවික තත්වයකි. මේ නිසා ශේන් වෝන්ගේ මරණයට වගකිව යුතු සැබෑ මිනී මරුවා දුම්වැටිය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

දුලංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර