සතුන්ට ද සතුට දනවන සත්වෝද්‍යාන වලට මුල පිරීමක්?

sathun

සත්ව සංරක්ෂණය හා සත්ව උද්‍යාන කළමණාකරණය පිළිබඳව ජාතික ඇකඩමියක් ස්ථාපනය කිරීමට වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවූව ද එය ඉතා වැදගත් තීරණයකි.මේ වන විට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, හස්ති භාරකරුවන්, මත්ස්‍යාගාර උපස්ථායකවරුන් සත්ව බාරකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 800ක් පමණ සිටිති.නමුත් ඔවුන් හට විද්‍යාතමක පුහුණුවක් සඳහා විධිමත් ආයතනයක් නැත.එය සත්ව ප්‍රජාවේ ජෛවමය පැවැත්ම සම්බන්ධ සුවිසල් අඩුපාඩුවක් සේම කාර්ය මණ්ඩලයේ වෘත්තීය භාවය නඟ සිටුවීමට ද බාධාවකි.
මේ අතර පසුගිය කාලය තුළ චීනය, ඔස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ඉන්දියාව, ලැට්වියාව, චෙකොස්ලොවේකියාව, පකිස්ථානය, මැලේසියාව හා මහා බ්‍රිතාන්‍ය වැනි රටවල්වලින් විදේශ ශිෂ්‍ය කණ්ඩායම් 300ක් පමණ වනසත්ව සංරක්ෂණය හා සත්වෝද්‍යාන කළමනාකරණය පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා මෙරටට පැමිණ තිබේ.එහෙත් ඉහත සඳහන් අවශ්‍යතාව සපිරී නොතිබීම මත ඔවුන්ගේ අරමුණු ද මුලුමනින් ඉටු කිරීමට අපට නොහැකි වී තිබේ. ඒ සත්ව සංරක්ෂණයට හා සත්ව උද්‍යාන කළමනාකරණය සදහා ජාතික ඇකඩමියක් නොමැති වීම හේතුවෙනි.එමෙන්ම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන දේශීය සිසුන්ට ද වැඩිදුඅර අධ්‍යාපනය ලබා දිය හැකි සත්ව සංරක්ෂණ හා සත්ව උද්‍යාන කළමනාකරණය පිළිබඳ ජාතික අධ්‍යයන ආයතනයක් ස්ථාපිත කිරීමට ගත් තීරණය සංකල්පමය වශයෙන් සාධනීය එකක් බව අපගේ වැටහීම ය.

සත්ව සංරක්ෂණය හා සත්ව උද්‍යාන කළමණාකරණය පිළිබඳව ජාතික ඇකඩමිය පිහිටුවීම සඳහා සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බව පවසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය වැඩිදුරටත් පවසන්නේ ඒමඟින් මෙහි දෙස් විදෙස් සිසුන් රැසකට අවශ්‍ය පහසුකම් සැපයීමට තීරණය කර තිබෙන බවයි.

සත්ව සංරක්ෂණයට සත්ව සහ කාර්ය මණ්ඩල සුබ සාධනයට හා සතුන් නැරඹීමට සහ පර්යේෂණ කිරීමට මෙරට ක්‍රියාත්මක සුවිශේෂ ආයතනයක් වන ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව උද්‍යාන තුළදී සේවක හා නිලධාරි අනවබෝධය සහ නොසැලකිල්ල නිසා සතුන් මරණයට පත් වන අවස්ථා බොහෝ ය.සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව යනු සතුන් අවිධිමත් කොට කූඩු කොට ඔවුන් නැරඹීමට එන්නවුන්ගෙන් මුදල් ලබා ගන්නා ආයතනයක් නොවේ.සත්ව සංරක්ෂණය හා සත්ත්ව හා සේවක සුබසාධනය ද එහි ප්‍රධාන අංගයකි.එසේම ජනතාවට සතුන් නැරඹීමේ අවස්ථාව ලබාදීමට අමතරව විද්‍යාර්ථීන්ට ඒ සම්බන්ධ පර්යේෂණ කිරීමට ඉඩකඩ ලබාදීම ඇතුළු අපේක්ෂා හා අභිමතාර්ථ ඉටුකර ගැනීම අද වන විට බරපතල පසුබෑමකට පත් ව තිබේ. සත්ව උද්‍යාන වල සත්ව හා සේවක සුබසාධනය කෙරෙහි දක්වන අවම සැලකිල්ල නිසා සත්ත්ව උද්‍යානවල සිටින සත්ව ප්‍රජාවට එහි සේවය කරන සේවක ප්‍රජාවට සත්ත්ව උද්‍යාන නරඹන ජනතාවටත් ඉන් සිදුව ඇති අවාසි බොහෝ ය.

මීට වසර කිහිපයකට පෙර ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත්කළ විශේෂ විගණක වාර්තාවකින් ද මෙම කරුණු ගෙන හැර දක්වා තිබේ විශේෂයෙන් සත්ව උද්‍යාන සංවර්ධන හා සුබසාධන අරමුදල සත්ව සංරක්ෂණයට සුබසාධනයට කෙසේ භාවිත කරන්නේ ද? යන්න පිළිබඳව මෙම විගණකාධිපති වාර්තාවෙන් අවධානය ලක්කර තිබිණි.ඉන් පැවසුණේ එම තත්වය කෙසේවත් සතුටු දායක නොවන බව ය.

දෙහිවල සත්වෝද්‍යානය ආසියාවේ පැරණිතම සත්ත්වෝද්‍යානයකි. ඊට අමතරව පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්ත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි උද්‍යානය සහ ‍ගෝනපොල සත්ව ආහාර ගොවිපොළ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් වේ.නමුදු මෙම ආයතනන් හි ප්‍රමිතිය පිළිබඳ තවමත් සතුටු විය නොහැක.අනෙකුත් කරුණු පසෙක තිබිය දී නියමිත වේලාව වනවිට සතුන්ට ආහාර නොලැබීම, සතුන්ට දමන ආහාර බාහිරින් පැමිණෙන සතුන් කා දැමීම හේතුවෙන් බොහෝ සතුන්ට ලැබිය යුතු ආහාර ප්‍රමාණයම නොලැබී යෑම, සතුන් සඳහා ඇණවුම් කළ ආහාර ප්‍රමාණය සැපයුම්කරුවන් විසින් නොසැපයීම නිසා සතුන්ට ප්‍රමාණවත් ආහාර වේලක් ලැබී නොතිබීම, හිඟවූ ආහාර ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නොතිබීම, අලින් සඳහා ලබාදෙනු ලබන ආහාර ඔවුන්ගේ බරෙහි වෙනස අනුව වෙනස් කළ යුතු වුව ද බර මැනීමක් සිදුකර නොතිබීම ආදිය ද නිරීක්ෂණය වී තිබේ.ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සත්ත්වෝද්‍යානවල සතුන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණයන්හි දී සතුන් සඳහා නීරෝධායන පහසුකම් නොතිබීම සත්වෝද්‍යානවල සතුන් විවිධ රෝගාබාධ සහ වෙනත් හේතු මත අකල් මරණයන්ට පත් වී තිබීම, සතුන් එක් ස්ථානයකින් තවත් ස්ථානයකට මාරු කිරීමේදී පශු වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කර නොතිබීම මත ඔවුනට සිදුවන බලපෑම් අලින් සහ ඇතුන් සඳහා ප්‍රතිකාර ලබාදීමේ දී එම ප්‍රතිකාරයන් අඛණ්ඩව සිදු වී නොතිබීම, සතුන්ට පහුසවෙන් ප්‍රතිකාර කිරීම සඳහා රඳවනයක් (Crush) නොතිබීම යන කරුණු ද විශේෂ අවධානයට යොමු වී තිබේ. නවීන සංකල්ප අනුව සතුන්ගේ ස්වභාවික හැසිරීම් රටාවන් ප්‍රදර්ශනය කළ හැකි වන පරිදි වාසස්ථානයන් නිර්මාණය විය යුතු වුවද දෙහිවල සත්වෝද්‍යානයේ ඇතැම් සතුන්ට ඉඩකඩ ප්‍රමාණවත් නොවීම, ප්‍රමාණවත් සෙවණ හා පාරිසරික කළමනාකරණයක් නොතිබීම යන කරුණු නිරීක්ෂණය වී තිබේ.. එයට අමතරව ඇතැම් සතුන්ට සහකරුවන් සහකාරියන් නොමැතිව සිටින අවස්ථාවන් ද නිරීක්ෂණය කරන ලදී.

සත්වෝද්‍යානයක් කියූ සැනින් අපට රටේ බොහෝ දෙනකුට සිහිපත් වනුයේ කූඩුවල සිරකොට ඇති සතුන් ඇති දෙහිවල සත්තු වත්තයි. ඒ ලංකාවේ අපට සියලු සතුන් එකවර නැරඹිය හැකි ආකාරයෙන් පවතින එකම ස්ථානය දෙහිවල ජාතික සත්වෝද්‍යානය නිසා ය. එහෙත්, මෙම සත්ව බන්ධනාගාර ක්‍රමය මේ වන විට ලෝකයෙන් බැහැර වෙමින් තිබේ.. ඒ විවෘත සත්වෝද්‍යාන සංකල්පය ශීඝ්‍ර ප්‍රවණතාවකට ලක් වෙමින් පවතින නිසා ය.. එය ශ්‍රී ලාංකිකයන්ට නම් තරම් අමුතු ආකාරයේ අත්දැකීමක් වුවත් මේ වන විට අප රට ද හෙමි හෙමින් ඒ මාවතට අවතීර්ණණ වනු පෙනෙයි.
පින්නවල කියූ සැනින් මතක් වන්නේ දිවයිනේ නොයෙක් ප්‍රදේශවල වනාන්තර තුළ ජීවත් ව අසරණ වූ වන අලින් හට සෙවණ සලසන පින්නවල අලි අනාථාගාරයයි.
මෙය ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමකි. මේ නවමු අත්දැකීම ජාතියට තිළිණ වන්නේ 1995 වසරේ එවක හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ සංකල්පයක් අනුව ය.නමුදු ඒ හා සබැඳි පින්නවල සත්ත්වෝද්‍යානය තවමත් සීමිත ප්‍රගතියක් අත් පත් කරගෙන ඇතත් එය ඉතා යහපත් ගමනාරම්භයක් බව නොකියාම බැරිය.මෙවැනි සත්වෝද්‍යානයක් ඉදිකිරීමේ අරමුණ වන්නේ වඩා පහසුවෙන් සතුන් මෙන් ම සතුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සංචාරකයන් වෙත ලබාදීමටයි. මෙහිදී සතුන් වනාන්තරයක දී මෙන් නොව ඉතා පහසුවෙන් නැරඹිය හැකි වේ.ජාතික වනෝද්‍යානයක සෆාරි චාරිකාවක දී එම වනාන්තරයේ සිටින සතුන් කිහිපදෙනෙකු නැරඹීමට වුව ඉවසිලිවන්ත විය යුතු ය. නොඑසේ නම් සතුන් මෙන් ම සතුන්ගේ චර්යාවන් ද නිරීක්ෂණය කළ නොහැකි වේ. ඒ තරම් ම අපහසුවකින් තොරව සතුන් නිරීක්ෂණය කොට ඔවුන්ගේ චර්යාවන් ද නිරීක්ෂණය කළකිරීමේ අවස්ථාව මෙම එළිමහන් සත්වෝද්‍යාන සංකල්පය හරහා ලැබෙනු ඇත, එය සතුන්ට ස්වභාවික ලෙස ජීවත් වීමට ඉඩ සළසමින් එම සතුන්ගේ යහපැවැත්ම මනාව තහවුරු කරන ආයතන බවට පත් කරවීමට සත්ව සංරක්ෂණය හා සත්ව උද්‍යාන කළමණාකරණය පිළිබඳව ජාතික ඇකඩමියක් ස්ථාපනය කිරීම මහෝපකාරී වනු ඇතැයි යන්න අප ගේ විශ්වාසයයි.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර