අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රය තුළ සිය නාමය රන් අකුරෙන් සටහන් කිරිමට ඉන්දියාව සමත් වූයේය. ඒ සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත යානයක් ගොඩ බැස්ස වූ පළමු රට බවට පත් වෙමිනි. මෙය ඉන්දියාව පමණක් නොව ලෝකයම ලැබූ සුවිසල් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක්කකි. මෙම දස්කමත් සමග තවත් වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාව සමත්ව තිබේ. ඒ සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බැස්ස වූ සිව්වැනි රට ලෙසිනි. මෙයට පෙර එම දස්කම කර තිබුණේ සෝවියට් රුසියාව, ඇමරිකාව සහ චීනය පමණි.
ඉන්දියාවේ මෙම ව්‍යාපෘතිය හැඳින්වුණේ චන්‍ද්‍රයාන්-3 යනුවෙනි. එය අංග තුනකින් සමන්විත මෙහෙයුමක් විය. සඳ වටා ගමන් කරන (Orbiter) යානයක්, සඳ මත ගොඩ බසින (Lander) යානයක් සහ සඳ මත ගමන් කරමින් තොරතුරු රැස් කරන රොබෝ වාහනයක් (රෝවරයක්) ඊට අයත් වූයේය. සඳ මත ගොඩ බට යානය හැඳින්වුණේ ‘වික්‍රම්’ යන නමිනි. රෝවරය නම් කර ඇත්තේ ‘ප්‍රඥාන්’ යනුවෙනි. ‘වික්‍රම්’ යානය සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපයට ගොඩ බැස්සේ බදාදා (23) පස්වරු 6.04 ටයි. ඒ සමගම ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ ආයතනයේ මෙම මෙහෙයුමට සම්බන්ධ වූ විද්‍යාඥයන් ඇතුළු කාර්ය මණ්ඩලය මහත් සතුටින් ඔල්වරසන් දෙනු දැකිය හැකි විය. දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු බි්‍රක්ස් (BRICS) කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ගොස් සිටි අගමැති නරේන්‍ද්‍ර මෝදි ද මහත් උද්දාමයෙන් යුතුව මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම අවස්ථාවට එක් වූයේය.
රට පුරා ජනතාව ගිනි කෙළි දල්වමින්, ප්‍රීති ඝෝෂා නගමින් මෙම ජයග්‍රහණය සමරන ආකාරය මාධ්‍ය වාර්තා කර තිබිණි. ‘මම ඉන්නේ දිල්ලියේ විශ්ව විද්‍යාලයක් ළඟ. මේ හැමතැනම ජය සැමරුම් වැහි වැහැලා. හරියට අපි ලෝක කුසාලන තරගාවලියක් දිනලා වගෙයි’ එක් පුද්ගලයෙකු මාධ්‍ය සමග පවසා තිබිණි.
සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත යානයක් ගොඩ බැස්ස වූ පළමු රට බවට පත්වීමට නියමිතව සිටියේ රුසියාව යි. ඔවුන්ගේ ලූනා-25 යානය පසුගිය 21 වැනි දින එහි ගොඩ බසින්නට නියමිතව සිටියේය. නමුත් අවසන් මොහොතේ ඇති වූ යම් ගැටලුවක් නිසා එය සඳ මත කඩා වැටී විනාශයට පත් විය. නමුත් රුසියාවේ අභ්‍යවකාශ ආයතනය වන රොස්කොස්මොස් ආයතනය ද ඉන්දියාවේ ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙනු දැකිය හැකි විය. ‘චන්‍ද්‍රයාන්-3 හි සාර්ථකත්වය වෙනුවෙන් රොස්කොස්මොස් ආයතනය ඉන්දියානු සගයන්ට සුබ පැතුම් පිරිනමනවා. සඳ ගවේෂණය මුළු මහත් මානව වර්ගයා වෙනුවෙන්ම වැදගත් වන්නක්. අනාගතයේ එය ඈත විශ්වය ගවේෂණය සඳහා වේදිකාවක් වනු ඇති‘ යයි ඔවුන් සඳහන් කර තිබිණි.
චන්‍ද්‍රයාන්-3 ව්‍යාපෘතියේ වැදගත්ම වැඩ කොටසක් ඉටු කරන්නේ ‘ප්‍රඥාන්’ රොබෝ රෝවරය යි. සඳ මත එහා මෙහා ගමන් කරමින් විද්‍යාඥයන්ට අවශ්‍ය තොරතුරු පෘථිවියට එවන්නේ එය යි. එය තැන්පත් කර තිබුණේ වික්‍රම් සඳ යානය තුළ ය. වික්‍රම් යානය සඳ මත ගොඩ බැස පැය කිහිපයකට පසු ප්‍රඥාන් රෝවරය එයින් එළියට පැමිණ තිබිණි.
ප්‍රඥාන් රෝවරය වික්‍රම් යානයෙන් පිටතට ඒමට මෙතරම් කාලයක් බලා සිටින්නේ විශේෂ හේතුවක් නිසා යි. වික්‍රම් යානය සඳ මත ගොඩ බසිද්දී විශාල දූවිලි කන්දරාවක් ඇවිස්සිණි. නමුත් පෘථිවියේ දී මෙන් සඳ මත දී මෙම දූවිලි ඉක්මනින් නැවත තැන්පත් වන්නේ නැත. මන්ද යත් සඳ මත ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලයක් නොමැති බැවිනි. එම දූවිලි තැන්පත් වීමට පෙර ප්‍රඥාන් රෝවරය පිටතට පැමිණියහොත් එහි කැමරා වැනි මෙවලම් මත දූවිලි තැන්පත් වීමෙන් විවිධ ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබිණි. රෝවරය පිටතට පැමිණීම පැය කිහිපයක් ප්‍රමාද කෙරුණේ මේ නිසා යි.
සඳ මතුපිට භෞතික ලක්‍ෂණ, එහි පෘෂ්ඨයට යටින් පිහිටි භූ තලවල ක්‍රියාකාරිත්වය සහ පහත වායුගෝලය අධ්‍යයනය කිරීම චන්ද්‍රයාන්-3 ව්‍යාපෘතියේ අරමුණු අතර වන බව ඉන්දියානු අභ්‍යවකාශ ගවේෂණ ආයතනයේ ප්‍රධානියා වන ශ්‍රීධර පනිකර් සෝමනාත් සඳහන් කර තිබිණි.
මෙතෙක් කිසිදු යානයක් ළඟා වී නොතිබුණු සඳෙහි මෙම දක්‍ෂිණ ධ්‍රැව කලාපය රහස් රැසක් සඟවා ගත් කලාපයක් ලෙස සැලකේ. කිසිදා හිරු එළිය නොවැටුණු ප්‍රදේශ රැසක් මෙම කලාපය තුළ පවතින අතර ඒවා වසර බිලියන ගණනක් තිස්සේ පවතින්නේ ඝන අන්ධකාරයේ ය. මෙම ප්‍රදේශවල උෂ්ණත්වය ඇතැම් අවස්ථාවල සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 250 ක් තරම් පහත අගයකට වැටෙයි.
මෙම කලාපයේ පවතින ආවාට ආදිය තුළ මිදුණු ජලය පවතින්නට ඉඩ ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසය යි. නමුත් මෙම ජලය තිබෙන්නේ සඳ මතුපිට සිට කෙතරම් ගැඹුරින් ද, ඒවා සඳ මතුපිටට ගත හැකි තත්ත්වයක තිබෙනවා ද වැනි කාරණා ගැන තවමත් නිශ්චිතව සොයාගෙන නැත. කෙසේ හෝ වේවා මෙම ජලය සොයාගන්නට හැකි වුවහොත් අනාගතයේ එයින් බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකි වනු ඇත.
ඉදිරියේ දී සඳ මත විද්‍යාගාර ආදිය ඉදි කිරීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වන අතර දක්‍ෂිණ ධ්‍රැව කලාපය මේ සඳහා ඔවුන් තෝරාගෙන ඇති කලාපයකි. මෙවැනි විද්‍යාගාර ඉදි වූ විට ඒවායේ කටයුතු කරන විද්‍යාඥයන් මාස ගණන් ඒහි ගත කරනු ඇත. එවිට ඔවුන්ට භාවිත කිරීමට ජලය අවශ්‍ය වනු ඇති බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
මෙම ජලය පෘථිවියේ සිට ගෙන යන්නට සිදුවුවහොත් එක ලීටරයක් ගෙන යාමට ඇමරිකානු ඩොලර් මිලියනයක (ලංකා රුපියල් කෝටි 32 ක) පමණ අධික වියදමක් දැරීමට සිදු වන බව සඳහන් වේ. සඳ මත ජලය සොයා ගැනීමට හැකි වුවහොත් මෙම වියදම ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ.
සඳෙහි ඇති ජලය යොදා ගනිමින් ඉන්ධන නිපදවීමට ද විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. අනාගතයේ අඟහරු වැනි ඈත ග්‍රහලෝක වෙත යවන යානා සඳහා මෙම ඉන්ධන යොදා ගැනීමට අපේක්‍ෂා කරන අතර එවිට සඳ ඉන්ධන පිරවුම් හලක් ලෙස ද භාවිත කෙරෙනු ඇත.
සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපයෙහි පිහිටි අති විශාල ආවාටයක් ගැන ද විද්‍යාඥයන්ගේ අවධානය යොමු වේ. මෙම යෝධ ආවාටයේ විශ්කම්භය කි.මී. 2,600 ක් පමණ වන අතර එහි ගැඹුර කි.මී. 8 ක් පමණ වේ. මෙහි විශාලත්වය ගැන එයින්ම සිතා ගත හැකිය. සූර්ය ග්‍රහ මණ්ඩලයේ පවතින විශාලම සහ පැරණිම ආවාටයක් ලෙස සැලකෙන මෙහි සඳ පිලිබඳ සහ අපගේ ග්‍රහ මණ්ඩලය පිලිබඳ බොහෝ රහස් සැඟවී තිබෙන්නට ඉඩ ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසය යි.
සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය ගවේෂණය කිරීමට ලොව බොහෝ රටවල් සහ අභ්‍යවකාශ ආයතන විශාල උනන්දුවක් දක්වන්නේ මෙම පසුබිම තුළ ය.
නිහාල් පීරිස්