කාන්තාවකගේ ස්ත්‍රීත්වය හඟවන ප්‍රධානම අංගය ඇගේ ප්‍රජනන පද්ධතිය යි. යෝනි මාර්ගය යනු මේ ප්‍රජනන පද්ධතියට අයත් එක් අංගයකි.
බොහෝ දෙනෙක් නොදන්නා මුත් ඉතා කලාතුරකින් මේ යෝනි මාර්ගය රහිතව ද ගැහැනු දරුවකු බිහි විය හැකිය. මෙය සුලබ නොවූවත්, ඉතා දුර්ලභ වන්නේ ද නැත. ප්‍රජනන පද්ධතියේ අස්වාභාවික පිහිටීම් ( vaginal atresia) යන රෝග කාණ්ඩයට අයත් රොකිටන්ස්කි රෝගය ( Rokitansky syndrome ) මෙම රෝග තත්ත්වයයි.
මෙහි ස්වභාවය නම් එම කාන්තාව බිලිඳියක ලෙස මවුකුසින් බිහි වන විටත් ඇයට යෝනි මාර්ගයක් නොතිබීම ය. ඒ අනුව යෝනි සිදුරක්ද නොමැත.
සාමාන්‍යයෙන් මවක් තම බිලිඳු දියණිය ගේ යෝනි පෙදෙස පිළිබඳව උනන්දුවෙන් සොයා නො බලන්නට පුළුවන . එසේ උනන්දුවෙන් බැලුවත් ඒ පිළිබඳව වැටහීමක් ඇති නොවන්නටත් පුළුවන. මෙවැනි දෙයක් සම්බන්ධයෙන් මව්වරුන් කලබලයට පත් වන්නේ තම දියණිය වැඩිවිය පැමිණෙන වයස ඉක්මවා ගියත් වැඩිවියට නො පැමිණෙන විට ය.
නමුත් පියයුරු වර්ධනය, කිහිලි හා ඉකිලි ප්‍රදේශවල රෝම වර්ධනය වීම ආදී වශයෙන් වූ ද්විතීයික ලිංගික ලක්ෂණ ඔවුන් තුළ සාමාන්‍ය අන්දමට වර්ධනය වී තිබෙනු දැකිය හැකිය.
ඉන්පසු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු වෙත දියණිය කැටුව ගිය පසු රොකිටන්ස්කි රෝගය පවතින්නේ ද යන්න පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයාට වටහා ගත හැකි වනු ඇත.
යෝනි මාර්ගයක් නොමැති වුවද මෙම දැරියන්ගේ ගර්භාෂය පැවතිය හැකිය. නමුත් එය ඉතා කුඩාවට පිහිටනු ඇත. ඇතැම් විට ගර්භාෂය පිහිටා නොතිබෙන්නට ද බැරිකමක් නැත.
සමහර අයගේ ඩිම්බ කෝෂ ද වර්ධනය වී නොමැත. ඩිම්බ කෝෂ තිබෙන අයත් නැතුවා නොවේ.
මෙලෙස රොකිටන්ස්කි රෝග තත්ත්වය ඇති කාන්තාවකට සැත්කමක් මාර්ගයෙන් යෝනි මාර්ගයක් සකස් කිරීම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් බහුලව සිදු කරනු ලබයි. ඒ අනුව ඔවුනට විවාහ වීමට හැකියාව ලැබෙතත් දරුවන් බිහි කිරීමේ හැකියාවක් නොලැබේ.
එසේම ගර්භාෂය වර්ධනය වී නැති නිසාත්, ඩිම්බ කෝෂද බොහෝවිට නොවැඩී තිබීම නිසාත් මේ අයට මාසික ඔසප් සිදු වන්නේද නැත.
ඩිම්බ කෝෂ සහ ගර්භාෂය යම් පමණකට වර්ධනය වී තිබුණොත් ඔසප් සෑදෙන්නට ඉඩ තිබිය හැකි අතර එය ද ඉතා කලාතුරකින් සිදුවන දෙයකි. බොහෝ විට ම සිදු වන්නේ ඔසප් ඇති නොවීමයි.
ඒ අනුව මෙලෙස යෝනි සිදුරක් සකසා යෝනි මාර්ගයට මාර්ගයක් ද සකස් කර දීමේ අරමුණ විවාහ වී ලිංගික ජීවිතයක් ගත කිරීමට හැකියාව ලබාදීම පමණි.
මෙවැනි විකෘතිතා හට ගන්නේ කෙසේද ?
ගැහැනු දරුවකු මව්කුස කළල අවස්ථාවේ සිටින විට ගර්භාෂය, යෝනි මාර්ගයේ උඩ කොටස, පැලෝපියන් නාලය වැනි දෑ වර්ධනය වන්නේ මුලේරියන් ප්රනාලයෙනි.
එය නිසි ලෙස වර්ධනය නොවුණහොත් මෙවැනි අස්වාභාවික පිහිටීම් හට ගනු ඇත. නමුත් ඉහත කී පරිදි සැත්කමක් මගින් මෙය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව තිබේ.
එකම අඩුව වන්නේ එම කාන්තාවට දරුවකු බිහි කිරීමට හැකියාව නොලැබීම පමණි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
ඉන්දු පෙරේරා