සමාජ ජාල වල කැළඹීමක් ඇති කළ බ්‍රිතාන්‍ය අගමැති වරයාගේ නැන්දම්මාගේ “හැන්දේ”කතාව

කීර්තිමත් ඉන්දීය කතුවරියක්, මානව හිතවාදිනියක්, ඉන්දීය මෘදුකාංග ක්ෂේත්‍රයේ පතාක යෝධයකු වන නාරායන් මූර්තිගේ ප්‍රිය බිරිඳ, පද්මභූෂන් සම්මාන ලාභිනියක මෙන්ම වර්තමාන එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ නැන්දණිය ද වන සුධා මූර්ති මෑතක දී ආහාර විචාරකයකු වන කුනාල් විජේකාර් සමග යූටියුබ් නාලිකාවක සිදු කළ සංවාදයක දී තමා කැමති ආහාර පාන වර්ග, ආහාර පුරුදු පිළිබඳ දැක් වූ අදහස්, සමාජ ජාලවල මහත් කලබගෑනියක් ඇති කරන්නට හේතු විය. ඇය ඒ පිළිබඳ දැක් ව අදහස් දැඩි ලෙස විවේචනය කරන තත්ත්වයකට බොහෝ දෙනෙක් පත් විය.

සංවාදය අතරතුර දී ඇය පවසා සිටියේ තමා සහමුලින්ම නිර්මාංශ කාන්තාවක බව ය. “මම සම්පූර්ණයෙන්ම මාංශ අනුභවයෙන් තොරයි. අඩුම තරමේ මම බිත්තර හෝ සුදු ළුෑණුවත් කෑමට ගන්නේ නැහැ. (සුදු ළුෑණු එළවළුවක් වුව ද, ඉන්දීය සමාජයේ බොහෝ දෙනෙකුගේ අදහස ඒවාට හැඟීම් පුබුදුකිරීමේ හැකියාවක් තිබෙන බවය. එබැවින් එය ශාකමය ආහාරයක් ලෙස ඇතැමුන් පිළිගන්නේ නැත.). මම පිටරටකදි හදිසියක දී වුනත් යන්නේ පිරිසිදු, සර්ව සම්පූර්ණ නිර්මාංශ ආහාර තියෙන අවන්හලකට පමණයි. මට තියෙන බය තමයි මාංශ සහ නිර්මාංශ ආහාර වර්ග දෙකම සඳහා එකම හැන්ද පාවිච්චි කරයි තියන එක. ඒක මගේ හිතට ලොකු බරක්!

“මම පිටරටකට යද්දි මගේ බෑග් එකේ කන බොන ජාති පුරවගෙන යනවා. මම චපාති 25-30 ක හදා ගන්නවා. ඒ එක්කම රෝස් කරපු රුලං පිටි අරන් යනවා. මේවාට උණු වතුර ටිකක් එකතු කළාම කෑමට ගන්න පුවළුන්. ඒ වගේම මම ලිපක් අරන් යනවා. මම මේක පුරුදු වුණේ ආච්චි අම්මගෙන්. මොන රටකට ගියත්, මම මගේ කෑම අරන් යනවා.” ඇය තවදුරටත් පවසා සිටියා ය.

සමාජ ජාල ඔස්සේ ඇයට ඇනුම්පද, බැනුම්, ගැරහුම් එල්ල වන්නට පටන් ගත්තේ එතැන් පටන් ය. වැඩි වශයෙන්ම මේවා දකින්නට ලබුණේ ටිව්ටර් වෙබ් අඩවියේ ය.

මාංශ – නිර්මාංශ හැන්දේ විවාදය

මාංශ සහ නිර්මාංශ යන ආහාර වර්ග දෙක සඳහාම එකම හැන්ද භාවිත කරන බවට මූර්ති කළ සඳහන් කිරීම සමාජ ජාල භාවිත කරන්නන්ගේ කෝපයට හේතු වී ඇති බව පෙනෙන්නට තිබේ. ඇතැමුන් එයට සරලව ප්‍රතිචාර දැක්වුව ද, ඇතැමුන් චෝදනා කරන්නේ ඇය එය තුළින් කුලවාදයක් ඉස්මතු කරන්නට උත්සාහ කරන බවය.

මේ තුළින් කුලවාදයක් ඉස්මතු වන්නේ කෙසේදැයි එකවර පැහැදිලි නොවන්නට පුළුවන. එය මෙසේ විස්තර කළ හැකිය.

ඉන්දියානුවන් බොහොමයක් නිර්මාංශ වුව ද ඔවුහු බිත්තර අනුභව කරති. නමුත් ඉන්දියාවේ බ්‍රාහ්මණ වංශිකයෝ බිත්තර පවා ආහාරයට නොගන්නා නිර්මාංශිකයන් වෙති. සුධා මූර්ති ද බ්‍රාහ්මණ වංශික කාන්තාවකි. තමා බිත්තර පවා ආහාරයට නොගන්නා නිර්මාංශික කාන්තාවක්ය යන්නෙන් කියන්නට උත්සාහ කොට ඇත්තේ, නිර්මාංශික යැයි කියා ගනිමින් බිත්තර ආහාරයට ගන්නා අය අතර තමා බ්‍රාහ්මණ වංශිකයෙන් බැවින් බිත්තර පවා ආහාරයට නොගන්නා උසස් නිර්මාංශික කාන්තාවක බව හුවා දැක්වීමට යැයි අදහස් පහළ වන්නට පටන් ගෙන තිබේ. මේ නිර්මාංශික කතාව නිසා ඉන්දියාවේ ජනතාව කුලවාදයක් ද මතුකරමින් දෙකොටසකට බෙදීමට හේතුව වී ඇත්තේ මෙයය. ඇය ‘හැන්ද’ ඉස්මතු කරමින් පෙන්වන්නට උත්සාහ දරන්නේ උසස් සහ පහත කුල තත්ත්වය බවට බොහෝ දෙනෙක් චෝදනා කරති.

කෙසේ නමුත් සමාජ ජාල තුළට ඇයට එරෙහිව පිරිසක් සිට ගනිද්දී තවත් පිරිසක් ඇයට පක්ෂපාතිව අදහස් දක්වන්නට ඉදිරිපත්ව සිටිති. ඔවුන් පවසන්නේ සුධා මූර්ති සඳහන් කොට ඇති දෙය බොහෝ දෙනෙක් අතර පවතින සාමාන්‍ය පුරුද්දක් බව ය.

සුධා මූර්ති හට පක්ෂව අදහස් දක්වන ඉන්දීය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වන අරුන් බෝත්‍රා සඳහන් කරන්නේ තමා නිර්මාංශ නොවන අයෙකු සමග ආහාර ගැනීමට අකමැති නොවන නමුත් මාංශ සහ නිර්මාංශ ආහාර වර්ග සියල්ල සඳහා එකම හැන්දක් භාවිත කරන්නේ නම් තමා එහිදී මහත් අපහසුතාවයකට පත්වන බව ය. එවැනි අවස්ථාවක දී ආහාර වේල මග හැරීම තමා සිදුකරන බව ඔහු පවසයි.

කෙසේ වෙතත් ඇයගේ බෑණනුවන් වන එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂි සුනක්, රෝස් කරන ලද මස් පිඟානක් අතින් දරාගෙන සිටිද්දී, ඒ අසල සිටින සුධා මූර්තිගේ ඡායාරූප සමාජ ජාලවල පලවන්නට පටන් ගෙන තිබේ. බොහෝ දෙනෙක් පවසන්නේ සිය හැන්ද මාංශ සහිත ආහාරයක ස්පර්ශ වේදැයි සැකයකින් සිටින ඇය, සිය බෑණනුවන් සමග මාංශ ආහාර ඇති ස්ථානයක සිටින්නේ කෙසේද යන්න ය.

ආහාරවලින් කරන්නේ මිනිසුන් එකිනෙකා සම්බන්ධ කිරීමක් වුව ද, සුධා මූර්තිගේ මේ නිර්මාංශ සහ හැඳි කතාව නිසා මිනිසුන් දෙකඩ කරන්නට හේතුවී ඇති බව ප්‍රධාන පෙළේ ඇතැම් ජනමාධ්‍ය ද වක්‍රව අදහස් දක්වමින් සිටී. කෙසේ නමුත් ආහාර ගැනීමේ පුරුද්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට අදාළ කාරණයක් මිසක වර්තමාන දියුණු සමාජය තුළ එයට කුලවාදය රිංගවා අනවශ්‍ය හිසරද ඇති නොකර ගත යුතු බව පොදුවේ බහුතරයකගේ මතය වී තිබේ. අවසානයේ අප ඉදිරියේ ඉතිරි වන්නේ ආහාර බිඳක් සොයා ගන්නට අනේවිද දුක ගැහැට විඳින මිනිසුන් සිටින ලෝකයක අර්ථයක් නොමැති වාදවිවාදවල පැටලී කාලය ගතකිරීමේ ඵලය කුමක්ද යන ගැටලුව පමණි.

– නිරංජන් චාමින්ද කරුණතිලක

එතෙර - මෙතෙර