සමාජ මාධ්‍ය තුළ වාර්තාවක් පිහිටු වූ මෙසීගේ ඡායාරූපය

messsssi

මේ දිනවල ක්‍රීඩා ලෝකයේ ජනප්‍රියම පුද්ගලයා ආජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසී යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. වසර 36 කට පසු ආජන්ටිනාවට ලෝක කුසලානය හිමි කර දීමට සමත් වූ ඔහු එරට වීරයකු බවට පත්ව සිටියි. මේ අතර මෙසී විසින් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කරනු ලැබූ ඡායාරූපයක් ද මේ වනවිට වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඉන්ස්ටග්‍රෑම් ඉතිහාසය තුළ වැඩිම මනාප (Likes) සංඛ්‍යාවක් ලබාගත් ඡායාරූපය ලෙසිනි. එහි දැක්වෙන්නේ මෙසී ලෝක කුසලානය ඔසවාගෙන සිටින ආකාරය යි. මෙම සටහන ලියන අවස්ථාව වනවිට එයට මනාප මිලියන 80 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබිණි.

ලෝක කුසලානය දිනා ගැනීම ගැන තමා බොහෝ අවස්ථාවල සිහින දුටු බව ද, දැන් තමා ලෝක ශූරයකු බැව් විශ්වාස කිරීමටත් අපහසු බැව් ද ඔහු එහි සඳහන් කර තිබේ. මේ අතර මෙසී ලෝක කුසලානයත් තුරුළු කරගෙන නිදා සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද විශාල ආකර්ශණයක් දිනාගෙන තිබිණි.

මෙසී ගේ මෙම ඡායාරූපයට පෙර එකී ඉන්ස්ටග්‍රෑම් වාර්තාවට හිමිකම් කියා තිබුණේ සාමාන්‍ය කුරුළු බිත්තරයක ඡායාරූපයකි. එය මේ වනවිට ලබා ඇති මනාප ගණන මිලියන 58 කි. එම පෝස්ටුව පළ කර තිබුණේ වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවකු බව සඳහන් වේ.

මෙසී සහ ඔහුගේ කණ්ඩායම ගැන මේ දිනවල තවදුරටත් බොහෝ අපූරු ආරංචි පළ වෙමින් තිබේ. ඔවුන් කුසලානය දිනාගෙන නැවත ආජන්ටිනාවට පැමිණි අවස්ථාවේ ඔවුන්ට ලැබුණු දැවැන්ත පිලිගැනීම ගැන ද අපූරු තොරතුරු මාධ්‍ය වාර්තා කර තිබිණි. කණ්ඩායම පිලිගනිමින් උපහාර දැක්වීම සඳහා ආජන්ටිනාවේ අගනුවර වන බුවනොස් එරීස් නගරයට ලක්‍ෂ 40 ක පමණ ජනතාවක් රැස් වූ බව පැවසිණි. එම අවස්ථාවේ මෙසී ඇතුළු ක්‍රීඩකයන් විවෘත බස් රියක නැගී වීදි සංචාරය කිරීමට නියමිතව තිබිණි. නමුත් මාර්ග සියල්ල ජනතාවගෙන් පිරී පැවති නිසා ඔවුන්ට එම වීදි සංචාරය අතරමග දී අවලංගු කර දැමීමට පවා සිදු වූ බව සඳහන් ය. පසුව ඔවුන් ජයඝෝෂා නගන ක්‍රීඩා ලෝලීන්ට ආචාර කරමින් හෙලිකොප්ටරයකින් ගමන් කළ බව මාධ්‍ය වාර්තා කළේය.

mesi

ක්‍රීඩකයන් විවෘත බස් රියේ මඳ දුරක් ගමන් කර තිබිණි. එක් අවස්ථාවක එය පාලමක් යටින් යද්දී පාලම මත සිටි ක්‍රීඩා ලෝලීන් එහි සිට බස් රියට පැන තිබූ බව ද සඳහන් විය. එක් ක්‍රීඩා ලෝලියකු බස් රියෙන් බිමට ඇද වැටෙන ආකාරය ද විඩියෝවක සටහන්ව තිබේ.

මේ අතර ආජන්ටිනාවේ පාපන්දු ජයග්‍රහණයට අදාළව පැවසෙන තවත් කතාවකින් කියැවෙන්නේ එරට මහ බැංකුව මෙසි ගේ ඡායාරූපයක් මුදල් නෝට්ටුවල මුද්‍රණය කිරීම ගැන සලකා බලමින් සිටින බවයි. 1978 වසරේ ආජන්ටිනාව පළමු වරට පාපන්දු ලෝක කුසලානය දිනූ අවස්ථාවේ ද මහ බැංකුව එය සමරමින් මුදල් කාසි නිකුත් කළේය. මේ වනවිට ආජන්ටිනාව තුන් වරක් ලෝක ශූරයන් බවට පත්ව තිබේ. දෙවැනි වරට ඔවුන් එම දස්කම කළේ 1986 වසරේ යි. ඒ සුප්‍රකට ක්‍රීඩක දියේගො මැරඩෝනාගේ නායකත්වය යටතේ ය.

මෙසීට අදාළව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පසුගිය දිනවල පළ කර තිබූ ට්විටර් සටහනක් සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති වීම ද තවත් කැප පෙනුණු සිද්ධියක් විය. ඔවුන් එම ට්ටිටර් සටහන පළ කර තිබුණේ මෙසී පාපන්දු ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටම ක්‍රීඩකයා ලෙස හැඟෙන ආකාරයෙන් යයි චෝදනා එල්ල විය. මෙම සටහනට තවත් සුපිරි ක්‍රීඩකයකු වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ රසිකයන්ගෙන් විරෝධතා එල්ල වී තිබිණි. සමහරුන් පවසා තිබුණේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය වැනි ආයතනයක් මෙයට වඩා මධ්‍යස්ථ විය යුතු බවයි. කෙසේ හෝ වේවා, මෙම ට්විටර් සටහනට එරෙහිව විවේචන එල්ල වීමත් සමග පාපන්දු සම්මේලනය සිය සටහන ඉවත් කරගෙන තිබූ බව වාර්තා වේ. වර්තමාන පාපන්දු ක්‍රීඩකයන් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨයා මෙසී ද, රොනාල්ඩෝ ද යන්න කාලයක සිටම විවාදයට ලක්වන්නකි. මේ දෙදෙනාගේම රසිකයෝ ඉතා උණුසුම් ආකාරයෙන් මේ ගැන වාද කරන අන්දම තවමත් දැකිය හැකි වේ.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්