සමාජය කියැවිය හැකි ලෙස දරුවන්ගේ සමාජ අධ්‍යයන විෂය පථය ප්‍රායෝගික කරමු

dula

පහුගිය දිනක මාධ්‍යවල පළ වූ එක්තරා සිදුවීමකින් මෙම ලිපියට ආරම්භයක් ගැනීමට මම තීරණය කළෙමි. එකී පුවත මෙසේ ය. අධික ලෙස වෙරිමතින් නිවසට පැමිණි, අලුත විවාපත් වූ එක්තරා පුද්ගලයෙකු සිය මාමණ්ඩිට දරුණු ලෙස පහර දී තිබිණි.එම පහර දීම වැලැක්වීමට පැමිණි නැන්දණියට ද ඔහු පහර දී තිබිණ.පහර දුන් පුද්ගලයා පහර කෑ පුද්ගලයාගේ දියණිය සමග විවාහ වී තිබුණේ මාස කීපයකට පෙර ෆේස්බුක් ඔස්සේ දැනහදුනා ගැනීමෙන් පසුව බවද වාර්තා වී තිබිණි. මෙම සිදුවීමෙන් පසු පහර කෑ පුද්ගලයා ලබා දී තිබූ කට උත්තරයේ සදහන් වී තිබුණේ ඔහුගේ දියණිය එකී පුද්ගලයා සමග ගොඩ නගාගත් සම්බන්ධතාවට මුල සිටම තමන් විරුද්ධ වූ බවත්,නමුත් ඒ පිළිබදව සැළකිල්ලක් නොදැක්වූ ඔවුන් දෙදෙනා හිතුමතේ ගොස් විවාහ වී තම නිවසේ ම පදිංචියට පැමිණි බවත් ය, මේ වන විට සිය බෑණා නිතරම වෙරිමතින් පැමිණ තමන්ට පහර දෙන බවත් එම තරුණියගේ පියා ප්‍රකාශ කොට තිබිණ.එම ප්‍රකාශය මඟින් ඉතා පැහැදිලි ලෙසම ඔවුන් අතර පැවැති සමාජ, ආර්ථික සහ සංස්කෘතික විෂමතාව එළිදැක්විණි.

මෙවැනි සිදුවීම් වර්තමානය වනවිට අපේ රට තුළ ඇති වෙමින් පවතින නව මාදිලියක අපරාධ දාමයක් පෙන්නුම් කරයි.මෙයට ප්‍රධාන හේතුව දරුවන් අවිචාරවත් ලෙස විවාහ වීම ලෙස සිතිය හැකිය.එහෙත් මීට මුල් වී ඇත්තේ ෆේස් බුක් ඇසුරකි. ශිෂ්ඨාචාරගත වූ මිනිසා සිය ජීවිතය ගොඩ නගාගත යුතු වන්නේ හෝ ශිෂ්ඨාචාරයේ යහපැවැත්ම නිර්මාණය වන්නේ කකුල් තුනක් සහිත කනප්පුවක් මත යැයි
කීම සුදුසු යැයි සිතමි. එම කකුල් තුන සමාජ, ආර්ථික සහ සංස්කෘතික ලෙස අර්ථ දැක්විය හැකිය. සමාජයේ ජීවත් වන සියල්ලෝම සමානාත්මතාවක් සහිත විය යුතු බව අප කෙසේ පැවසුවද එවැනි සමානාත්මතාවක් ප්‍රායෝගික වශයෙන් අපට කිසිම විටකදී දැකගත හැකි වන්නේ නැත. ඇත්තේ විවිධ තරාතිරම් සහ පැලැන්තිවලට අනුව පවතින බෙදීමක් පමණි.එය අප අකමැත්තෙන් වුව පිළිගත යුතුය.
මේ නිසාම විශේෂයෙන්ම විවාහයක් වැනි අවස්ථාවකදී ඕනෑම පුද්ගලයෙකු තෝරාගත යුතු වන්නේ තමන්ගේ සමාජ මට්ටමට ගැළපෙන කෙනෙකු පමණි. එමෙන්ම තමන්ගේ ආර්ථික මට්ටමට ගැළපෙන කෙනෙකු තෝරා ගැනීම ද විවාහයක පැවැත්ම රඳා පැවතීමට සුදුසු සාධකයක් ලෙස සැළකිය හැකි ය.

එපමණක් ද නොව සිය සංස්කෘතික පසුබිමට ගැළපෙන කෙනෙකු තෝරා ගැනීම ද වැදගත් ය. මේවා සියයට සියයක් ගැළපිය යුතු වන්නේ නැත. නමුත් යම් ආකාරයක ගැළපීමක් තිබීම විවාහයක සාර්ථකත්වයට බලපාන සාධක යැයි සිතිය හැකි ය.නමුත් අප බොහෝ දෙනකු ෆේස්බුක් ඇසුරු කිරීම් පවත්වා ගෙන යන අන්දමට ඒමඟින් මෙම යථාර්ථය ග්‍රහණය කර නොගන්නා බවක් පෙනෙයි.

සමාජ, ආර්ථික සහ සංස්කෘතික ගැලපීම් පිටුදැක හැගීම් සහ ආදරය පමණක් මුල් කරගෙන සිදුවන විවාහයන්, කෙටි කලක් තුළදීම විවිධ ගැටළුකාරී තත්වයන් හේතුවෙන් කඩාකප්පල් වීමට ඇති ඉඩකඩ ඉතා විශාලය.මක් නිසා ද විවාහයෙන් පසු එම සාධක යළි යළිත් ඉස්මතු වන් බැවිනි.එපමණක්ද නොව, එවැනි ගැටළු දිවි නසා ගැනීම් සහ සාපරාධී ක්‍රියා ඇතිවීම දක්වා වර්ධනය විය හැකි ය. විවාහයෙන් පසු ඇතිවන ගැටළුවලින් වැඩි ප්‍රතිශතයකට විසඳුම ඇත්තේ සමාජීය, ආර්ථිකමය සහ සංස්කෘතික කාරණාවන් තුළ ය. මේ නිසා මෙම කාරණා ගළපා ගැනීමෙන් සිදුවන විවාහයන් ඉහත ගැටළුවලින් යම් තරමකට නිදහස් යැයි අනුමාන කළ හැකි ය.මෙවැනි ගැටළුකාරී තත්වයන් සහ සිදුවීම් කොපමණ ඇති වුවද ඒ පිළිබදව සොයා බලන්නේ ආසන්නතම සිදුවීම කරණකොට ගෙන මිස එවැනි සිදුවීම්වලට මුල් වී ඇති හේතුව පිළිබදව විමර්ශනයන් සිදුකර නොවේ. උදාහරණයක් ලෙස ඉහත සිදුවීමේ පහර කෑ පුද්ගලයාට සිදු වූ කායික හානි පිළිබඳව සොයා බලනවා විනා එවැනි ප්‍රශ්නයක් ඇති වීමට හේතු වූ දීර්ඝ කාරණය පිළිබද සොයා බැලීමක් හෝ සමාජ විද්‍යාත්මක පසුවිපරමක් සිදු කරන්නේ නැත. ශ්‍රී ලංකාවේ එසේ වුවද ලෝකයේ දියුණු රටවල මෙවැනි ප්‍රශ්නවලදී ආසන්නතම සිදුවීමට ක්ෂණික පිළියම් කරන අතර, දීර්ඝ සිදුවීමට සමාජ විද්‍යාත්මක,සමාජ මනෝ විද්‍යාත්මක වශයෙන් විමර්ශණය කර පිළියම් යෙදීම නිරන්තරයෙන් සිදු වේ.

අනාගතයේ සමාජ පුරවැසියන් වන්නට නියමිත දරුවන්ට පාසල් අධ්‍යාපනය තුළින්ම මෙම සමාජ, ආර්ථික සහ සංස්කෘතික විෂමතා හඳුනා ගැනීමට පෙරහුරුවක් සිදු කරන්නේ නම් අනාගතයේ මෙවැනි තත්වයන් ඇතිවීම යම් මට්ටමකින් අවම කරගැනීමේ හැකියාවක් තිබේ. සමාජයේ විවිධ ස්ථර පිළිබඳ ඉගෙන ගැනීම යනු එම ස්ථර සදහා ශ්‍රේණිගත කිරීමක් ලබා දීම හෝ දරුවන් තුළ සමාජ මට්ටම්වල උස් පහත් භේදයන් පිළිබද අවබෝධයක් ඇති කිරීම නොවේ.සමාජයේ ජීවත් වන විට දැකිය හැකි සමාජීය, ආර්ථිකමය සහ සංස්කෘතිකමය විෂමතා පිළිබඳ දැනුමක් ලබා දීම පමණි.

සමාජ අධ්‍යයනය වැනි විෂය මාලාවක් තුළ සමාජයේ ප්‍රායෝගික පැවැත්මට මිනිසා සම්බන්ධ විය යුතු ආකාරය පිළිබද දරුවන් දැනුවත් වී තිබුණේ නම් ඔවුන් යම් දිනක හැගීම් මත දැඩි තීරණවලට නොඑළඹෙනු ඇතැයි සිතිය හැකි ය.

අපරාධ වැඩිවන තරමට පොලිස් ස්ථාන විවෘත කරනු වෙනුවට අපරාධ ඇති නොවන මට්ටමට සමාජ වැසියා නිර්මාණය කිරීමේ වගකීම සමාජ අධ්‍යයනය වැනි විෂය ධාරාවන් ප්‍රායෝගික වශයෙන් පුළුල් කිරීම ඔස්සේ ඉතා පහසුවෙන් සිදු කළ හැකිය. එවිට එක් පොලිස් ස්ථානයක් විවෘත කරනු වෙනුවට පොලිස් ස්ථාන දෙකක් වසා දැමිය හැකි තත්වයට සමාජය දියුණු මට්ටමකට ළගා වේ යැයි උපකල්පනය කළ හැකි ය.

දුලංජලී මුතුවාඩිගේ

ඉරා අදුරුපට