සල්ලි හොරා කන්න පුරුදු වුණු කපුටන් වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක්?

 

පසුගිය අප්‍රේල් 27 දා, එය ජාත්‍යන්තර කපුටෙන් සැමරීමේ දිනය නොහොත් International Craw and Raven Appreciation Day ලෙස හදුන්වා ශ්‍රී ලංකාව තුළ වෙන මින් පෙර කිසිම වසරකට නොවූ අයුරින් කපුටන් සැමරීමේ උත්සව විශාල වශයෙන් සංවිධානය කරනු සහ පවත්වනු ඔබ දකින්නට ඇත. මෙය ජාත්‍යන්තර වශයෙන් නම් කරනු ලැබූ දිනයක් ලෙස ප්‍රසිද්ධියට පත් වුව ද ඒ පිළිබද වැඩිදුර තොරතුරු විමසීමේ දී එවැනි දිනයක් පිළිබද සදහනක්, විශ්වාස කළ හැකි හෝ තහවුරු කළ හැකි වෙබ් අඩවි කිසිවක තිබූ බවක් පෙනෙන්නට නොතිබිණි. මේ නිසාම ජාත්‍යන්තර කපුටන් සැමරීමේ දිනය ලෙස හැදින්වුව ද එවැනි දිනයක් ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන නොමැති බවක් හෝ එය මවාපෑමක් දැයි මේ වනවිට සැකයක් මතු වී තිබේ.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන සෑම තොරතුරක්ම පාහේ අන්තර්ජාලයේ සෙවිය හැකි පහසුම ක්‍රමය විකිපීඩියා wekipedia හෝ එන්සයික්ලෝපීඩියා බ්‍රිටනිකා Encyclopedia Britanica ඔස්සේ සොයා බැලීමයි. මන්ද යත් ඒවා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහ විශ්වාස කළ හැකි වෙබ් අඩවි ලෙස ලොව පිලිගැනීමක් තිබීමයි. නමුත් මෙකී වෙබ් අඩවි දෙකම පීරා විමර්ශණය කර බැලුව ද ජාත්‍යන්තර කපුටන් සැමරීමේ දිනයක් පිළිබද සඳහනක් සොයා ගැනීමට හැකියාවක් නොලැබුණි. ඒ පිළිබඳව සදහන් ව තිබූ වෙබ් අඩවි කීපයක්ම පැවතුණ ද ඒවා විශ්වාස කළ හැකි හෝ තහවුරු කළ හැකි වෙබ් අඩවි ලෙස පිළිගැනීමක් නොමැති ඒවා බව ද සදහන් කළ යුතුය. මෙවැනි කාරණා මගින් ගම්‍ය වන්නේ එය ජාත්‍යන්තර වශයෙන් තීරණය කොට යොදා ගන්නා ලද දිනයක් විය නොහැකි බව ද යන්න තවදුරටත් විමසා බැලිය යුතු ය.

සාමාන්‍යයෙන් කපුටා යනු ලෝකය පුරා විහිදී පවතින වර්ග 350 කට ආසන්න ප්‍රමාණයකින් යුත් කුරුල්ලන් වර්ගයකි. Birdlife Fact වෙබ් අඩවිය පවසන ආකාරයට ඇමෙරිකාවේ පමණක් කපුටු ගහනය මිලියන 31 ඉක්මවා තිබේ. මේ අතරින් වර්ග හතරකට අයත් කපුටන් ගෘහාශ්‍රිතව ජීවත් වෙති. කපුටා යනු පුහුණු කිරීම මගින් විවිධ ක්‍රියාකාරකම්වලට යොමු කර ගත හැකි පක්ෂියෙකි. උදාහරණයක් ලෙස මේ කාලයේ අන්තර් ජාලය ඔස්සේ සමාජගත වී තිබෙන වීඩියෝ පට කීපයක කපුටු ක්‍රියාකාරකම් අතරින් සොරකම් කිරීමට පුහුණු කර ඇති කපුටන් වර්ග කීපයක්ම අපට දැකබලා ගත හැකි ය. ලාච්චුවක් විවෘත කර මුදල් නෝට්ටු සොරකම් කර පියාසර කරන කපුටන් සහිත වීඩියෝ රැසක්ම ඔබ පවා දකින්නට ඇතැයි විශ්වාස කරමි. සොරකම් කිරීම සදහා පමණක් නොව විවිධ ශබ්ද නැගීමට පුහුණු කළ කපුටන් ද සමහර රටවලින් වාර්තා වී තිබේ. නමුත් මේ සදහා දිගු කාලයක් තුළ නිසි පුහුණුවක් ලබා තිබීම අනිවාර්ය වේ.

කපුටා කලු පැහැති පක්ෂියෙකු ලෙස නම් කර තිබුණ ද සත්‍ය වශයෙන්ම කපුටාගේ නියමිත වර්ණය වන්නේ ඉතා තද පැහැ නිල් ය. එමෙන්ම කපුටු පිහාටු යම් ආකාරයක වෙල්වට් වැනි දීප්තිමත් සිනිදු ස්වභාවයක් ගනී. නමුත් අපට නිතර දකින්නට ලැබෙන ග්‍රාමීය කපුන් අලු පැහැයට හුරු වන අතර එය දේශගුණික හේතු මත ඇති වූ වර්ණයකි. මේ නිසාම එවැනි හේතු මත ඇති වූ වෙනස්වීම් මත කපුටු විශේෂ වෙන් කිරීම සදහා නිර්නායකයක් ලෙස ද එය යොදාගෙන තිබේ. කපුටු රැලක සාමාන්‍යයෙන් කපුටන් 10 ත් 40 ත් අතර ප්‍රමාණයක් සිටිති. ඔවුන්ගෙන් පිට වෙනත් රැලක කපුටෙකු එකී රැලට එක් වුවහොත් ඔවුන් අතර සටනක් ඇති වී සටනින් ජයගත් කපුටා පමණක් සිය රැලේ තබාගෙන පරාජය වූ කපුටා රැලෙන් පන්නා දැමීම එහි සාමාන්‍ය ක්‍රමයයි.

විවිධ මතයන්වලට අනුව කපුටා පිළිබද අඳුරු විශ්වාසයන් සහ කපුටා පෙර නිමිති දකින්නෙකු ලෙස ද සමාජය තුළ විශ්වාසයක් පවතී. එය සිංහල සමාජය තුළ පමණක් නොව භූතාත්ම සහ මායාව විශ්වාස කරනු ලබන වෙනත් සංස්කෘතීන් තුළ ද දැකිය හැකි ලක්ෂණයකි. මේ නිසාම කපුටා යනු යම් ආත්මයක් විසින් එවනු ලබන භූත ආත්මක් ලෙස විශ්වාස කරන රටවල් ද දියුණු ලෝකයේ පවතී.

කෙසේ වුව ද මෙවැනි බොහෝ කරුණු මත පදනම් ව ජාත්‍යන්තර වශයෙන් කපුටා සැමරීම සදහා වසරේ යම් නිශ්චිත දිනයක් වෙන් කිරීම ඉතා සුදුසු ය. නමුත් මේ දක්වාත් අපට දකින්නට ඇත්තේ අප්‍රේල් 27 දිනය ජාත්‍යන්තර කපුටෙන් සැමරීමේ දිනය ලෙස නම් කර තිබීම මවාපෑමක් පමණක් බවයි.ඒ සඳහා වන ආසන්නතම හේතුවක් පෙන්නුම් කෙරුණ ද ඒ පිළිබඳව විස්තර කිරීම ඕපාදූප ගණයට යා හැකි බැවින් මම නිහඬ වෙමි

දුලංජලී මුතුවාඩිගේ

Uncategorized