සහරා කාන්තාරයට ඇද හැළුණු මහ වැස්සේ මතු ප්‍රතිඵල කුමක් විය හැකි ද?

ජීවිත කාලයක දී එක් වරක් පමණක් දැකිය හැකි ස්වාභාවික සංසිද්ධියක් පසුගිය දා සහරා කාන්තාර බිමෙන් වාර්තා විය. ඒ වසර 50 ක කාලයකට පසුව සහරා වැලි කතරට වැසි ඇද හැලී එහි ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වීමය. අධික උණුසුම් බවින් යුක්ත, වියළි, ජීවත් වනු තබා ඒ පිළිබඳ සිතා ගැනීමට පවා නොහැකි වැලි කතරක් අධික වර්ෂාවට නතුවීමෙන් පසු මේ වන විට ඇතැම් කොටස්වල තාවකාලික විල් පවා නිර්මාණය වී තිබෙනු දැකිය හැකිය. පරිසරවේදීන්, භූ විද්‍යාඥයන් සහ ස්වාභාවික විද්‍යාඥයන් මේ සිදුවීම අනාගතය කෙරෙහි කෙසේ බලපෑම් කරනු ඇත්ද යන්න පිළිබඳ අනතුරු හඟවමින් සිටින අතර මෙවන් අසාමාන්‍ය සිදුවීමක දීර්ඝ කාලීන පාරිසරික සහ භූ විද්‍යාත්මක බලපෑම කුමක් වනු ඇතිදැයි විද්වත්හු විමසා බලිමින් සිටිති.

වර්ග කිලෝමීටර් මිලියන 9 කට වැඩි භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින සහරා කාන්තාරය ලොව ඇති උණුසුමින් වැඩිම ප්‍රදේශය ලෙස සැලකේ. එය උතුරු අප්‍රිකාවේ මොරොක්කෝවේ සිට නැගෙනහිරින් බටහිර අප්‍රිකාව දක්වා පැතිර යයි. අධික උෂ්ණත්වය, වර්ෂාව නොමැති වීම සහ වරින් වර වෙනස් වන වැලි කඳු ආදිය මෙහි පාරිසරික ස්වභාවය තීරණය කරයි. අතීතයේ දී මෙයට ඉඳහිට හෝ වර්ෂාව පතිත වුව ද, මෑත ඉතිහාසයේ එවැනි තත්ත්වයක් දකින්නට තිබුණේ නැත.

කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ මේ කලාපය තුළ ප්‍රබල කුණාටු මාලාවක් ඇති වීම අසාමාන්‍ය වායුගෝලීය රටාවක් බවය. අතීතයේ තිබී වියළී ගිය, භූගෝල විද්‍යාවේ දී ‘මළ දොළ’ වශයෙන් හඳුන්වනු ලබන ගංගා පතුල්වල ජලය පිරී විල් නිර්මාණය වී, දශක ගණනාවක් පුරා දැකිය නොහැකි වූ අපූරු දර්ශනයක් මැවී තිබේ. මෙය අසාමාන්‍ය සිද්ධියක් වන අතර, නිතර කතා බහට ලක් වන මාතෘකාවක් වන ගෝලීය කාලගුණ විපර්යාසය යන කාරණය තුළ අනාගතයේ දී කෙතරම් වේගයෙන් හා ප්‍රබලව මෙවැනි සිදුවීම් අත්දකින්නට සිදුවනු ඇතිදැයි සොයා බැලිය යුතුව තිබේ.

ස්වාභාවික විද්‍යාඥයින් සහ පරිසරවේදීන් සහරාව ජලයෙන් යට වීම දෙස බලන්නේ වෙනත් ආකාරයකටය. එක් අතකින්, ක්ෂණිකව පැමිණි ජලය නිසා ශාක සහ සතුන් සහිත තාවකාලික ක්ෂේම භූමි නිර්මාණය වී තිබේ. ප්‍රාදේශීය වන ජීවීන් වන කාන්තාර නරි සහ සංක්‍රමණික පක්ෂීන් අලුතින් ඇති වූ ජල මූලාශ්‍ර කරා විශාල වශයෙන් ඇදී එනු දැකිය හැකිය. මෙතෙක් කල් අක්‍රිය තත්ත්වයේ පැවති කාන්තාර ශාක වන ඇකේෂියා සහ මාංසල ශාක වර්ගවල බීජ සශ්‍රීක වී තෙතමනය සහිත පසෙහි ව්‍යාප්ත වීම නිසා කෙටි කාලීන වශයෙන් සහරාවේ පාරිසරික පද්ධතිය වර්ෂාවේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටියි. 

ස්වාභාවික විද්‍යාඥයින් සහ පරිසරවේදීන් සහරාව ජලයෙන් යට වීම දෙස බලන්නේ වෙනත් ආකාරයකටය. එක් අතකින්, ක්ෂණිකව පැමිණි ජලය නිසා ශාක සහ සතුන් සහිත තාවකාලික ක්ෂේම භූමි නිර්මාණය වී තිබේ. ප්‍රාදේශීය වන ජීවීන් වන කාන්තාර නරි සහ සංක්‍රමණික පක්ෂීන් අලුතින් ඇති වූ ජල මූලාශ්‍ර කරා විශාල වශයෙන් ඇදී එනු දැකිය හැකිය. මෙතෙක් කල් අක්‍රිය තත්ත්වයේ පැවති කාන්තාර ශාක වන ඇකේෂියා සහ මාංසල ශාක වර්ගවල බීජ සශ්‍රීක වී තෙතමනය සහිත පසෙහි ව්‍යාප්ත වීම නිසා කෙටි කාලීන වශයෙන් සහරාවේ පාරිසරික පද්ධතිය වර්ෂාවේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටියි.

කෙසේ නමුත් පරිසරවේදීන් පවසන්නේ මේ ප්‍රතිලාභ තාවකාලික බවය. ප්‍රධාන පෙළේ කාන්තාර පාරිසරික විද්‍යාඥවරියක වන ආචාර්ය අයිෂා බෙනාවී පෙන්වා දෙන්නේ, බොහෝ කාලයක් තිස්සේ නිසරු යැයි සැලකූ භූමියක තාවකාලිකව ජීවය පැන නැගී ඇති නමුත්, මේ මට්ටමින් අඛණ්ඩව තෙතමනය පවත්වාගෙන යන්නට තරම් සහරාව හැඩගැසී නොමැති බවය. එමෙන්ම, බොහෝ ශාක සහ සත්ත්වයින් හැඩ ගැසී ඇත්තේ කටුක පාරිසරික තත්ත්වයන්ට වන බවත්, එක දිගට පවතින තෙතමනය සහිත කාල පරිච්ඡේදයන් නිසා මේ සියුම් සමබරතාව බිඳ වැටෙන්නට ඉඩ තිබෙන බවත් ඇය පවසන්නීය.

එමෙන්ම, ක්ෂණිකව ජලය මතු වීම නිසා මේ කලාපය තුළ ආක්‍රමණශීලී විශේෂයන් සහ ලෙඩ රෝග ඇතිවන්නට ද ඉඩ තිබේ. එක් රැස් වී ඇති ජලය පල් වීම නිසා මේ කාන්තාර පරිසරයට නුහුරු ලෙඩ රෝග පතුරුවන මදුරුවන් සහ වෙනත් පලිබෝධකයන් සඳහා මෙය වාසභූමියක් වන්නට ද ඉඩ තිබේ. මේ තත්ත්වයන් කාන්තාරයට මායිම් වී ඇති මානව ජනගහනයන්ට සහ පශු සම්පත් කෙරෙහි තර්ජනයක් එල්ල කරන්නට ද ඉඩ තිබේ.

ජලයෙන් යට වීම සහරාවේ භූමි දර්ශනයට දීර්ඝ කාලීනව කුමනාකාරයේ බලපෑමක් එල්ල කරනු ඇති ද යන්න පිළිබඳ භූගෝල විද්‍යාඥයින් ද අවධානය යොමු කොට තිබේ. කාන්තාරවල පවතින ආවේණික ගුණාංගයක් වන විටින් විට වෙනස් වන වැලි කඳු, වර්ෂාව නිසා සැලකිය යුතු තරමේ වෙනස්කම්වලට බඳුන් විය හැකිය. ජලය නිසා මේ වැලි කඳු ඛාදනය වී ඒවායේ හැඩය වෙනස් විය හැකි අතර, එය කාන්තාරයේ භූ ලක්ෂණය වෙනස් කරන්නට හේතු විය හැකිය.

කාන්තාර භූමි දර්ශන පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය හමීඩ් එල්-තයෙබ් පවසන්නේ, ජලය නිසා වැලි ස්තර මෘදු බවට පත් වීම හේතුවෙන්, ඒවා සුළඟ මගින් සිදුවන සාමාන්‍ය ඛාදනයට වඩා ඉක්මනින් බිඳ වැටෙන්නට ඉඩ කඩ ඇති බවය. එමෙන්ම, මේ නිසා නව භූ ලක්ෂණ සහ පහත්බිම් නිර්මාණය විය හැකි අතර, ඒ හේතුවෙන් දැනට ස්ථාපිත වී ඇති සහරා කාන්තාර සිතියම බොහෝ සෙයින් වෙනස් වන්නට ද හැකි බව ද ඔහු පවසයි.

එමෙන්ම, වර්ෂාව නිසා තාවකාලිකව ඇති වූ විල් සහ ගංගා නිසා මේ කලාපයේ ඇති භූගත ජල සංචිත කෙරෙහි දීර්ඝ කාලීන බලපෑම් ඇති කරන්නට ද ඉඩකඩ තිබේ. කාන්තාර ජල ධාරා තුළට ජලය ගලා ඒම නිසා, භූ ගත ජල සංචිත ප්‍රතිපූරණය වන්නට හැකියාව තිබේ. එය මෙසේ සැඟවුණු ජල මූලාශ්‍රවලින් ප්‍රයෝජන ගන්නා කාන්තාර ප්‍රජාවන්ට මහත් ප්‍රයෝජනයක් විය හැකිය. කෙසේ නමුත්, මේ ජල ධාරා ජලයෙන් පෝෂණය වේ ද, නොඑසේ නම්, පෝෂණය වන්නට පෙර වාෂ්ප වී යනු ඇති ද යන්න පැවසීමට තවමත් ඉක්මන් නොවිය යුතු බව මහාචාර්ය එල්-තයෙබ් පවසයි.

කාලගුණ විද්‍යාඥයින් සහ පරිසරවේදීන් මෙය දකින්නේ ගෝලීය කාලගුණ විපර්යාසය තුළ සිදු විය හැකි, පුරෝකථනය කළ නොහැකි ස්වභාවයක් ලෙසිනි. සහරාව ජලයෙන් යට වීම යනු හුදෙක්, එක් හුදෙකලා සිදුවීමක් ලෙස පමණක් ඇතැමෙකුට පෙනිය හැකි වුව ද, එය දිනෙන් දින උණුසුම් වෙමින් පවතින ලෝකය මගින් ඇති කළ පුළුල් කාලගුණ රටාවක් ලෙස විශේෂඥයෝ මෙය අර්ථ දක්වති. මෑත වසරවල දී ලෝකය තුළ ප්‍රබල සැඩ කුණාටු, ටයිෆූන් සහ තාප තරංගවල වර්ධනයක් දකින්නට ලැබුණු අතර, සහරාව ජලයෙන් යට වීම යනු පෘථිවියේ කාලගුණය වෙනස් වීමේ තවත් එක් නිදසුනක් වන්නට ද ඉඩ තිබේ.

අප්‍රිකානු කලාපයේ කාලගුණය වෙනස් වීම පිළිබඳ අධ්‍යයන ආයතනයේ කාලගුණ විද්‍යාඥ ආචාර්ය ඉබ්‍රාහිම් ඔස්මාන් මෙසේ පවසයි. “වැඩිවෙමින් පවතින උෂ්ණත්වය සහ තදාසන්න කලාපවල සිදු වන වන සංහාරය නිසා මෑත දශකයන් තුළ අප දුටුවේ සහරාව කෙමෙන් කෙමෙන් පුළුල් වෙමින් පවතින තත්ත්වයක්. දැන් අපි මේ තත්ත්වයේ දැඩි දෝලනාත්මක තත්ත්වයක් දකිනවා. දැන් නියඟය වෙනුවට අපට ජලයෙන් යට වන ස්වභාවයක් ඇති වී තිබෙනවා. මේ ආන්තිකයන් දෙකම භයානක කාලගුණික තත්ත්වයක්.”

නිතර නිතර සිදු වන මෙවැනි අසාමාන්‍ය තත්ත්වයන් ප්‍රාදේශීය සහ ගෝලීය පාරිසරික පද්ධතිය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බව විශේෂඥයෝ අනතුරු හඟවති. වර්ෂාව නිසා ඇති වූ තාවකාලික සහනදායී තත්ත්වයට ඇත්තේ කෙටි ආයුෂයකි. මන්ද, කාලගුණය වෙනස් වීමේ ඊළඟ අදියර මගින් කාන්තාරකරණය තවත් වේගවත් වී උතුරු සහ බටහිර අප්‍රිකානු කලාපයේ ඇති සශ්‍රීක කලාප කරා ද සහරාව ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති වන්නට ඉඩ තිබේ.

වර්ෂාව නිසා පෘථිවියේ ඇති වියළිතම ස්ථානවලින් එකක් ජලයෙන් යට වී, විරල ගණයේ අලංකාරයක් ඇති කළ නමුත්, කාලගුණ විපර්යාසය නම් මුහුණුවර තුළ එය පෙන්වන්නේ පාරිසරික පද්ධතිය බිඳ වැටීමේ අවදානාත්මක කතාවය. අනාගතයේ ඇති විය හැකි ආන්තික කාලගුණික සිදුවීම්, ගංවතුර, නියඟ හෝ උෂ්ණත්වයේ ඉහළ පහළ යෑම් යැයි ප්‍රකාශ වන්නට ඉඩ ඇති නමුත්, ඒවායේ බලපෑම අවම කිරීම සඳහා වැඩි වශයෙන් පර්යේෂණ සහ වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග ගන්නැයි ස්වාභාවික විද්‍යාඥයෝ සහ පරිසරවේදීහු ඉල්ලා සිටිති. 

වර්ෂාව නිසා පෘථිවියේ ඇති වියළිතම ස්ථානවලින් එකක් ජලයෙන් යට වී, විරල ගණයේ අලංකාරයක් ඇති කළ නමුත්, කාලගුණ විපර්යාසය නම් මුහුණුවර තුළ එය පෙන්වන්නේ පාරිසරික පද්ධතිය බිඳ වැටීමේ අවදානාත්මක කතාවය. අනාගතයේ ඇති විය හැකි ආන්තික කාලගුණික සිදුවීම්, ගංවතුර, නියඟ හෝ උෂ්ණත්වයේ ඉහළ පහළ යෑම් යැයි ප්‍රකාශ වන්නට ඉඩ ඇති නමුත්, ඒවායේ බලපෑම අවම කිරීම සඳහා වැඩි වශයෙන් පර්යේෂණ සහ වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග ගන්නැයි ස්වාභාවික විද්‍යාඥයෝ සහ පරිසරවේදීහු ඉල්ලා සිටිති.

ජලයෙන් යට වීම නිසා හේතුවෙන් සහරාවේ අනාගතයට කුමක් වේදැයි බොහෝ දෙනෙක් අනුමාන කරන්නට පටන් ගෙන තිබේ. අඛණ්ඩවම වර්ෂාව ඇද වැටෙනු ඇතිද, එසේත් නැත්නම් තවත් වසර පනහක් ගත වන තාක් වියළි තත්ත්වයෙන්ම පසු වනු ඇතිද? කෙසේ නමුත් මේ සිදුවීම් මගින් ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන භූදර්ශනවලින් එකක් පිළිබඳ සිතන ආකාරය සහ එහි අනාගතය, අනපේක්ෂිත බලවේගයන් මගින් හැඩ ගස්වන බව නම් නිශ්චිතවම පැවසිය හැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර