ගුප්ත දේ ලුහු බැඳීමේ සහජතාවක් මිනිසා තුළ තියනවා.නමුත් මේ සහජතාව සමාජ සංස්කෘතික කරුණු මත වෙනස් වන අයුරක් අපිට දැක ගන්න පුළුවන් අපේ ජන සමාජයේ පවතින ගුප්ත විශ්වාස වලට අනුව “දේව භාෂාව” කියන ගුප්ත විෂය ගැනත් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තියනවා.එනිසා මේ දේව භාෂාව ගැන සමාජයෙන් නිතර පැන නඟින ප්‍රශ්න පහලොවකට පිළිතුරු සොයා දෙන්න අපි උත්සාහ කළා
01:දේව භාෂාව කියන්නේ මොකක්ද?
සාමාන්‍යයෙන් අපේ සමාජයේ දේව භාෂාව කියලා ව්‍යවහාර වෙන්නේ දේව වරමින් ශාස්ත්‍ර කියන තැන්වල ඒ ශාස්ත්‍ර කාරයන්; බොහෝ විට ශාස්ත්‍ර කාරියන් එක් වරම කතා කරන්න පටන් ගන්නා කාටවත්ම නොතේරෙන අමුතුම භාෂාවකට.
02:දේව භාෂාව කියන්නේ දෙවියන්ගේ භාෂාව කියන එකට නේද?
දෙවි වරුන් කියලා පාර භෞතික ජීවීන් කොට්ඨාශයක් ඉන්න බවට ලෝකයේ සෑම ජන කොටසක් තුළම පාහේ යම් විශ්වාසයක් තියනවා.නමුත් ඒ අය විශ්වාස කරන දෙවි වරු ආගමික සංස්කෘතික වශයෙන් එක් එක් ස්වරූප ගන්නවා.එයින් අපිට වැටහෙන්නේ දෙව සංකල්පය මානව චින්තාවක් විදිහට නේද?ඒ අනුව බලන කොට උනත් දෙවි වරුන් කියා කොටසක් හිටියත් ඒ අයට පොදු එක භාෂාවක් තියෙන්න බැහැ නෙ.
03: එතකොට අපේ රටේ ශාස්ත්‍ර කියන හැම තැනකම කතා කෙරෙන්නේ එකම දේව භාෂාවක්ද?
කිසිසේත්ම නැහැ. ඒකට අපි දේව භාෂාව කිව්වට අපේ රටේ භාවිතා වන ප්‍රධාන හෝ වැදි භාෂාව වගේ උප භාෂාවක් වත් නෙවෙයි. ඒක පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වෙන වාග් ව්‍යවහාරයක්.සාමාන්‍යයෙන් භාෂාවක් කියන්නේ දෙදෙනෙකුට තම තමන් ගේ අදහස් හුවමාරු කර ගත හැකි මාධ්‍යයකට. එහෙත්, ඔය දේව භාෂාවෙන් එහෙම කරන්නත් බැහැ. ඊට හේතු කියන දේව භාෂාව කියන එක පුද්ගලයන් ගෙන් පුද්ගලයාට වෙනස්වීම. ඒ හින්දා මේකට අසාමාන්‍ය වාග් ව්‍යවහාරයක් කියා මිසක් භාෂාවක් කියා කියන්න බැහැ.
04: නමුත් ඔය ශාස්ත්‍ර කියන තැන්වල දේව භාෂාවෙන් කියැවෙන දේ ශාස්ත්‍ර අසන්නවුන්ට වටහා දෙන වෙනම භාෂා පරිවර්තකයකුත් ඉන්නවා නේද?
ඔව්; නමුත් ඒ පරිවර්තකයා අපට කියන්නේ ඒ ශාස්ත්රකරු හෝ කාරිය දේව භාෂාවෙන් කියන දේ සැබෑ පරිවර්තනයක්මද? කියල අපි දන්නේ නැහැනේ. එක වතාවක් මම මේ ගැන දැන ගන්න පුංචි පරීක්ෂණයක් කළා. කඩුවෙල පැත්තේ තියන ආරූඪයෙන් ශාස්ත්‍ර කියන තැනකට ගිය මම ඒ ශාස්ත්‍ර කාරිය දේව භාෂාවෙන් කියන දේවලුත් ඒවා පරිවර්තකයා සිංහලට පරිවර්තනය කරන හැටිත් රහසින් පටිගත කර ගත්තා. පස්සේ ඒ ශාස්ත්‍ර කාරිය දේව භාෂාවෙන් කියාගෙන ගිය හෑල්ලකින් තත්පර තිහක විතර කොටසක් ඒ ශාස්ත්රකාරියගේ උච්චාරණය විදිහටම මම කට පාඩම් කර ගත්තා.පාලි භාෂාව නොදන්න අය ගාථා කට පාඩම් කර ගන්නවා වගේ.
කොහොම හරි ඊට මාස අටකට විතර පස්සේ ආයිමත් එතැනට ශාස්ත්‍රයක් අහන්න ගිය අතරේ අර ශාස්ත්‍ර කාරිය දේව භාෂාවෙන් මොන මොනවා හරි කියාගෙන යන අතරේ මමත් එක පාරටම මම කට පාඩම් කර ගෙන හිටපු දේව භාෂා කෑල්ල කියලා දැම්මා. එතකොටම ශාස්ත්‍ර කාරිය එක පාරටම නිශ්ශබ්ද වුණා මිසක් ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. පරිවර්තකයත් ගල් ගැහිලා වගේ මගේ දිහා බලාගෙන හිටියා. එතකොට මාත් “අනේ මට ඉබේටම මොකක් හරි දෙයක් කියැවුණා. මොකක්ද ඒකේ තේරුම?” කියලා ශාස්ත්‍ර කාරියගෙන් ඇහුවා. ඒත් මට ඒකට කිසිම උත්තරයක් නොදීපු ශාස්ත්‍ර කාරී විනාඩියෙන් දෙකෙන් ඒ ශාස්ත්‍ර කීමත් එතැනින්ම නතර කළා.
05: ඔය දේව භාෂා තියෙන්නේ අපේ රටේ විතරද?
අපොයි නෑ; ලෝකයේ හැම ජන සමාජයකම වගේ ඕක දකින්න පුළුවන්. හැබැයි ඒ හැම සමාජයකම ඕක පවතින්නේ ආගමික සංස්කෘතික පසුබිම් තුළ. විශේෂයෙන් කිතුණු දේවස්ථාන වල දී ඇතැම් බැතිමතුන් හිටිහැටියේ අමුතු භාෂාවන් ගෙන් කතා කරන්න පටන් ගැනීම මත ඒක තේරුම් ගන්න බැරි බොහෝ දෙනෙක් විශ්වාස කළේ ඒක දෙවියන් ගේ භාෂාව කියලා. ඒකට හේතු වුණේ ඒ භාෂාව තුළ ලතින් වචනයක් දෙකක් ගැබ්වෙලා තිබීම.උතුරු ඉන්දියාවේ ඔය දේව භාෂාවට සංස්කෘත වචන එක් වෙලා තියනවා. නමුත් අපේ රටේ දේව භාෂාවට බොහෝ දුරට ගැබ්වෙලා තියෙන්නේ මලයාලම්,දෙමළ වගේ වචන. ඒවත් අතනින් මෙතනින් එකතු වුණු ඒවා මිසක් පැහැදිලි අදහසක් පැවසෙන ආකාරයට එක් වුණු ඒවා නෙවෙයි. කොහොමත් ඔය වාග් ව්‍යවහාරය ලෝකය පුරාම ප්‍රසිද්ධ දිව ලෙලවීම; ජීව්හලාලනය(Glossolalia) විදිහට.
06: ඔය දේව භාෂාව හැමෝම පාවිච්චි කරන එකක් නෙවෙයිනේ. සමහරුන් විතරක් මේ භාෂාව කතා කරන්න යොමු වෙන්නේ ඇයි ?
ඒක ඒ ඒ අයගේ සංස්කෘතික පදනම; පෞරුෂය වගේ හේතු සාධක මත පදනම් වෙන දෙයක්. විඝටන ආබාධ (Dissociative disorder) කියන මානසික අර්බුදවල ලක්ෂණයක් විදිහටත් මේක මතු වෙන්න පුළුවන්. හැබැයි ආගමික සංස්කෘතික පසුතලයන් යටතේ විතරක් මේ ලක්ෂණ මතුවීම මත මේවා මානසික රෝග හැටියට සැළකෙන්නේ නැහැ.පෞරුෂ ලක්ෂණ සහ මානසික අර්බුද කියන්නේ මානසික රෝග වලට නෙවෙයි.
07: මේ දේව භාෂාව කතා කිරීම හිතා මතාම කරන දෙයක්ද?
බොහෝ විට මේක සිද්ද වෙන්නේ යටි සිතේ එකතු වෙලා තියන හැඟීම් ආවේග එක් වරම විදාරණය වීමෙන්. කිසියම් තීව්ර මානසික උද්දීපනයක දී එක පාරටම යමෙක් මේ ආකාරයේ වාග් විලාසයකට අනුවර්තනය වෙන්න පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරයේ ආවේශය (Trance) ආරූඪය (Possession) කියලා හඳුන්වන්නේ ඒ වගේ තත්වයක්. ඒ වගේම මේ කටයුත්ත තුළ බොහෝ විට තමන් කෙරෙහි අන්‍යයන් ගේ අවධානය දිනා ගැනීම ඒ වගේම අන්‍යයන් තමන් කෙරෙහි නැඹුරු කර ගැනීම වගේ සිත තුළ සැඟවුණු අභිලාෂයන් තියෙන්න පුළුවන්.
08: ඔය දේව භාෂාව හැටියට යමකුගේ මුවින් පිටවෙන්නේ අපි නොදන්නා වෙනත් භාෂාවක් වෙන්න බැරිද?
මේක අසන්නා නොදත් ලෝකයේ කොහේ හෝ රටක භාෂාවක් විය හැකියි යන විශ්වාසය බොහෝ දෙනකු තුළ තියනවා. නමුත් මේ වගේ දේව භාෂාවන් ගෙන් කරන කතා සිය ගණනක් පටිගත කර ඒවාට කන්දීමෙන් මම පැහැදිලිව වටහා ගත් දෙයක් තියනවා. ඒ තමයි ඒවා මලයාලම් සහ දෙමළ ආදී වචන ‘සක්ක පද’ විදිහට එක් කළ කල්පිත භාෂාවක් බව.
09: අපේ රටේ බොහෝ දෙනෙක් මලයාලම් භාෂාව දන්නේ නැහැ. ඉතින් කොහොමද ඒ දේව භාෂාවට ‘සක්ක පද’ විදිහට වුණත් මලයාලම් වචන එකතු වෙන්නේ?
සිංහල භාෂාව දෙමළ භාෂාවට වඩා මලයාලම් භාෂාවට සමීපයි. ඒ වගේම ඔය ආරූඪයෙන් ශාස්ත්‍ර කියන තැන්වලින් ඇසෙන දේව භාෂාවේ එන මලයාලම් වචන ඒ ශාස්ත්‍ර අහන්න යන අයට ඕනෑ තරම් ඇහෙනවා. සමහර ඒවා මතකයේ රැඳෙන්න පුළුවන්. තවත් කොටසක් මතකය තුළට කිඳා බහින්න පුළුවන්. ඒවාට කියන්නේ අවරෝධිත මතකයන් (Repressed memories) කියලා. ඒවා තමන් දේව භාෂාව කතා කරන විටත් නොදැනුවත්ම පිට වෙන්න පුළුවන්.
10: ඔය ආරූඪයෙන් දේව භාෂාව කතා කරන සමහරු නැවත ප්‍රකෘතියට පැමිණි විට ඒ කිසිවක් මතක නැතැයි කියනවා. ඒ ඇත්තද?
ඒක අර්ධ සත්‍යයක්. මුළුමනින්ම අමතක වීම කොහොම වුණත් සුළු වශයෙන් හරි මතක තිබිය යුතු බවයි මේ වන විට අනාවරණය වෙලා තියෙන්නේ.ඒක හරියට අපි හීනයක් දකිමින් නිදා ගෙන ඉන්න කොට හදිසියේ ඇහැරුණොත් ඒකෙන් කොටසක් හරි මතකයේ ගොනු වෙලා තිබීම වගේ තත්වයක්
11: ඔය දේව භාෂාව කතා කරන්න පුළුවන් ආරූඪයකින් විතරක්ද?
ඔය ආවේශය (Trance) ආරූඪය (Possession) කියන්නේ ස්වයං මෝහන තත්වයක් නේ. නමුත් එහෙම නැතුවත් ඔය වගේ වාග් මාලාවක් කට පාඩම් කළාම එක දිගට කියා ගෙන යන්න පුළුවන්. ඔය ආරූඪයෙන් ශාස්ත්‍ර කියන තැන් බොහොමයක කෙරෙන්නේ ඒ වගේ බොරු මවා පෑම්.නමුත් පරණ යකැදුරන්ට නම් කෘත්‍රිම ලෙසිනුත් ආරූඪයක් මවා ගන්න පුළුවන්.ඒකට කියන්නේ සමාරෝපණය(Impersonation) කියලා.”නිධානය” චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා නිධානය ගන්න අයිරින්(මාලිනී ෆොන්සේකා)ව බිලි දෙන්න හදන කොට ඇති කර ගන්නා ආරූඪය ඒ වගේ සමාරෝපණයක්.එතන දී සාමාන්‍ය ආරූඪයක දී ශරීරයේ සිදු වෙන හෘද සපන්දනයේ සහ රුධිර පීඩනයේ ඉහළ නැඟීම් ඒ විදිහටම වෙනවා.සමහර ඒ තත්වයක් යටතේ ඒ ආවේසයට පත් වෙන ඇදුරන් හදිසි හෘදයාබාධ වලින් මිය යන්නත් පුළුවන්.ඒකට තමයි අපේ සමාජය යකැදුරන්ට යක්කු ගහනවා කියන්නෙ.
12: මොනවා වුණත් ඔය දේව භාෂාව කියන්නේ ගුප්ත සන්නිවේදන මාධ්‍යයක් කියන එක පිළිගන්නම බැරිද?
එහෙම පිළිගන්න නම් ඒ භාෂාවෙන් සන්නිවේදනය වෙන දේවල් පිළිබඳ පොදු සම්මතයක් ඇති වෙන්න ඕනෙනේ. නමුත් අපි භාෂාවක් කිව්වට හුදු අස්වාභාවික වාග් ව්‍යවහාරයක් වන මෙයින් යම් කිසි කරුණක් සන්නිවේදනය කළ හැකිය යන මතය විද්‍යාත්මකව වගේම ප්‍රායෝගිකවත් පිළිගන්න බැහැ. ඒක එක් එක් තැනැත්තා ගේ පෞරුෂය හා සංස්කෘතික වට පිටාව මත පදනම් වුණු භාව ප්‍රකාශන මාධ්‍යයක් විතරයි.
13: සමහර මානසික රෝගීනුත් මේ වගේ නොවැටහෙන වචන උච්චාරණය කරනවා නේද?
ඔව් භින්නෝන්මාදය (Schizophrenia) කියන සයිකෝසීය මානසික රෝගින් වෙතිනුත් කාටවත් නොවැටහෙන වචන උච්චාරණය කිරීම් දකින්න පුළුවන්. නමුත් ඒක මීට වඩා වෙනස් ඒකට කියන්නේ නව වාග්කරණය (Neologism) කියලා.
14: මොකක්ද මේ දෙකේ වෙනස?
භින්නෝන්මාදය කියන වචනේ සරලම තේරුම භින්න +උන්මාදය ‘සිතුවිලි බිඳී යාම’ කියන එකනේ. ඒ හින්ද ඒ රෝගීන් එකකට එකක් නොගැලපෙන වචන කියන්න පුළුවන්. උදාහරණයක් හැටියට තමන් දැන අහලා තියන දිව්‍ය ලෝක විස්තරයක් සහ තමන්ගේ ගමේ කසිප්පු පෙරීම ගැන විස්තරයක් මේ සිතුවිලි බිඳීයාම නිසා එකට එකතු වෙලා රෝගියා ‘දිව්‍යලෝකේ කසිප්පු පෙරනවා” වගේ දෙයක් කියන්න පුළුවන්. ඒ වගේම අනුරාධපුරය කියන වචනය මොළයේ ව්‍යුහය තුළ ඇති වෙලා තත්පරයකටත් වඩා කෙටි කාලයක් තුළ ඒ විදිහටම උච්චාරණය විය යුතුව තිබිය දී මේ රෝගීන්ට එය ‘පූර්රාධ්අනු’ වගේ විකෘති ලෙස කියැවෙන්න පුළුවන්. ඒ නිසා ජන සම්මතයට අනුව වුණත් ඒක දේව භාෂාවක් විදිහට සැළකෙන්නේ නැහැ.
15: ඒ කියන්නේ මොවුන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුද?
භින්නෝන්මාද රෝග තත්වයක් යටතේ නම් රෝගීන් අනිවාර්යෙන්ම මනෝ වෛද්‍යවරුන් හමුවට යා යුතුයි. ඒ වගේම ඒ දේව භාෂාව ප්‍රකාශ වීම සම්බන්ධ තත්වයන් පාලනයකින් තොරව තමන්ට පීඩාකාරී බලපෑම් කරනවා නම් හෝ එය තමන්ටත් අනුන්ටත් කරදරයක් නම් විතරක් ඒ අයත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුයි. එහෙම නැත්නම් ඒක තමන් ගේ යම් හැකියාවක් විදිහට පවත්වා ගෙන යන්න පුළුවන්.
තිලක් සේනාසිංහ