සාමය සහ ලෙන්ගතුකම පිළිබඳ අලුත් පාඩමක් කියාදෙන මඩකලපුවේ සිංහල මහා විද්‍යාලය

vinivida

වර්ගවාදයෙන් භේදබින්න වීමට පෙර ජාති ආගම් භේදයක් නැතිව සමගියෙන් මේ රට තුළ අපි එකට ජීවත් වූයෙමු. එවන් රසවත් තොරතුරු රාශියකින් පිරි අපූරු තෝතැන්නක සම උරුමකරුවන් වී සිටි පිරිසක් පසුගියදා මට හමු විය. ස්ථානය මඩකලපුව සිංහල මහා විද්‍යාලය යි.
පාසල් සමය ඕනෑම කෙනෙකුට රසවත් අතීත මතකයකි. මේ කතා කරන්නේ එතැනින් ඔබ්බට ගිය මානව සංහතියට සාමකාමී බහුත්වවාදය පිළිබඳව අගනා පාඩමක් කියාදෙන අතීත රස මතකයක් පිළිබඳ කතාවකි.

මේ මඩකලපුව නගරයේ බාර් පාරේ පිහිටි සිංහල මහා විද්‍යාලය යි. එහි අතීතයේ සිට වර්තමානය දක්වා තොරතුරු සොයා මා පැමිණි ගමනේදී මට මුලින්ම හමුවූයේ හිටපු ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මල්ලවාරච්චිගේ සිසිර කුමාර මහතායි. මේ වනවිට ඔහුගේ පදිංචිය ගම්පහ ලක්ෂ්මී පාරෙහි ය.

” මම ඉපදුනේ 1961 අවුරුද්දේ මඩකලපුවෙ. මගේ තාත්තා ඒ කාලේ මඩකලපුවේ අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ රැකියාවක් කළා. අම්මා මඩකලපුව රෝහලේ උපස්ථායිකාවක්. මගේ තාත්තාගේ ගම ගම්පහ. අම්මයි තාත්තයි රැකියාවලට ගිහින් මුලින්ම පදිංචි වෙලා තියෙන්නේ මඩකලපුවේ. මම ඉපදිලා තියෙන්නෙත් මඩකලපුවේ රෝහලේ. මුලින්ම මගේ දෙමව්පියෝ මඩකලපුව නගරයේ එවකට කොරියාව නමින් හඳුන්වපු ප්‍රදේශයක පදිංචි වී ඉඳලා තියෙනවා. පිටින් පදිංචියට ආපු සිංහල අය තමයි මේ කොරියාවෙ තාවකාලිකව පදිංචි වෙලා ඉඳලා තිබුණේ. ඊටපස්සෙ 1965 දි විතර ආණ්ඩුවෙන් එක පවුලකට පර්චස් විස්ස බැගින් දීල ජයන්තිපුර සහ විජයපුර සිංහල මිනිසුන් පදිංචි කළා. අපිට පදිංචි වෙන්න ලැබුණේ විජයපුර. ජයන්තිපුර සිංහල කනිෂ්ඨ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා මම උසස් පෙළ කරන්න මඩකලපුවේ සිංහල මහා විද්‍යාලයට ඇතුල් වුණා.

ඒ කාලයේ සිංහල විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසකට වැඩි පිරිසක් සිටියා. හැම විෂයකටම වගේ ගුරුවරු හිටියා. පිට පළාත්වලින් ඉස්කෝලෙට ආපු ගුරුවරු සෑහෙන පිරිසක් හිටියා . සමහර ගුරුවරු ඉස්කෝලේ ගුරු නිවාසයකත්, ඉස්කෝලේ ළඟම තිබුණු චමරියකත් නතර වෙලා හිටියා. මම උසස් පෙළට කළේ කලා විෂයන්. ඒ කාලේ පෞද්ගලික ටියුෂන් පන්ති තිබුණේ නෑ. විභාග ආසන්න වෙනකොට අපේ ගුරුවරු දීර්ඝ නිවාඩු කාලයටවත් ගමේ යන්නෙ නැතුව චමරියේම නතර වෙලා ඉඳගෙන අපට හවස පන්ති දාලා නොමිලේම ඉගැන්නුවා. මම උසස් පෙළ හොඳින්ම සමත් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අතරේ උසස් පෙළ විභාගය කරලා මාස දෙකක්වත් යන්න කලින් මට වාලච්චේන, පියාවඩ්ඩුවාන් සිංහල කනිෂ්ඨ විද්‍යාලයට සහතික නොලත් උපගුරු පත්වීමකුත් ලැබුණා. මම රැකියාව කරමින්ම උපාධියත් අරගෙන ඒ අතරේ අධ්‍යාපන පරිපාලන විභාගයත් සමත් වුණා.

අපේ උසස් පෙළ පන්තියේ සේරම ළමයි 20 ක් විතර හිටියා. සිංහල ළමයි හිටියෙ 8 – 10 ක් වගේ තමයි. අනික් ළමයි දෙමළ , මුස්ලිම් , බර්ගර්, මැලේ යන ජාතීන්වල. අපි හිටියේ ලොකු බැඳීමකින්. මට මතකයි මඩකලපුවේම වෙනත් පාසල් සමග අන්තර්පාසල් ක්‍රීඩා තරග පැවැත්වෙනකොට ද්‍රවිඩ පාසලක පිරිමි ළමයි අපේ ළමයින් සමග ගැටුමකට ආවා. ඒ වෙලාවේ අපේ පාසලේ සිංහල ළමයෙකුට ඒ පාසලේ ද්‍රවිඩ ළමයෙක් පහර දුන්නා. එතකොට ඒ ද්‍රවිඩ ළමයාට පෙරළා පහර දුන්නේ අපේ පාසලේ ද්‍රවිඩ ළමයෙක්. ඒ කාලයේ අපේ සිත්වල තිබුණේ “අපි එක පාසලේ ඉන්න සහෝදර පිරිසක් ” කියන බැඳීම මිසක් අපි අර ජාතියේ, මේ ජාතියේ කියන හැඟීමක් නෙමෙයි. පසුකාලීනව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී කලබල වැඩිවෙලා අපේ ජයන්තිපුර, විජිතපුර සිංහල ගම්මානවල ජනතාව කොටින් විසින් සමූල ඝාතනය කළාට පස්සේ අමාරුවෙන් පණ බේරාගෙන මඩකලපුවෙන් ඇවිත් අපි තාත්තගේ ගම්පහ ඉඩමේ පොඩි ගෙයක් තනාගෙන නතර වුණා. අපිට මඩකලපුවේ අයිතිව තිබූ ඉඩකඩම් කිසිම දෙයක් දැන් අපිට නෑ”

1980 – 83 දක්වා මෙම පාසලේ විදුහල්පති ධූරය දැරූ යූ. සුමනසේන මහතා තම දරු තිදෙනා ද සමග මේ පාසලේ විදුහල්පති නිල නිවාසයේ නතර වී සිටියේය. ඔහුගේ බිරිඳ එවකට මඩකලපුව රෝහලේ හෙද නිලධාරිනියකි. සුමනසේන මහතාගේ වැඩිමහල් පුත් ෂම්මි 1980 දී මෙම පාසලේ දෙවැනි ශ්‍රේණියට ඇතුළත් කර තිබිණි.

” විදුහල්පති නිල නිවාසය තිබුණේ පාසල කෙළවරේ. ගුරු නිවාසයට ටිකක් එහායින් පාසැල් ඉඩම කෙළවරේ ලොකු වගුරු බිමක් තියෙනවා. ඒකත් අයිති පාසැල් ඉඩමටම තමයි. අපේ පන්තියෙත් හැම ජාතියකම ළමයි ඉගෙන ගත්තා. දෙමළ, මුස්ලිම්, බර්ගර් අපි හැමෝම එකට හිටපු නිසා අපිට දෙමළ වගේම ඉංග්‍රීසිත් කතා කරන්න හැකියාව ලැබුණා. මම කොච්චර හොඳට දෙමළ කතා කළා ද කිව්වොත් මම දිගටම දෙමළ භාෂාවෙන්ම කතා කරයි කියලා මගේ මවුපියන් තුළ ලොකු සැකයක් පවා ඇතිවී තිබෙනවා. හරි ආසාවෙන් මම ඒ පාසලේ ඉගෙන ගත්තත් 83 අවුරුද්දේ දකුණේ ජාතිවාදී කලබල ඇතිවෙන කොට තාත්තයි අම්මයි මාරු වීම් අරගෙන අම්බලන්ගොඩ පදිංචියට ආවා. ඒ නිසා මට දිගටම මඩකලපුවේ සිංහල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න තිබුණු අවස්ථාව අහිමි වෙලා ගියා.”

මා සමග අදහස් දැක්වූ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩිදෙනෙක් පැවසූ ආකාරයට මෙම පාසලේ සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන් තරමටම හෝ ඇතැම් විට ඊටත් වැඩියෙන් අන්‍ය ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපනය ලබා තිබිණි. ඊට හේතුව කුමක්දැයි මා මුලින්ම විමසුවේ සිංහල මහා විද්‍යාලයේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද සිවා අවුට්ස්කූන් නම් බර්ගර් ජාතික ආදිශිෂ්‍යාවගෙනි. මඩකලපුවේ ජීවත් වන ඇය ගුරු වෘත්තියේ යෙදී හිඳ දැන් විශ්‍රාම ලබා සිටින්නීය.

” අපි බර්ගර් නිසා අපේ පවුල්වල හැමෝම භාවිතා කළේ ඉංග්‍රීසි භාෂාව. අපි ඉපදුණේ හැදුණේ වැඩුණේ මඩකලපුවේ. මගේ පියාට වුවමනා වුණේ කවද හරි මමත් මගේ සහෝදරියන් දෙදෙනාත් රජයේ රැකියා කරනවා දකින්නයි. මේ පළාත්වල රජයේ සහ බැංකුවල රැකියා හැරුණු විට පෞද්ගලික අංශයේ රැකියා තිබුණේ නෑ. රජයේ රැකියාවක් කරන්න නම් අනිවාර්යයෙන්ම සිංහල භාෂාව ඉගෙන ගත යුතුයි. ඒ නිසා තමයි මගේ පියා අපව සිංහල මහා විද්‍යාලයට ඇතුළත් කළේ . සිංහල භාෂාව ඉගෙන ගන්න සිංහල ඉස්කෝලෙකට අපිව ඇතුලත් කරපු අනික් ලොකුම හේතුව තමයි රැකියාවක් කළා හෝ නැතුව හෝ මේ සිංහල රටේ සිංහල භාෂාව දැන සිටීම අනිවාර්යයෙන් විය යුත්තක් ලෙස මගේ පියා විශ්වාස කිරීම. ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. ඇත්තටම මඩකලපුව සහ ඒ අවට ප්‍රදේශවලට දෙමළ භාෂාව දැන සිටීම ප්‍රමාණවත්. නමුත් පොළොන්නරුවට සහ ඉන් එහාට ගියොත් ඒ ප්‍රදේශවල ජීවත් වන්නේ සිංහල ජනතාව. සිංහල භාෂාව නොදැන සිංහල රටේ ජීවත් වීම අසීරු දෙයක්. මම ගොඩක් සතුටු වෙනවා මට සිංහල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට හැකිවීම ගැන”

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී උවදුරු හේතුවෙන් එවකට මඩකලපුවෙහි දීප්තිමත් පාසලක්ව පැවති සිංහල මහා විද්‍යාලය 1986 වසරේදී වැසී යන විට එහි සිසු සිසුවියෝ දහස ඉක්මවූ ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබූහ. එම අතීත තොරතුරු මඩකලපුව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලබාගන්නට උත්සාහ කළත් එය ව්‍යවර්ථ වූයේ එම ලියකියවිලි බොහොමයක් 1978 නොවැම්බර් 23 වැනිදා මඩකලපුව ප්‍රදේශයට හමන ලද මහා සුළි සුළඟින් කලපුවට ආසන්නයේ තිබූ කලාප අධ්‍යාපන කාර්යාලයේ වහල ගැලවී ගොස් ගොඩනැගිලිවලටද හානි සිදුවීම නිසා අස්ථානගත වීම හේතුවෙනි. එකල මෙම පාසලේ සෑම ශ්‍රේණියකම පන්ති දෙක බැගින් තිබූ අතර එම පන්තිවලට සරිලන පරිදි සෑම විෂයක් සඳහාම ගුරුවරුන්ගෙන් ද අඩුවක් නොවිණි.

ජයචන්ද්‍ර

රේණුකා කුමාරසීලි එවකට මේ පාසලේ ශිෂ්‍යාවකි. ඇගේ නිවස පිහිටියේ මඩකලපුව දුම්රිය ස්ථානයට ආසන්නයේ ය. ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන්නකු වූ ඇගේ පියා, මාටින් මුදලාලි ගැන ඒ ප්‍රදේශයේ නොදන්නා කෙනෙක් නොසිටි තරම් ය. මාටින් මුදලාලිට එම ව්‍යාපාර හැරුණු විට තවත් ව්‍යාපාර සහ ඉඩකඩම් ද මඩකලපුව නගරයේ තිබිණි. රේණුකාට අයියලා හතර දෙනෙක්, අක්කලා දෙදෙනෙක් සහ එක් නංගී කෙනෙක් සිටි අතර රේණුකා සිංහල මහා විද්‍යාලයේ සිසුවියකව සිටිය දී ඇගේ වැඩිමහල් සහෝදරිය ඉන්ද්‍රා ආරියසීලි ලියනගේ එම පාසලේ ගුරුවරියක ලෙස කටයුතු කළාය. ඇගේ සැමියා ජේ. එම්. සිරිතිලක සිංහල මහා විද්‍යාලයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය භාර ගුරුවරයා විය. රේණුකාගේ මෙම වැඩිමහල් සහෝදරියත්, බාල සහෝදරියත් හැරුණු විට රේණුකා ඇතුළු අනෙක් සියලු දෙනාම සිංහල මහා විද්‍යාලයේ ආදි සිසු සිසුවියන් ය. 1987 ඔක්තෝබර් 6 දා ඔවුන්ගේ නිවසට පැමිණි කොටි ත්‍රස්තවාදීහු ඇගේ මවත්, සිරිතිලක ගුරුමහතාගේ බිරිඳ වූ රේණුකා ගේ ලොකු අක්කාත්, දෙවෙනි අක්කා සහ නිවසේ මෙහෙකාරියත් වෙඩි තබා ඝාතනය කළහ. වයස අවුරුදු 7ක් සහ මාස 6ක් වූ ලොකු අක්කා ගේ දරුවන් දෙදෙනා බේරී තිබුණේ ත්‍රස්තවාදීන් නිවසට ඇතුළු වනවිටම ඒ දරු දෙදෙනාම ඇඳක් යටට දැමීම නිසා ය. මාටින් මුදලාලි ඊට වසර කීපයකට පෙර හදිසියේ ඇතිවූ රෝග තත්ත්වයකින් මිය පරලොව ගොස් සිටියේය. ත්‍රස්තවාදී උවදුරුවලින් පසු ඔවුන්ට සියල්ල හැර දමා දකුණට එන්නට සිදුවිය.

රේණුකා විවාහ වී දැන් පදිංචි වී සිටින්නේ යක්කල බෝගමුවේ ය.

එදා ත්‍රස්තවාදී ප්‍රහාරවල දී අනූනවයෙන් දිවි ගලවා ගත් එවකට හත් හැවිරිදි ව සිටි සිරිතිලක මහතාගේ වැඩිමහල් දියණිය දැන් විවාහ වී කැනඩාවේ පදිංචිව සිටී. එදා මාස හයක බිළිඳියකව සිටි බාල දියණියත් සමග සිරිතිලක මහතා ද දැන් සිටින්නේ කැනඩාවේ ය. වට්ස්ඇප් හරහා ඒ මහතාව සම්බන්ධ කර ගැනීමට මට හැකි විය. සිංහල මහා විද්‍යාලය හා බැඳුණු අතීතය සිරිතිලක මහතා සිහිපත් කළේ මහත් සතුටිනි.

” මම මුලින්ම 1972 ජනවාරි 31 දා ඉඳලා 74 දෙසැම්බර් 31 දා දක්වා සිංහල මහා විද්‍යාලයේ සේවය කරලා නැවත දෙවැනි වතාවට 1980 ජනවාරි 1 දා සිට 87 ඔක්තෝබර් 6 දා දක්වා ඒ පාසලේම සේවයට සම්බන්ධ වුණා.

අපි මේ පාසලේ දරුවන්ට ඉගැන්වූයේ ලොකු කැපවීමකින්. මම පළවෙනි වතාවෙ මේ පාසලේ සේවයට ආපු 1972 කාලයේ මගේ මාසික ගුරු වැටුප රුපියල් දෙසිය විස්සයි. මම ක්‍රීඩා ගුරුවරයා වුණාට පාසලේ 6, 7, 8 පන්තිභාර ගුරුවරයා වශයෙනුත් කටයුතු කළා. සිංහල නොවන අනික් දරුවන්ගේ සිංහල භාෂා දැනුම හරිම දුර්වල මට්ටමක තිබුණේ. මේ දරුවන්ව කොහොමහරි ගොඩ දාගන්න තිබුණ වුවමනාව නිසාම මම ඒ කාලේ මගේ අතේ වියදමෙන් සතිපතා මිහිර පත්තර තුන බැගින් මිලදී අරන් පන්ති තුනේ ළමයින්ට ඒ පත්තර කියවන්න දෙනවා. සමහර ලිපි පිටපත් කරන්නත් නියම කරනවා. මුලදී ඒ ළමයි ඒක කළේ හරිම අමාරුවෙන්. ඔය විදිහට මම ඒ දරුවන්ගේ සිංහල දැනුම ක්‍රමානුකූලව වර්ධනය කළා.

80 අවුරුද්දේ මම දෙවෙනි වතාවට ඒ පාසලට සම්බන්ධ වුණාට පසුව ක්‍රීඩා විෂය පැත්තෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා දරුවන් ලවා පාසලට අරගෙන දෙන්නට මට හැකියාව ලැබුණා. එපමණක් නොවෙයි ඒ දරුවන්ට මම ඉගැන්වීම් කටයුතුත් කළා. මට හොඳට මතකයි 85 අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියන්නට නියමිතව සිටි දරුවන්ට ප්‍රදේශයේ ත්‍රස්තවාදී කරදර නිසා විශාල වශයෙන් ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇතිවුණා. නිතර නිතර නැගෙනහිර ප්‍රදේශයේ පාසල්වලට නිවාඩු දෙන්න සිදුවුණා. අපි විශාල කැපවීමක් කළා කොහොම හරි මේ දරුවන්ට සාමාන්‍ය පෙළ සමත්වීම සඳහා උපකාර කරන්න. මගේ බිරිඳ ඒ පාසලේ විද්‍යා ගුරුතුමිය වුණාට ඇය විද්‍යාව සහ ගණිතය යන විෂයන් දෙකම පාසල් නිවාඩු දවස්වල වගේම සමහර සතියේ දිනවල හවස් කාලයටත් ඒ දරුවන් සියලු දෙනාම ගෙදරට ගෙන්නලා නොමිලේම ඉගැන්නුවා. විශ්වාස කරනවද ඒ අවුරුද්දෙ ගොඩාක් ළමයි විෂයන් අටටම අධි සම්මාන සාමාර්ථ අරන් සමත් වුණා. සිංහල මහා විද්‍යාලයේ උසස් පෙළ කලා විෂය ධාරාව විතරයි තිබුණේ. ඒ නිසා විද්‍යාව සහ වාණිජ විෂය ධාරාවන් කරන්න ළමයි වෙනත් පාසල්වලට ගියා. සිංහල මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා වෙනත් පාසලකින් උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලයට ගිය චාමස් රාගල් පසුකාලීනව නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුරට පත් වුණා. ඒ විදිහටම සිංහල මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වූ රොඩ්නි ගිලීමා උසස් පෙළ සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කර දැන් කැනඩාවේ ඉන්ජිනේරුවකු ලෙස කටයුතු කරනවා. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන රයන් බාට්ලට් සිංහල මහා විද්‍යාලයෙන් 85 අවුරුද්දේ උසස් ලෙස සාමාන්‍ය පෙළ සමත් වූ සිසුවෙක්. මේ තුන් දෙනාම බර්ගර් ජාතික දරුවන්. සිංහල මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වූ විග්නේෂ්වරදාසන් කාලිදාසන් පසුකලෙක උසස් අධ්‍යාපනය හදාරා කැනඩාවේ ඉංජිනේරුවරයෙකු වශයෙන් කටයුතු කළා.”

⁣ සිරිතිලක මහතා පැවසූ පරිදි මෙම පාසලෙන් සාමාන්‍ය පෙළ සමත් වූ තවත් ඉංජිනේරුවරයකු වන්නේ වෙබ්ස්ටර් සෙලර් ය. මේ සියලුම දරුවන් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබලා සිංහල මාධ්‍යයෙන්ම සාමාන්‍ය පෙළට මුහුණ දුන්නු දරුවෝ. මේ හැරුණු විට තවත් විශාල ශිෂ්‍ය පිරිසක් රටේ ඉහළ තනතුරු හෙබවූ අතර ඒ හැරුණු විට ගුරු වෘත්තිය, ලිපිකරු වෘත්තිය, ආරක්ෂක අංශය වැනි වෘත්තීන්වලට පිවිසුණු රාශියක්ද සිටියහ. පසුකාලීනව ගුරුවෘත්තියට පිවිසුණු ඊ.එම්.ඩබ්ලිව්. ප්‍රේමරත්න මෙම පාසලේ සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් දිනාගත් ක්‍රීඩකයෙකි. පසුකලෙක ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ උප විදුහල්පති ධූරය ද දැරී ය.

ඇත්තටම මේ ළමයි සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත්තු නිසා තමයි මෙයාලට රැකියා සොයාගන්න පහසු වුණේ. ඒ දවස්වල අපේ රටේ හැම රජයේ කාර්යාලයක්ම වැඩ කළේ සිංහල භාෂාවෙන්. සියලුම රාජකාරි ලිපි ටයිප් කළේත් සිංහල භාෂාවෙන්. ඒ නිසා රටේ ඕනෑම කෙනෙකුට රජයේ රැකියාවක් කරන්න නම් සිංහල භාෂාව පිළිබඳව හොඳ දැනීමක් තිබීම අනිවාර්ය වුණා. මේ පළාත්වල ළමයින්ට කොහොමත් දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවල් පුහුණු වීම අමාරුවක් නොවෙයි.

” ඇත්තටම මේ ළමයි සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත්තු නිසා තමයි මෙයාලට රැකියා සොයාගන්න පහසු වුණේ. ඒ දවස්වල අපේ රටේ හැම රජයේ කාර්යාලයක්ම වැඩ කළේ සිංහල භාෂාවෙන්. සියලුම රාජකාරි ලිපි ටයිප් කළේත් සිංහල භාෂාවෙන්. ඒ නිසා රටේ ඕනෑම කෙනෙකුට රජයේ රැකියාවක් කරන්න නම් සිංහල භාෂාව පිළිබඳව හොඳ දැනීමක් තිබීම අනිවාර්ය වුණා. මේ පළාත්වල ළමයින්ට කොහොමත් දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවල් පුහුණු වීම අමාරුවක් නොවෙයි. මොකද, මේ පළාතේ වැඩිපුරම ජීවත් වෙන්නේ දෙමළ සහ මුස්ලිම් වැසියන් වගේම බර්ගර් ජාතිකයන්. මෙහෙ ළමයින්ට සිංහල පුහුණුවීම අසීරුයි. සිංහල අය ඉතාමත් අඩු නිසා. සිංහල භාෂාවත් ඉගෙන ගන්නවා කියන්නේ භාෂා තුනක් මේ දරුවන්ට ඉබේම පුරුදු වෙනවා. ලංකාවේ ජීවත් වෙන්න නම් සිංහල භාෂාව පිළිබඳ දැනීම අනිවාර්යයෙන් තිබිය යුතුයි. ඒ නිසා මෙවැනි සිංහල නොවන අය වැඩිපුර ජීවත්වන පළාත්වලට සිංහල මාධ්‍ය පාසල් ඉතා අවශ්‍යයි. අපේ රටේ සෑම ජාතියකම දරුවන්ට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනේම මනා දැනුමක් තිබීම ඉතාමත්ම වැදගත්”

සිරිතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

මිනෝන් බාතෙලෝ

සිංහල මහා විද්‍යාලයේ එකල සෑම වසරකම වෙසක් පොසොන් භක්ති ගීත සහ සැරසිලි පැවැත්විණි . මේ බෞද්ධාගමික උත්සවවලට සියලු ජාතීන්වල සියලු ආගම්වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සම්බන්ධ වූහ. මේ හැරුණු විට සිංහල මහා විද්‍යාලය සහ ශාන්ත මයිකල් විද්‍යාලය, හින්දු විද්‍යාලය, මෙතෝදිස්ත විද්‍යාලය, ශාන්ත සිසිලියානා කන්‍යාරාමය ආදී වශයෙන් මඩකලපුවේ සියලු පාසල් එක්ව පවත්වන නිදහස් සමරු උත්සවය සෑම වසරකම එකල මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ඒ විස්තර මා සමඟ පැවසුවේ සිංහල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව ගුරු වෘත්තියට පිවිස මේ වන විට විශ්‍රාම ගෙන සිටින මිනෝන් බාතෙලෝ ය.

බර්ගර් ජාතික මිනෝන් තව දුරටත් මෙසේ කීවාය.

” මගේ දෙමාපියන් කවදාවත් හිතුවෙ නෑ මේ විදිහට වර්ගවාදී යුද්ධයක් ඇති වෙලා මේ රටේ සිංහල, දෙමළ ජාතීන් අතර බෙදීම් ඇති වෙයි කියල. රජයේ රස්සාවක් කරන්න සිංහල අවශ්‍යම නිසා අපිව සිංහල මහා විද්‍යාලයට දැම්මා. අපේ ගෙදර කතා කළේ ඉංග්‍රීසි භාෂාව. ඒ නිසා මුලින්ම ඉස්කෝලේ ගියාම මේ භාෂා ප්‍රශ්නය නිසා අපි හරිම අපහසුවට පත් වුණා. ගෙදරදි මමයි, අක්කයි නංගීයි අමාරුවෙන් සිංහල කතා කරලා තමයි සිංහල ඉගෙන ගත්තේ. ඇත්තටම ඒක කොච්චර වටිනවද කියල දැන් තමයි දැනෙන්නේ. භාෂා තුනම දන්න නිසා රටේ ඕනෑම තැනකට ගිහින් ජීවත් වෙන්න අපට පුළුවන්. මම නම් කියන්නේ ලංකාවේ හැම ප්‍රදේශයකම ජීවත් වෙන ළමයින්ට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවල් ඉතාම හොඳින් ඉගැන්වීම අත්‍යවශ්‍ය දෙයක්. එතකොට ඔය හැම ළමයෙක්ම අනාගතයේ අන්‍යෝන්‍ය බැඳීමකින් ජීවත් වෙයි”

මඩකලපුවේ ඉපිද , එහිම ජීවත්වන එම්. ඒ. ජයචන්ද්‍ර ගේ පියා එකල මඩකලපුව පොලිස් ස්ථානයේ සේවය කරමින් හිඳ ඇත.

” අපි මෙහෙ පරිසරයේ ජීවත් වුණාට අපේ තාත්තාට ඕන වුණේ අපි සිංහල විදිහට හදන්න. ඒ නිසා තමයි අපිව සිංහල මහා විද්‍යාලයට දැම්මේ. මම ජීවත් වෙන්නේ ජයන්තිපුර. අපේ ඉස්කෝලේ සිංහල මහා විද්‍යාලය වුණාට අපි ජාතීන් තුන හතරක් එකට එකතු වෙලා එකට ඉගෙන ගත් නිසා අපට එකිනෙකා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ජාති ආගම් භේදයක් නැතුව එකිනෙකා ගැන ලෙන්ගතුකම වැඩෙන්න ඒ ඉගෙන ගත් පරිසරය අපට ගොඩක් ප්‍රයෝජනවත් වුණා”

සිවා අවුට්ස්කූන්

1986 වසරේදී වසා දැමුණු මඩකලපුවේ සිංහල මහා විද්‍යාලය නැවත ආරම්භ වුණේ 2023 අප්‍රේල් 27 වෙනිදා ය. ඒ, එවකට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියව සිටි අනුරාධා යහම්පත් මහත්මියගේ අතිනි. මේ පිටුපස ඇති කතාව මා සමග පැවසුවේ සිංහල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ වයි.ජී.යූ.පී. හේමන්ත මහතා ය.

“1986දි මඩකලපුවේ සිංහල මහා විද්‍යාලය වැසී ගියාට පස්සේ මඩකලපුවට සිංහල පාසලක් නැතිව ගියා. රැකියාවලින් මාරු වීම් ලබා පැමිණෙන පොලිසිය ඇතුළු ආරක්ෂක හමුදාවලත්, වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් සේවකයින්ගේත් දරුවන්ට යන්න සිංහල පාසලක් මෙහේ නෑ. මඩකලපුවේ විතරක් නෙවෙයි එරාවූර් ජයන්තිපුර මේ කොහේවත් සිංහල පාසලක් නෑ. වරක් මඩකලපුවේ ආණ්ඩු කාර්යාලයේ පැවැත්වුණු රැස්වීමක දී මම මේ පිළිබඳව ආණ්ඩුකාරතුමිය ඇතුළු සභාව දැනුවත් කළා. එවිට ආණ්ඩුකාරතුමිය ක්ෂණිකවම පැවසුවේ ” මඩකලපුවට සිංහල ඉස්කෝලයක් නැද්ද? එහෙම නම් ඒක ලොකු අඩු අඩුපාඩුවක්. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම සිංහල පාසල් තියෙනවා. ඉක්මනින්ම අපි සිංහල පාසලක් ආරම්භ කළ යුතුයි” කියලයි. ඊට පසුව තමයි මඩකලපුවේ සිංහල මහා විද්‍යාලය නැවත ආරම්භ කරන්න අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළේ.”

හේමන්තගේ ගමත් ජයන්තිපුර ය. ඔහු මුලින්ම ජයන්තිපුර සිංහල කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව මඩකලපුවේ සිංහල මහා විද්‍යාලයට ඇතුළත් වී ඇත.

පසුගිය වසරේ සිංහල මහා විද්‍යාලය නැවත ආරම්භ කරනු ලැබුවේ සිංහල දරුවන් දෙදෙනකුගෙනි. ඒ, මෙම පාසලේ ආදි ශිෂ්‍යයෙකු වූ සුරංග දිවාකරගේ දරු දෙදෙනා ය. සුරංගගේ පදිංචියත් ජයන්තිපුර ය. දැනට මෙම පාසලේ 5 සහ 3 ශ්‍රේණිවල ඔහුගේ දෙදරුවන් අධ්‍යාපනය ලබයි.

” ඒ කාලේ මේ සිංහල මහා විද්‍යාලයට අවට ගම්මාන ගණනාවකින් ළමයි ඉගෙන ගන්න ආවා. ජයන්තිපුර, විජයපුර, පුල්ලිමලෛයි, මහඔය, පදියතලාව, ටැම්පිටිය, අම්පාරේ වීරගොඩ, බක්කියඇල්ල, වාලච්චේන, එරාවූර්, පුන්නකුඩා විතරක් නෙමේ තවත් ගම් කීපයකම ළමයි මේ ඉස්කෝලෙන් අධ්‍යාපනය ලැබුවා. ඉස්කෝලේ මේ විදියට දියුණු වෙනකොට දුර බැහැර ළමයින්ගේ පහසුව තකා එරාවූර්වල අලුතෙන් තවත් සිංහල පාසලක් ආරම්භ කළා. එරාවූර් දුම්රියපොළට නුදුරින් ඒ පාසල තිබුණේ. ඒ පාසලටත් ඒ කාලෙ ගොඩක් ළමයි ඇවිත් තිබුණා. අවාසනාවට 86 න් පස්සේ ත්‍රස්තවාදී උවදුරු මේ පළාත්වල තදින් බලපෑ නිසා අද තියෙන්නේ ඒ පාසලේ ගොඩනැගිලිවල නටබුන් විතරයි. ජයන්තිපුර සිංහල කනිෂ්ඨ විද්‍යාලයත් ඒ කාලෙදිම විනාශ වුණා.”

මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ අද වනවිට දරුවෝ දහතුන් දෙනෙක් අධ්‍යාපනය ලබති. මේ දරුවන්ගෙන් පස් දෙනෙක් සිංහල දරුවෝය. සෙසු අට දෙනා ද්‍රවිඩ ජාතික දරුවන් ය. පහ ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙයි.

මෙහි 1 සහ 2 ශ්‍රේණි එකට පවත්වන අතර 1 ශ්‍රේණියේ සිසුන් 8 දෙනෙක් සහ 2 ශ්‍රේණියේ එක් සිසුවියක සිටී. මේ ශ්‍රේණි දෙක භාරව සිටින්නේ කේ. කේතීස්වරන් ගුරුතුමියයි. 3 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකුත්, 4 ශ්‍රේණියේ එක් සිසුවකුත් සිටී. මේ පන්ති දෙකද එකට පැවැත්වෙන අතර එම පන්ති භාරව ප්‍රමිලා වසන්ත කුමාර් ගුරුතුමිය කටයුතු කරයි. 5 ශ්‍රේණියේ සිටින්නේ එක් දරුවෙකු පමණි. ඒ දරුවාගේ සියලු අධ්‍යාපන කටයුතු කරමින් ශිෂ්‍යත්ව විභාගය සඳහා හුරු කරන්නේ දාරිනී බෘන්දාපන් ගුරුතුමියයි. ඇයත්, ප්‍රමිලා වසන්ත කුමාර් ගුරුතුමියත් සිංහල භාෂාව හොඳින් හැසිරවීමට දන්නා අය වෙති. සියලු දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය භාරව කටයුතු කරන්නේ පී. බාලක්‍රිෂ්ණන් ගුරුතුමියයි.

සුවිශේෂම කරුණ නම් මේ වන විට රටේ විවිධ තනතුරු හොබවමින් සිටින සහ දැනට විශ්‍රාම ගොස් සිටින ආදි සිසු සිසුවියන් කණ්ඩායමක් එකතු වී පාසලට අලුතින් පැමිණෙන සහ දැනට සිටින දරුවන්ට අවශ්‍ය පොත් සහ අනෙකුත් උපකරණ කට්ටලත්, බෑගයත්, පාවහන් යුවළත් වාර්ෂිකව පිරිනැමීමට සූදානමින් සිටීම යි. එසේම ගුරු හිඟය පියවා ගන්නා තෙක් තාවකාලිකව ස්වේච්ඡාවෙන් වුව සේවය කිරීමටද ඇතැමුන් සූදානම් ය. මේ පාසල වෙනුවෙන්ම ඔවුහු වට්ස්ඇප් සාමූහිකයක් සහ මඩකලපුව සිංහල මහා විද්‍යාලය නමින් ෆේස්බුක් පිටුවක් ද නිර්මාණය කරගෙන සිටිති.

මෙම පාසලේ විදුහල්පති තනතුර දරන්නේ රංජිත් කුමාර් මහතා ය.

” මේ විද්‍යාලයට ලබන වර්ෂය සඳහා පළවෙනි ශ්‍රේණියට අයදුම්පත් කැඳවා තිබෙනවා. මේ වනවිට ඉල්ලුම්පත්‍ර 10ක් ලැබී තිබෙනවා. තව ඉල්ලුම්පත්‍ර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ආසන්නයේම තිබෙන ළදරු පාසල් කිහිපයක්ම අප දැනුවත් කර තිබෙන්නේ. ඒවායේ දරුවන්ගේ දෙමාපියන් කිහිප දෙනෙක්ම මේ වන විට තමන්ගේ දරුවන්ව මේ පාසලට එවීම ගැන කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම ලබන වසරේ සිට හය වසරට ගුරුවරුන් ඉල්ලා කලාප අධ්‍යාපන කාර්යාලයට ලිපිත් යොමු කර තිබෙනවා. මම විශ්වාස කරනවා අපේ මේ උත්සාහය සාර්ථක වෙනව කියලා. අපි සිංහල වගේම දෙමළ භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් යන භාෂා තුනෙන්ම දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරනවා. ත්‍රෛභාෂා පාසලක් ලෙස ඉදිරියට යාම තමයි අපේ අපේක්ෂාව. පසුගිය දිනවල සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය යන සංස්කෘතික උත්සවය වගේම ආගමික උත්සවයක් ලෙස වෙසක් උත්සවයත් අපි මෙහේ දරුවන් සමඟ පැවැත්වූවා. මෙම පාසලට ආසන්නයෙන් පිහිටි අනෙකුත් ගම්මානවල දරුවන් මේ පාසලට ලබන අවුරුද්දේ සිට ඇතුළත් වේවි. ඒ වගේම මඩකලපුව ප්‍රදේශයට පිට පළාත්වලින් රැකියා ලබා පැමිණෙන සිංහල අයගේ දරුවන් ද මෙම පාසලට ඇතුළත් කළ හැකි මට්ටමට මෙම පාසල අධ්‍යාපනය පැත්තෙන් ඉහළ මට්ටමකට ගෙන ඒම තමයි අපගේ බලාපොරොත්තුව වන්නේ. පාසලට අලුතින් නාමපුවරුවකුත් ආදි ශිෂ්‍යයන් කිහිප දෙනෙක් එකතු වී නිර්මාණය කර මීට දින කීපයකට කලින් අපට භාර දුන්නා”

විදුහල්පති රංජිත් කුමාර් මහතා මා සමග පැවසීය.

හිටපු විදුහල්පති යූ. සුමනසේන මහතා

මාපිය යුවළක් වශයෙන් මේ පාසලේ සියලු දරුවන්ගේ කුදුමහත් කටයුතු පිළිබඳව සොයා බැලීමට අමතරව, දුෂ්කර පාසල් සඳහා රජයෙන් ලබාදෙන උදය ආහාර වේල පිළියෙළ කිරීමෙහි කටයුත්ත ද භාරගෙන සිටින සුරංග දිවාකර සහ ඔහුගේ බිරිඳ හර්ෂනී පවසන්නේ භාෂා තුනෙන් ම අධ්‍යාපනය ලැබීමේ හැකියාවත්, මේ පාසල අවට තිබෙන උප්පෝඩෙයි, මුත්තුවාරම්, කිරායිමඩු, ඌරනී, සිඤ්ඤ⁣ ඌරනී, කරුවප්පම්කරති, ඉරිදියපුරම්, කුලාවඩි, ජයන්තිපුර ආදී වශයෙන් වූ ගම්මාන රාශියකම දරුවන්ට නගරයේ පාසල්වලට වඩා පහසුවෙන් පැමිණීමට තිබෙන හැකියාවත් නිසා මේ පාසල යළි විවෘත කිරීමෙන් විශාල සහනයක් සැලසෙන බවයි.

අනික් සුවිශේෂම කරුණ නම් මේ වන විට රටේ විවිධ තනතුරු හොබවමින් සිටින සහ දැනට විශ්‍රාම ගොස් සිටින ආදි සිසු සිසුවියන් කණ්ඩායමක් එකතු වී පාසලට අලුතින් පැමිණෙන සහ දැනට සිටින දරුවන්ට අවශ්‍ය පොත් සහ අනෙකුත් උපකරණ කට්ටලත්, බෑගයත්, පාවහන් යුවළත් වාර්ෂිකව පිරිනැමීමට සූදානමින් සිටීම යි. එසේම ගුරු හිඟය පියවා ගන්නා තෙක් තාවකාලිකව ස්වේච්ඡාවෙන් වුව සේවය කිරීමටද ඇතැමුන් සූදානම් ය. මේ පාසල වෙනුවෙන්ම ඔවුහු වට්ස්ඇප් සාමූහිකයක් සහ මඩකලපුව සිංහල මහා විද්‍යාලය නමින් ෆේස්බුක් පිටුවක් ද නිර්මාණය කරගෙන සිටිති.

මඩකලපුවේ සිංහල මහා විද්‍යාලය යළි මෙසේ ගොඩනැංවීම තුළින් මේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් බලාපොරොත්තු වන්නේ ඔවුන් අතීතයේදී එම පාසල තුළින් අත්විඳි ජාති ආගම් භේද නොතැකූ ලෙංගතුකමත්, සබැඳියාවත්, සංහිඳියාවත් අනාගත පරපුර තුළ ද එලෙසින්ම රෝපණය කරවීම ය.

(මූල්‍ය අනුග්‍රහය සහ උපදේශකත්වය සැපයූ ඉන්ටර්නිව්ස් ආයතනයට ස්තුතියි).

ඉන්දු පෙරේරා

එතෙර - මෙතෙර