අතීතයේ සිංහල ගීතයට, සිංහල නොවන ගායක ගායිකාවන්ගෙන් විශාල දායකත්වයක් ලැබිණි. මෙහිදී අපට සිහිපත් වන හොඳම උදාහරණය වන්නේ මොහිදීන් බෙග් ගායකයාණන් ය. මොහිදීන් බෙග්ගේ ගීත නොමැති වෙසක් උත්සව අපේ රටේ නැත. නමුත් මේ කතා කරන්නේ මොහිදීන් බෙග් පිළිබඳ ව පමණක් නොවේ. සිංහල නොවන, එහෙත් සිංහලෙන් බොදු බැති ගී සහ වෙනත් ගීත ගයමින් සිංහල ගීතයට විශිෂ්ට සේවාවක් කළ අසිංහල ගායකයන් සහ ගායිකාවන් පිළිබඳව ය. අවසන් වරට බොදු බැති ගී ගීත ගැයූ අසිංහල ගායකයා මොහිදීන් බෙග්යැයි සිතමි. මෙයින් තහවුරුවන එක් කරුණක් තිබේ. එනම් මිනිසුන් වශයෙන් අප ඉතිහාසයේ බොහෝ පසුපසට ගමන් කර තිබෙන ආකාරයයි. ජාතිකත්වය අද අපේ බොහෝ සෙයින් කෙලෙසී ගොසිනි. එබැවින් එම අසිංහල ගායක ගායිකාවන්ට කරනු ලබන උපහාරයක් ලෙස ඔවුන් සිහිපත් කිරීමට මෙම ලිපියෙන් අපි අදහස් කරමු.
“දන්නෝ බුදුන් ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා” ගීතය අසා නැති කෙනෙක් අපේ රටේ ඇතැයි සිතිය නොහැකිය. නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන් විසින් නිර්මාණය කරන ලද සිරිසඟබෝ නූර්තියට ඇතුළත් මේ ගීතයේ තනු නිර්මාණය ඇතුළු මෙම නාට්‍යයෙහි සංගීත අධ්‍යක්ෂණය කළේ විශ්වනාත් ලව්ජි නැමති ඉන්දියානු සංගීත අධ්යක්ෂවරයෙකි. විශ්වනාත් ලව්ජි ගායකයකු නොවේ. නමුත් මෙම සටහනෙහි මුලටම ඔහු පිළිබඳව සඳහන් කිරීමට විශේෂ හේතුවක් තිබේ. 1903 දී වේදිකා ගත කරන ලද සිරිසඟබෝ නාට්‍යයෙහි මෙම ගීතය සේම තවත් බොහෝ ගීත වසර 123ක් ගතවී තිබියදීත් අදටත් කුඩා ළමයින්ට පවා බොහෝ සෙයින් හුරු පුරුදු ය. “සිරි සංඝබෝධි මාළිගාවේ දී මං” ඒ ගීත අතරින් තවත් ඉතා ජනප්‍රිය ගීතයක් වේ. උත්තර භාරතීය රාගධාරී සංගීත තනු අපේ රටේ ජනතාවට හුරු වීම සඳහා සිරිසඟබෝ නාට්‍යයෙහි ගීත ඉවහල් විය. විශ්වනාත් ලව්ජි පිළිබඳව මෙහි මුලින්ම සිහිපත් කළේ ඉන්දියානු රාගධාරී සංගීතයේ ආභාෂය අපට ලැබුණු ආකාරය ගැන සඳහන් කරන්නට ය.
අපේ සිංහල ගීත නිර්මාණය වූයේ තිහේ දශකයෙන් පසුවය.ඒවා තැටිගත කිරීම සිදුවූයේ ඉන්දියානු ශබ්දාගාරවල යි.
ලංකා ගුවන් විදුලි සේවය මගින් තැටි කැපීම ආරම්භ කිරීමෙන් පසු 40 දශකය වන විට ලංකාවේ ගීත තැටිගත කිරීම ආරම්භ විය. නමුත් මේවා බොහෝ විට ම හින්දි හෝ දෙමළ ගීතවල තනුවලට නිර්මාණය වූ සිංහල ගීතයි. ඒ අනුව අපේ ජනතාව අතරට ගියේ ඉන්දියානු හින්දුස්ථානි නාද මාලාවන් ය.
40 දශකයේ දී සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, සූර්යශංකර් මොල්ලිගොඩ වැනි අය ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙහි රවීන්ද්‍රනාත් තාගෝර්ගෙන් සංගීතය හදාරා ලංකාවට පැමිණි පසු එම ශිල්පීන්ගේ නිර්මාණවලට වංග සංගීතයේ ආභාෂය බොහෝවිට බලපෑවේය.
40- 50 දශකවල සිංහල ගීත රාශියක් නිර්මාණය වූ අතර ඒ බුදු සිරිත, ජාතක කතා ආදී බෞද්ධ පසුබිමක් සහිත ග්රැමෆෝන් ගීත යි. මේ ගීත ගායනා කළේ සිංහල ගායක ගායිකාවන්ට වඩා දෙමළ සහ මුස්ලිම් ජාතික ගායන ශිල්පීන් ය.මේ සමහර ගායක ගායිකාවන් ඉන්දියාවේ අයයි. තවත් සමහර අය ලංකාවේ පදිංචිව සිටි සිංහල නොවන මුස්ලිම්, ද්‍රවිඩ සහ අන්‍ය ජාතීන්ට අයත් ගායක ගායිකාවන් ය. ග්රැමෆෝන් ගීත යුගය ප්‍රචලිත වුණේ මේ සමයේ දී ය. මුල් යුගයේ එවැනි බොහෝ ජනප්‍රිය වූ සිංහල නොවන ගායන ශිල්පීන් අතර ඒ. ආර්. එම්. ඉබ්රාහිම්
එම්. බී. ජොහර්ෂා
මුත්තු චින්නප්පා
ඒ. ජේ. කරීම්
අහමඩ් මොහිදීන්
එස්. ඒ. ලතිෆ් බායි
ඒ. එම්. යූ. රාජ්
කේ. කේ. රාජලක්ෂ්මී
විනෝදනී
ලක්ෂ්මී බායි
හරූන් ලන්ත්‍රා
ජී. එස්. බී. රානි
වැනි අය සඳහන් කළ හැකිය. මෙහි නම සඳහන් නොවූ තවත් බොහෝ අය සිටිය සිටින්නට පුළුවන.
මෙම ශිල්පීන් විසින් ගායනා කරන ලද අදටත් ජනප්‍රියව පවතින ගීත කිහිපයක් ඔබේ මතකය අලුත් කර ගැනීම සඳහා මෙලෙස සටහන් කරමි.
* රාජ පණ්ඩිත නාග විමානේ, සිළුමිණි සෑය වඳිම් – ඒ. ආර්. එම්. ඉබ්රාහිම්
* මහ බෝධි මුලේ – එම්. බී. ජොහර්ෂා
* සාදු සිරිපා, අඩු කුලේ කියාලා අසරණයා – ඒ. ජේ. කරීම්
* සිරි ගණ සෑසී, ලෝනා ශ්‍රී ධර්ම රාජා – අහමඩ් මොහිදීන්
* තිලොවග රාජා, උතුම් බුදුන් ත්රයිලෝ නාථා – ඒ. එම්. යූ. රාජ්
* කරුණා මුහුදේ නාමු ගිලීලා – කේ. කේ. රාජලක්ෂ්මී සමග මොහිදීන් බෙග්
* පිට දීප දේශ ජය ගත්තා – ලක්ෂ්මී බායි
මේ හැර හරූන් ලන්ත්‍රා, ජී. එස්. බී. රාණි වැනි ශිල්පීන් විශාල ප්‍රමාණයක් සිංහල ගීත ගායනා කර ඇති අතර ඒවා එකල ඉතාමත් ජනප්‍රිය විය.
ඉන්දියාවට ගොස් අපේ සිංහල ගීත පටිගත කරන ලද අවස්ථාවලදී ඉන්දියානු ශිල්පීහු ද අපේ සිංහල ගීත ගායනා කළහ. නමුත් සමහර ගායන ශිල්පීන් සහ සංගීතඥයන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ මෙහි පදිංචි වී පුරවැසිභාවය ලබා දිගටම සිංහල ගීත ගායනයෙහි සහ සංගීත නිර්මාණයෙහි යෙදී තිබිණි.
ඉන්දියාවේ සිට අපේ සිංහල ගීත ගායනා කළ ගායක ගායිකාවන් අතර ජමුනා රාණි, කේ. රාණි, ජික්කි, පී. සුසීලා, එස්. ජානකී, ඒ. එම්. රාජා, එස්. එස්. වේදා ( මොහු ගායකයකු මෙන්ම සංගීත අධ්යක්ෂවරයකු ද වේ.) සඳහන් කළ හැකි අතර අනෙක් සුවිශේෂ ම ගායිකාව වන්නේ ලතා මංගේෂ්කාර් ය. සැඩ සුලං චිත්‍රපටය සඳහා ඇය ගීත දෙකක් ගායනා කළ අතර “ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි, ඉදිරියටා යමු සැවොමා” යන මේ ගීත දෙක අද ද ඉතාමත්ම ජනප්‍රිය ව පවතී. මින් “ඉදිරියටා යමු සැවොමා” ගීතය ලතා මංගේෂ්කාර් ගායනා කළේ මොහිදීන් බෙග් සමගිනි. එසේම ප්‍රවීණ ගායනවේදිනී නන්දා මාලිනී මෙකල ගායනා කරනු ලබන, ඇගේ ගීතයක් ලෙස ඇතැමෙක් වරදවා වටහා ගෙන සිටින
” ප්‍රීතී ප්‍රීතී ” ගීතය මුලින් ම ගායනා කළේ භාග්‍යරතී නැමති ඉන්දියානු ගායිකාවයි. භාග්‍යරතී ” ප්‍රීති ප්‍රීතී” ගීතය ගායනා කළේ අපේ රටේ දෙවන සිංහල චිත්‍රපටය වූ අශෝකමාලා චිත්‍රපටය සඳහා ය.
ඉන්දියාවේ ඉපිද ශ්‍රී ලංකාවේ පදිංචි වී අපේ ගීතයට මහඟු සේවාවක් කළ ගායක ගායිකාවන් ගැන දැන් අපි කතා කරමු.
මෙහිදී පළමු තැනට ම පත්වන ගායකයාණන් ලෙස මොහිදින් බෙග් දැක්විය හැකිය. මොහිදීන් බෙග් නැති වෙසක් උත්සවයක් අද ලංකාවේ නොමැත. අපේ රටේ ඕනෑම අහු මුල්ලක වුවද පැවැත්වෙන වෙසක් උත්සව ඇතුළු සියලුම බෞද්ධ උත්සවවල දී මොහිදීන් බෙග් ගැයූ බොදු බැති ගීත අනිවාර්යෙන්ම ඇසෙයි. සිංහල බෞද්ධ ගීතයට මොහිදීන් බෙග් තරම් සුවිශිෂ්ට සේවාවක් කළ අසිංහල ගායකයෙකු අපේ රටේ තවත් නැත. එතරම් බොදු බැති ගී ප්‍රමාණයක් ගායනා කළ සිංහල ගායකයෙකුද නොසිටින්නට පුළුවන. එකල අපේ රටේ ගුවන්විදුලි ගීතයේ මෙන්ම චිත්‍රපට ගීතවල ද සුවිශේෂ ගුණාත්මක බවක් මොහිදීන් බෙග් නිසා ඇතිවිය.
සිංහල ගීතයට මෙන්ම සිංහල චිත්‍රපට සංගීතයට ද තවත් විශිෂ්ට වූ සේවාවක් කළ ගායන සහ සංගීත ශිල්පියකු වන්නේ ආර්. මුත්තුසාමි ය. ඔහු ද ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි වූ අයකු වන අතර ඔහු ගැයූ “මධුරයාමේ” “මගේ දෑසම පියවී වැටුණා” වැනි ගීත අද ද ගීත ලෝකය තුළ ඉහළින්ම වැජඹේ. 50 – 70 දශක දෙක තුළ අපේ රටේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක සංගීත අධ්යක්ෂවරයා වූයේ මුත්තුසාමි මාස්ටර් ය. ඔහුගේ සේවය ඔහු උපන් ඉන්දියාවට වඩා අපට ලැබීම අප ලද භාග්‍යයකි.
සිංහල ගීතයට මහත් සේවයක් කළ අපේ රටේම ඉපිද මෙහිම ජීවත් වූ සිංහල නොවන ගායක ගායිකාවෝ ද රැසක් වෙති. මෙහිදී අංක එක ගණයෙහි ලා සැලකෙන්නේ රුක්මණී දේවියයි. ඩේසි ඩැනියෙල්ස් රාසම්මා යන මුල් නමින් යුතු රුක්මණී දේවිය දමිළ ජාතියට අයත් ය. අපේ රටේ නිළි රැජින යන විරුදාවලිය ලත් රුක්මණී දේවිය රංගන ශිල්පිනියක ලෙසත්, ගායිකාවක ලෙසත් සිංහල චිත්‍රපටවලට සහ සිංහල ගීතයට කළ අනුපමේය සේවාව සදා නොමැකෙන ලෙස මෙරට ඉතිහාසය තුළ ලියැවෙනු ඇත.
මේ හැරුණු විට ආර්.ශිවනන්ද , වී. වර්ධරාජා, මේබල් බ්ලයිත්, ෂර්ලි බ්ලයිත් වැනි තවත් මෙවැනි මෙහි නම සඳහන් නොවුණු ගායන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ සිටින්නට පුළුවන. මේ සඳහන් කළේ මතකයේ රැඳුනු ශිල්පීන් සහ ශිල්පිනියන් කිහිප දෙනෙකු පිළිබඳව ය. එසේ ම අප මෙහිදී කතා කළේ ගායන ශිල්පීන් ශිල්පිනියන් පිළිබඳව පමණි . ගීත ගායනා නොකළ සංගීත අධ්යක්ෂවරු තව රාශියක් වෙති.
පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයේ සහ පැරණි සිංහල ගීත රසික සමාජයේ සභාපති ප්‍රියන්ත ගමගේ
සැකසුම – ඉන්දු පෙරේරා