සිපෙට්කෝ ඩීසල් කෝ? හෙවත් අපායට සුරංගනා කතා කීම

අද වන විට රට ඉතා අවාසනාවන්ත තැනකට පත්ව සිටියි. කණගාටුවට කාරණය වන්නේ ඩීසල් ලබා ගැනීම සඳහා දින දෙකක් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලට “නො” එන්නැයි ඛනිජ තෙල් සංස්ථාවම මහජනතාවගෙන් ඉල්ලා සිටීම ය. දින දෙකක් රටේ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නැති බව තෙල් සංස්ථාවම නිවේදනය කරන තැනට වත්මන් ආණ්ඩුව විසින් රට ගෙනවිත් තිබේ.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් එක් දහස් හාරසියයක පමණ සංඛ්‍යාවක් රට තුළ ඇත. අයි. ඕ. සී පිරවුම්හල් තුන්සීයයට ආසන්න සංඛ්‍යාවක් පවතියි. අයි.ඕ.සී පිරවුම්හල්වල ඩීසල් තිබේ. එහෙත්, ඔවුන් තමන් දිනපතා නිකුත් කළ ප්‍රමාණයට වඩා වැඩියෙන් ඩීසල් තොග නිකුත් කරන්නේ නැත. එම නිසා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල්වල ද ඉන්ධන අවසන් වේ.

මේ නිසා දින දෙකක් ඩීසල් නැතුව රට ආරාජිකව තිබේ. ඩීසල් නැතිවූයේ ඇණවුම් ප්‍රමාද වීම නිසා හෝ නැව් ප්‍රමාදය නිසා හෝ නොවේ. ඩීසල් නොමැති වූයේ ඩොලර් හිඟය නිසාවෙනි. තෙල් සංස්ථාව ඇණවුම් කළ නැවක් මේ වන විට කොළඹ වරායට පැමිණ තිබේ. එහි ඩීසල් මෙට්‍රික් ටොන් 35000 ක් පවතින බව තෙල් සංස්ථාව ප්‍රකාශ කරයි.

එහෙත් මෙම තෙල් තොගය ගොඩ බෑම වෙනුවෙන් ගෙවීමට ඩොලර් නැත.ඩොලර් නෙගෙවීම නිසා නැව පිටත වරායේ නැංගුරම් ලා සිටින්නේ මුදල් ගෙවූ පසු ඉන්ධන තොගය ගොඩ බෑමට ය. මහ බැංකුව තෙල් සංස්ථාවට දන්වා ඇත්තේ ඩීසල් තොගය ගොඩබෑමට අවශ්‍ය ඩොලර් සොයා දිය හැක්කේ බ්‍රහස්පතින්දා සවස බව ය. ඒ වන විට දින කිහිපයක් වෙනුවෙන් නැවට ප්‍රමාද ගාස්තු වශයෙන් තවත් විශාල මුදලක් ගෙවීමට ද තෙල් සංස්ථාවට සිදුවේ. එය අතිරේක පාඩුවකි.

අතීතයේ දී රට තුළ අතිරික්ත තෙල් සංචිත තිබුණි. අවශ්‍ය තරම් බොරතෙල් ද තිබුණි. දැන් එවැනි තත්ත්වයක් නැත. තොග අවසන් වන විට තෙල් ආනයනය කරන තැනට රට පත් කොට තිබේ. සපුගස්කන්ද පිරිපහදුව ඉකුත් 15 දා සිට වසා දමා ඇත්තේ බොරතෙල් නොමැතිවීම නිසා ය. එසේ වසා දැමීම තුළ පිරිපහදුවෙන් නිපදවන රටට අවශ්‍ය අමතර නිෂ්පාදන සියල්ල ඇන හිට තිබේ. එම නිසා ගුවන් යානා තෙල්, භූමිතෙල්, දැවිතෙල්, ඉටිපන්දම් ආදී සියළු අතිරේක නිෂ්පාදන ආනයනය කිරීමට සිදුව ඇත.

මේ නිසා තවත් අමතර ඩොලර් තොග රටින් පිටව යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එදා වේල ආර්ථික වැඩපිළිවෙලකට රට ගමන් කරමින් තිබේ. මුදල් තිබෙන විට භාණ්ඩ මිලදී ගන්නා අතර එතෙක් භාණ්ඩ නොමැතිව සිටිය යුතු වේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට ද ඉදිරියේ දී අත්වීමට යන්නේ මෙම වැඩපිළිවෙලම ය. “තියෙන කොට කනවා නැති කොට බඩගින්නේ ඉන්නවා” යන න්‍යාය තුළ කටයුතු කිරීමට සිදුව තිබේ.

මේ අතර ඩීසල් නොමැතිවුවහොත් බස් ධාවනයෙන් ඉවත් වන බව බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියයි. රජයට සතියක් කල් දෙන බවත් ඩීසල් නියමිත පරිදි පෞද්ගලික බස් රථවලට නොලැබුණහොත් බස්රථ නිවෙස්වල ගාල් කරන බවද ඔහු කියා සිටියි.

ඉන්ධන මිල ඉහළයාම මත දුම්රිය ගාස්තු ද ඉහළ දැමීමට තීරණය කර තිබේ. එය එසේ තිබියදී අතීකාල නොගෙවීම මත දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයකට යාමට සුදානම් වේ. මේ අතර දුම්රිය රියදුරන්ගේ හිඟපාඩු මකා ගන්නට නැවත සේවයට බඳවා ගෙන සිටින විශ්‍රාමික රියදුරන් 35 දෙනාට මාස තුනකින් ඔවුන්ගේ වැටුප් ගෙවා නැත. එම නිසා ඔවුන් දුම්රිය සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ජනාධිපති වරයා දෙමටගොඩ දුම්රිය අංගනයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙනුයේ මේ සියළු අර්බුද ඔඩු දුවන පසුබිමක් තුළ ජනාධිපති වරයා දුම්රිය දෙමටගොඩ දුම්රිය අංගන නිරීක්ෂණය කරනුයේ යකඩ දැවී යන තැනක පුළුන් ගැන සොයන න්‍යායට අනුව ය. ඒ අනුව ජනාධිපති වරයා අනුන්ගේ කීමට නතුවන”පිනෝකියෝ “භූමිකාවකට පිවිස ඇත්දැයි යන සැකය අප තුළ ඇති වෙයි.

දැනට සේවයේ යෙදී සිටින විශ්‍රාමික රියදුරන් 35 දෙනා සේවයෙන් ඉවත් වුවහොත් අවුරුදු සමයේ විශේෂ දුම්රිය කෙසේ වෙතත් සාමාන්‍ය දුම්රිය සංඛ්‍යාව වත් ධාවනය කර ගත නොහැතිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙයින් පැහැදිලිවන කාරණයක් වන්නේ රටතුළ ඩොලර් පමණක් නොව අවශ්‍ය තරම් රුපියල් ද නැති බවකි. දිනපතා රුපියල් අච්චු ගහන්නේ ද රුපියල් හිඟයක් පවතින නිසාදැයි සැකයක් මතුවේ.

කෙසේවෙතත් පවතින මූල්‍ය අර්බුදය සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු කාල බෝම්බයක් සේ පුපුරා යනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පැහැදිලි කරති. ඩීසල් අර්බුදය හේතුවෙන් විදුලිබලය දිනකට පැය 10 ක් දක්වා කපා හැරීමට තීන්දු කර තිබේ. බලාගාරවලට අවශ්‍ය ඩීසල් තොග නොලැබීම නිසා මෙන්ම ඉදිරි දින කිහිපය තුළ ජල විදුලි උත්පාදනය මුලුමනින් ඇන සිටීම නිසා මෙලෙස විදුලිය කප්පාදු කරනු ඇත. ඉදිරියේ දී ලැබීමට නියමිත ඩීසල් මෙට්‍රික් ටොන් 35000 ද සෑහෙන්නේ දින 3 ට පමණකි. ඉන් පසු නැවත ඩීසල් තොගයක් අවශ්‍ය වේ.

එහෙත්, එයට ද අත්වන්නේ මේ ඉරණමම බැවින් සිංහල දමිළ අලුත් අවුරුද්දේ ද විදුලිය කප්පාදුවකට යාමට සිදුවන බව විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත දැනුම් දී තිබේ. එනිසා දිනෙන් දින අර්බුදය උග්‍රවනවා මිස අර්බුදය විසඳෙන පාටක් නොමැත.මේ අතරේ රජයේ බලධාරීන් වත්මන් මූල්‍ය අර්බුද ගැන ජනතාවට සුරංගනා කතා ගොත ගොතා කියති.සුරංගනා රසවත් විය හැක එහෙත් අපායේ වැටී සිටින්නවුන්ට ඒවායින් ඵලක් නැත.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර